පිළිගැනීමක් නැති සිවුර: කුඩම්මාගේ සැළකිලි ලැබෙන ශ්‍රී ලංකාවේ භික්ෂුණී අධ්‍යාපනය

අනුෂ්කා කහඳගමගේ

සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලැබීමේ අයිතිය තිබේ. දරුවන් මහණ කිරීම ගැන විවිධ ආන්දෝලනාත්මක අදහස් තිබුණත්, ප්‍රායෝගික මට්ටමේදී එය සිදුවන බැවින්, අඩු තරමේ එසේ මහණ කරන දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලැබෙන්නේද යන්න සොයා බැලිය යුතුය. එහෙත් ශිෂ්‍ය සාමණේර මෙහෙණින් වහන්සේලාට අධ්‍යාපනය ලැබීමට සිදුව ඇත්තේ විශාල අභියෝග රාශියක් හමුවේය. මේ ලිපිය, ලිබරල් ස්ත්‍රීවාදී නිර්ණායක අනුව කාන්තාවන්ට වෙනස්කොට සළකන බෞද්ධ විනය රීති පිළිබඳ ලිපියක් නොවෙයි. ඒ වෙනුවට, මෙම ලිපිය, භිකෂුණීන් සහ සාමණේර මෙහෙණිවරුන්ට රාජ්‍ය, ආයතනික සහ සමාජීය මට්ටමෙන් සිදුවන අගතීන් සහ ඒ අගතීන් හේතුවෙන් ඔවුන්ගේ අධ්‍යාපනයට එල්ලවන අභියෝග පිළිබඳවයි.

ශ්‍රී ලංකාව තුළ කාන්තාවන් භික්ෂුණීන් වනවා වෙනුවට දස සිල් මාතාවන් බවට පත් වීමට ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇත්තේ, ප්‍රධාන බෞද්ධ ආයතන හරහා කාන්තාවන් භික්ෂුණීන් ලෙස නොපිළිගැනීම සහ රාජ්‍ය ඒ ආයතනවල දැක්ම සමඟ එකඟ වන බැවිනි. සම්පුර්ණ විනයට යටත් වනවා වෙනුවට, දස සිල් මාතාවන් යටත් වන්නේ සීල දහයකට පමණක් වුවත්, ඔවුන්ද සිවුරක් දරා බ්‍රහ්ම චර්යාව සුරකියි. 2025 ජූනි මාසයේදී, පූජ්‍ය වැලිමඩ ධම්මදින්නා භික්ෂුණීන් වහන්සේට, ‘භික්ෂුණී’ (පූර්ණ උපසම්පදා ලත්) ලෙස ජාතික හැඳුනුම්පතක් නිකුත් කළයුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයකළ අතර, එය සමස්ත භික්ෂුණී එය ලොව පුරා බෞද්ධ කාන්තාවන් සහ විද්වතුන්ගේ ප්‍රසංශාවට ලක්විය. එය භික්ෂුණීන්ගේ සමස්ත ජීවන තත්වය ඉහළට ඔසවා තබන ආකාරයේ තීන්දුවක් විය. නමුත්, භික්ෂුණීන්ට ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත්වල “භික්ෂුණී” ලෙස හඳුන්වා ගැනීමට ඇති අයිතිය ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කළ පසුවත්, බොහෝ දෙනෙකුට තවමත් එවැනි හැඳුනුම්පතක් නැත. මෙයට හේතුව, භික්ෂුණීන් ථෙරවාද සම්ප්‍රදායේ කොටසක් ලෙස පිළිගැනීමත්, ඒ නිසාම ඔවුන්ගේ උපසම්පදාව පිළිගැනීමත් ආධිපත්‍ය සහිත බෞද්ධ ආගමික සංස්ථාව විසින් ප්‍රතික්ෂේප කිරීමයි. ඔවුන්ගේ හැඳුනුම්පතේ සඳහන් වන්නේ දසසිල් මාතා ලෙසයි. තීන්දුව කඩදාසියකට පමණක් සීමා වී ඇති අතර, ඔවුහූ තවමත් තම හැඳුනුම්පත් ලැබෙන තෙක් බලා සිටිති. මෙය සුළු පරිපාලනමය අතපසුවීමක් නොවේ. එය දිගින් දිගටම සිදුවන ආන්තීකරණය සහ නොසළකා හැරීම්වල පළමු පුරුක වන අතර, එහි බලපෑම පන්ති කාමරය දක්වාම දිව යයි.

නිර්නාමික

ශ්‍රී ලංකාවේ පිරිවෙන් 827ක් ඇත. ඒවා සියවස් ගණනාවක් තිස්සේ බෞද්ධ අධ්‍යාපනයේ ප්‍රධාන ආයතන ලෙස සේවයකර ඇත. මේවායින් කාන්තාවන් සඳහා වෙනවා ඇත්තේ 12ක් පමණක් වන අතර, ඒ 12න් පූර්ණ උපසම්පදා වූ භික්ෂුණීන් සඳහා වෙන්ව ඇත්තේ 5ක් පමණි. අගතිය මෙම පිරිවෙන් ප්‍රමාණයේ පවතින කැපී පෙනෙන වෙනසට පමණක් සීමා නොවෙයි. භික්ෂු අධ්‍යාපන ආයතන පිරිවෙන් ලෙස හඳුන්වන අතර, භික්ෂුණී අධ්‍යාපන ආයතන හඳුන්වන්නේ බෞද්ධ සීලමාතා අධ්‍යාපන ආයතන ලෙසයි. එනම් නාමකරණය හරහා පවා ආන්තීකරණය වලංගුභාවයට පත්කර ඇත. ඒ අනුව මෙම ආයතන ක්‍රියාකාරිත්වයෙන් භික්ෂු ආයතනවලට සමාන වුවත්, ‘පිරිවෙන’ යන වචනය ලබා දෙන නීතිමය හා ආයතනික තත්ත්වය භික්ෂුණී අධ්‍යාපන ආයතනවලට අහිමි කර ඇත.

සියවසක් තිස්සේ ගොඩනැගුණු රටාව

පොළොන්නරු යුගයෙන් පසු බෞද්ධ භික්ෂුණී සංඝයාගේ පරිහානියෙන් පසු, ලංකාවේ නැවත සිවුරු දැරූ පළමු කාන්තාව 1905දී දසසිල් මාතාවක් ලෙස පැවිදි වූවාය. දසසිල් මාතාවෝ දීර්ඝ කාලයක් තිස්සේ වැදගත් ආගමික හා සමාජීය කාර්යභාරයක් ඉටු කර ඇතත්, ඔවුන්ට ඓතිහාසිකව විධිමත් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව හිමිවී නොමැත. අවාසනාවන්ත ලෙස, අදත් මේ රටාවේ විශාල වෙනසක් සිදුවී නොමැත. මෙහිදී අධ්‍යාපනය යනු කියවීමට, ලිවීමට හෝ ධර්ම අධ්‍යයනයට පමණක් සීමා වූවක් නොවෙයි. එය ආගමික අධිකාරිය මනිනු ලබන එක්තරා නිර්ණායකයකි. සමාන අධ්‍යාපනයක් අහිමි වූ, නැතහොත් රජය පිරිවෙනක් ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේපකළ ආයතනයක අධ්‍යාපනය ලැබූ භික්ෂුණියකට ඒ ආගමික අධිකාරිය අහිමි වේ. ඇය පිරිවෙන් අධ්‍යාපනය ලැබූ ඕනෑම භික්ෂුවක් තරමටම ත්‍රිපිටකය දැන සිටිය හැකි වුවත්, ධර්මය පිළිබඳ ඇගේ දැනුම සහ අවබෝධය වලංගු බවට පිරිවෙන යටතේ ලැබෙන විධිමත් සහතිකයක් ලැබෙන්නේ නැත. ඇයට එවැනි ආයතනික මුද්‍රාවක් නොමැත. කාන්තාවක් දරන සිවුර, පිරිමියෙක් දරන සිවුරට තරම් බරක් නොමැති බව සියවස් ගණනාවක් තිස්සේ ඉතාම සුක්ෂම ලෙස ජනගතකර ඇත.

භික්ෂුණීන් සහ දසසිල් මාතාවන් යන දෙපිරිසම සිවුරු දැරූවත්, සාපේක්ෂව ඔවුන් සැළකෙන්නේ ධර්මය වටහා ගැනීමට හෝ දේශනා කිරීමට භික්ෂූන්ට වඩා අඩු හැකියාවක් ඇති අය ලෙසයි. එසේ සිදුවන්නේ හුදෙක්ම ඔවුන් කාන්තාවන් වීම නිසාය. අධ්‍යාපනය මත සිදුවන ආන්තීකරණය මෙම අඩු සැළකිලි පෙන්වන එක අවස්ථාවකි. භික්ෂූන් පුහුණු කිරීමට ඓතිහාසිකව සංවර්ධනය වූ පිරිවෙන් ක්‍රමය, දසසිල් මාතාවන්ට සහ භික්ෂුණීන්ට සමාන ආයතනික මාර්ගයක්, සැසඳිය හැකි විෂයමාලාවක්, සහතිකයක් හෝ රජයේ පිළිගැනීමක් ලබා දුන්නේ නැත. මෙම බැහැර කිරීම කැපී පෙනෙන්නේ එය ශ්‍රී ලංකාවේ පුළුල් අධ්‍යාපන ප්‍රවණතාවලට පටහැනි වන නිසාය. එනම් සාමාන්‍ය විශ්වවිද්‍යාලවල කාන්තා ප්‍රතිශතය පිරිමින්ට වඩා වැඩිය. රටේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභා ප්‍රතිපත්තියේ පිරිවෙන් අධ්‍යාපනය පිළිබඳ කොටසක් ඇත. එහෙත් එය බෞද්ධ භික්ෂුණීන්ගේ අධ්‍යාපනය ගැන කතා නොකරන අතර, ප්‍රතිපත්තිය තුළ භික්ෂුණීන් ගැන සඳහනක් පවා නැත. මා මෑතදී දැනගත් පරිදි, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පත් කළ කමිටුවක් විසින් සැප්තැම්බර් 1වන දා සිට මෙම ප්‍රතිපත්තිය සමාලෝචනය කිරීමට නියමිතව තිබුණි. එය භික්ෂුණීන්ගේ අධ්‍යාපනය පිළිබඳ ගැටලුව ඉදිරිපත් කිරීමටත්, සංශෝධිත ප්‍රතිපත්තියට එය ඇතුළත් කිරීමටත් අවස්තාවක් සළසන්නට ඇතැයි බලාපොරොත්තු වෙමි.

භික්ෂු, භික්ෂුණී අධ්‍යාපන ආයතනවලට අරමුදල් සපයන්නේ රජය වන අතර, ඒ අනුව මුළු වසර සඳහාම එක සිසුවෙක් වෙනුවෙන් වෙන් වන්නේ රුපියල් 5000-6000 ත් අතර මුදලකි. මෙම මුදල මූලික ආයතනික අවශ්‍යතා වන නවාතැන්, ආහාර, ඉගෙනුම් ද්‍රව්‍ය සහ භෞතික පරිශ්‍ර නඩත්තුව පවා පියවීමට පවා තරම් නොවන අතර, විෂයමාලාවේ අර්ථවත් ප්‍රතිසංස්කරණ සඳහා ඉන් කිසිඳු සහයක් ලැබෙන්නේ නැත. මෙවැනි අඩු අරමුදල් ලෙබෙන සන්ධර්භයක් තුළ බොහෝ භික්ෂු/ භික්ෂුණී අධ්‍යාපනික ආයතන සඳහා ප්‍රතිපාදන සපයාගත යුතුව ඇත්තේ බාහිර පාර්ශවයන්ගේ සහය ඇතිවය. භික්ෂුණීන් ව්‍යුහාත්මකව ආන්තීකරණයට ලක්කිරීම නිසා හටගන්නා විෂමතාව වඩාත් කැපී පෙනෙන්නේ මෙවැනි අවස්ථාවලදී ය. භික්ෂුණීන් හෝ දස සිල් මාතාවන් ඓතිහාසිකව වැදගත් කොටසක් ලෙස සළකා නොමැති නිසාත්, ඔවුන් ධර්මය දේශනා කිරීමේ අධිකාරයක් සහිත පිරිසක් ලෙස නොසළකන නිසාත්, භික්ෂුණී අධ්‍යාපන ආයතන (මේවාද පිරිවෙන් ලෙස නම්විය යුතුව ඇත) ගිහි ආධාර ලබන්නේ අවම වශයෙනි. එහි ප්‍රතිඵලය වන්නේ මෙම භික්ෂු/ භික්ෂුණී අධ්‍යාපන ආයතන අතර සම්පත් පරතරය දිනෙන් දින වැඩි වීමයි. අඩු පහසුකම් යටතේ භික්ෂුණී අධ්‍යාපන ආයතනවලින් බිහිවන උගත් භික්ෂුණීන් එක්තරා ආකාරයකට අඩු විය හැකි අතර (නමුත් ඉතාම අඩු පහසුකම් යටතේ පවා භික්ෂුණීන් තම අධ්‍යාපන මට්ටම හොඳ තත්වයක පවත්වා ගෙන යාමේ අරගලයක යෙදෙයි), එය භික්ෂුණීන්, භික්ෂූන්ට වඩා අඩු හැකියාවක් ඇති අය බවට වන සංජානනය තව තවත් සාක්ෂාත් කරයි, ශක්තිමත් කරයි. එම සංජානනය පෙරළා අඩු දායක සහය සාධාරණීකරණය කරයි. සාධාරණ රාජ්‍ය පිළිගැනීමක් හෝ සැළකිය යුතු ගිහි සහයක් නොමැතිව මේ ආන්තිකරණය වීමේ විෂම චක්‍රය දිගින් දිගටම පවතිනවා ඇත.

ජය ශ්‍රී මහා බෝධිය සෙවණේ

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සෙවණේ හිඳ සිටින භික්ෂූන් කිහිප දෙනෙකි. ගිහි බෞද්ධයින් එම භික්ෂූන් වටා රැස්ව සිටියි. ඒ පෙනෙන නොපෙනෙන මානයේ භික්ෂුණීහූ කිහිප දෙනෙක්ද වාඩිවී සිටිති. ඔවුන් වටා ගිහි පිරිස් නොසිටි අතර, ඔවුන් භික්ෂුණීන්ද නැතහොත් දසසිල් මාතාවන්ද යන්න ඔවුන්ගේ පිටත පෙනුම අනුව වෙන්කර හඳුනාගත නොහැකිය. මෙය අහඹු සිදුවීමක් නොවෙයි. පුරුෂයින්ට සාසනයට වැටී ඇති මාර්ගයෙන් කාන්තාවන්ට සාසනයට ඇතුළු විය නොහැකි බැවින්, ගිහි ගෙය හැර එන බොහෝ බෞද්ධ කාන්තාවෝ දසසිල් මාතාවන් ලෙසම ජීවත් වෙති. දස සිල් මාතාවකගේ තත්වය ආරාමික ජීවිතයේ පෙනුම ඇති නමුත් එහි නීතිගත හෝ ආධ්‍යාත්මික තත්ත්වය නැති එකකි. ඔවුන් ශීල දහය රකින, සිවුරු හඳින, බ්‍රහ්ම චර්යාවේ ජීවත් වන නමුත්, ආගමික ධුරාවලියේ පහළ, නිල නොවන තත්වයක සිටිති. දස සිල් මාතා යන තත්ත්වය හරහා ඔවුන්ට භික්ෂූන්ට ලැබෙන උපසම්පදා පරම්පරාවවත්, ආයතනික පිළිගැනීමවත් නොලැබේ. නමුත් ඉහත කියනලද සුවිශේෂී නඩු තීන්දුව මඟින් භික්ෂුණී ශාසනයේ පැවැත්ම ලෞකික නීතිය හරහා පිළිගැනීමට ලක්විය. නමුත්, මේ ලබාදුන් තත්ත්වය සමාජය තුළ ස්ථාපිත කිරීම පහසු නොවනු ඇත.

අගතිගාමී බවේ විෂම චක්‍රය

සමාජය තුළ මෙන්ම, ආයතනික සහ භික්ෂු සමාජය තුළ වෙනස්කොට සැළකීමත්, මේ සියල්ල හරහා අධ්‍යාපනය ලැබීම වඩාත් අභෝයෝගාත්මක එකක් බවට පත්වීමත්, එකිනෙක හා බැඳී පවතින අගතියෙ විෂම චක්‍රයේ පුරුක් වෙයි. ඇත්තේ අඩු අධ්‍යාපන ආයතන සංඛ්‍යාවක් නිසාත්, පිරිවෙන් තරමටම පිළිගන්නා ආයතන නොවීම නිසාත්, මහජනයා පිළිගන්නා තත්වයේ ශාස්ත්‍රීය භික්ෂුණීන් වීමේ අවස්තාව මේ භික්ෂුණීන්ට අහිමි වී ඇත. ඒ නිසාම ඔවුන්ව, අධිකාරිය සහිත ගුරුවරුන් ලෙස පිළිගැනෙන්නේත් අවම වශයෙනි. මේ සියල්ල හේතුවෙන්, භික්ෂුණීන් සොයාගෙන එන, ඔවුන්ට උපකාර කරන අනුගාමිකයින් සිටින්නේද අඩුවෙනි. අඩු අනුගාමිකයින් පිරිසක් ආකර්ෂණය කරගන්නා නිසා, භික්ෂුණී අධ්‍යාපන ආයතනවලට ගිහි උපකාර අවම වන අතර, සම්පත් හිඟයක් පවතී. කාන්තාවන්ට බලගන්වන එක ආකාරයක් හෝ වඩාත් ප්‍රබල ආකාරයක් වන්නේ අධ්‍යාපනයයි. නමුත්, මේ භික්ෂුණීන්ට, සමාන අධ්‍යාපනය ලබා ගැනීම සඳහාත් සටන් කිරීමට සිදුව ඇත.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *