“අපේක්ෂාව අත්‍යවශ්‍යය; නමුත් එය පමණක් ප්‍රමාණවත් නොවේ”: විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ ස්ත්‍රීවාදය ඉගෙනීම

අරුණි සමරකෝන් 

ශ්‍රී ලංකාවේ වර්තමාන විශ්ව විද්‍යාල අධ්‍යාපන ආයතන ව්‍යුහය සහ ක්‍රමය යටත් විජිතවාදීන් විසින් ලංකාවට හඳුන්වා දෙනු ලැබුවේ 1921 දී ලංකා විශ්වවිද්‍යාල පිහිටුවීමත් සමඟ වන අතර, එය අවසානයේ විද්වත් සහ පර්යේෂණ ප්‍රජාවට විශ්වීය දැනුම ගවේෂණය කළ හැකි පොදු විශ්වවිද්‍යාල පද්ධතියක් දක්වා වර්ධනය විය. 1947 දී පළමු විශ්වවිද්‍යාලය වන ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවන ලදී. පසුව, 1972 අංක 01 දරණ ලංකා විශ්වවිද්‍යාල පනත මගින් විශ්වවිද්‍යාල සඳහා ආයතනික රාමුව සැකසීම සිදුවු අතර, එය විශ්වවිද්‍යාල විෂයමාලා සහ පරිපාලන ක්‍රමය තුළ යටත්විජිත සහ පීතෘමූලික වටිනාකම් පිළිබිඹු කරන සහ එය තවදුරටත් තහවුරු කරන ලද්දක් විය. ඉංග්‍රීසි කතා කරන ප්‍රභූ සුදු මිනිසුන් විසින් මුලින් හැඩගස්වාගත් විශ්වවිද්‍යාල සංස්කෘතිය, පහළ මධ්‍යම පන්තියේ සහ ග්‍රාමීය ගොවි ජනතාවගෙන් පැවත එන ‘ස්වදේශික’ බුද්ධිමතුන් වෙත මාරු කර ගතිකව පරිවර්තනය කරන ලදී.

අද, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල ඉගැන්වීමේ හා ඉගෙනීමේ සංස්කෘතියේ විෂය පථය තීරණය කරන ප්‍රමුඛ කණ්ඩායම වන්නේ, බොහෝ විදේශීය පශ්චාත් උපාධි අක්තපත්‍ර ඇති සිංහල සහ දෙමළ ජනවාර්ගික නියෝජනය සහිත මෙම ‘ස්වදේශික’ බුද්ධිමතුන්ය. වසර 70කට වැඩි කාලයක්, බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීමෙන් පසු සමාජ විද්‍යා සහ මානවශාස්ත්‍ර විෂයමාලාවල කොටසක් හැර, මෙරට විශ්වවිද්‍යාලවල ඉගැන්වීමේ හා ඉගෙනීමේ දී ස්ත්‍රීවාදී චින්තනය බොහෝ දුරට නොතිබුණි.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල විසින් ස්ත්‍රීවාදය ඉගැන්වීමට සහ ඉගෙනීමට අවම වශයෙන් හෝ සහාය දැක්වීමට කොතෙක් දුරට මූලිකත්වය ගන්නේ ද? මෙම ලිපිය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල වල ස්ත්‍රීවාදය ඉගැන්වීමේ සහ ඉගෙනීමේ අභියෝග ගවේෂණය කරයි. එය ස්ත්‍රීවාදී චින්තනය පිළිබඳ කෙටි හැඳින්වීමකින් ආරම්භ වන අතර, 2019 සිට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල තුනක සිදු කරන ලද මානවවිද්‍යාත්මක පර්යේෂණ හරහා එකතු කරන ලද ආනුභවික දත්ත තේමා දෙකක් යටතේ ඉදිරිපත් කිරීම පසුව සිදු කෙරේ. එකී තේමා ද්විත්වය නම්, ස්ත්‍රීවාදය ‘නව දැනුම’ සහ ‘නව භාවිතයන්’ ලෙස ඉදිරිපත් කිරීමේ අභියෝග; සහ ස්ත්‍රීවාදී විද්වතුන්ගේ ‘හඬ’ ට සවන් දීමයි.

ස්ත්‍රීවාදය යනු කුමක්ද?

ස්ත්‍රීවාදය යනු ප්‍රංශ භාෂාවෙන් ව්‍යුත්පන්න වූ පාරිභාෂිතයකි; එයින් අදහස් කරන්නේ ඔවුන්ගේ ලිංගිකත්වය නිසා කාන්තාවන් යටත් වීම, පීතෘමූලික දේශපාලනයට කාන්තාවන් යටත් කිරීම යන්නයි. ස්ත්‍රීවාදී සම්ප්‍රදායන් ලිබරල්වාදය වැනි ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් සමඟ පෙළගැසෙමින් ආර්ථික, දේශපාලනික සහ සමාජීය ක්ෂේත්‍රවල කාන්තාවන්ගේ යටත්වීම අවසන් කිරීම සඳහා පීතෘමූලික ව්‍යුහයට රැඩිකල් වෙනස්කම් වශයෙන් ප්‍රතිසංස්කරණ සහ සමාජවාදය යෝජනා කරයි.

පළමු රැල්ල තුළ ස්ත්‍රීවාදයේ අවධානය යොමු වූයේ දේශපාලනයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඇතුළත් කිරීම, ප්‍රවර්ධනය කිරීම, ඡන්ද අයිතිය සහ පාලන ආයතනවල කාන්තා නියෝජනය ඉල්ලා සිටීම වෙතයි. කෙසේ වෙතත්, ලිබරල් ස්ත්‍රීවාදී කතිකාවතෙහි ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඇතුළත් කිරීමේ මානය, කම්කරු පාන්තික කාන්තාවන්ගේ, සුදු නොවන ප්‍රජාවන්හි සහ සංක්‍රමණික කාන්තාවන්ගේ දේශපාලන අභිලාෂයන් නියෝජනය කිරීමට අපොහොසත් වීම හේතුවෙන් විවේචනයට ලක් විය. මෙම ප්‍රකාශයට සාක්ෂි ලෙස පෙන්වා දිය හැක්කේ, ඡන්ද අයිතිය සඳහා වූ Emmeline Pankhurst ගේ (1858-1928) ‘Deeds Not Words’ ව්‍යාපාරයේ එක්සත් රාජධානියේ කම්කරු පන්තික කාන්තාවන්, සංක්‍රමණික කාන්තාවන් සහ සුදු නොවන කාන්තාවන්ගේ හඬ ඇතුළත් කර නොතිබීම පිළිබඳ විවේචනයයි.

ලිබරල් ස්ත්‍රීවාදය විවේචනය කිරීම, සමාජවාදයේ න්‍යාය මත වර්ධනය වූ ස්ත්‍රීවාදයේ දෙවන රැල්ල හරහා සිදුවිය. දෙවන රැල්ලේදී ස්ත්‍රීවාදීන්, ස්ත්‍රීන්ව ලිංගික වස්තු ලෙස වෛෂයික කරන ලද පවතින පීතෘමූලික ව්‍යුහයට එරෙහි වීම, කාන්තා ශ්‍රමයට සමාන වැටුපක් ඉල්ලා සිටීම, කාන්තාවන්ගේ ප්‍රජනන අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම වැනි රැඩිකල් වෙනස්කම් යෝජනා කළෝය. ස්ත්‍රීවාදයේ තෙවන රැල්ල යනු ස්ත්‍රීවාදයේ දෙවන රැල්ලේ දිගුවකි; නමුත් එය පුද්ගලික ආඛ්‍යාන සහ කාන්තාවන්ගේ දේශපාලනික යටත් වීම, ව්‍යුහගත ආයතන තුළ සිදුවන පීඩාවන් තව දුරටත් පැහැදිලි කරනු ලැබේ. එසේම, ස්ත්‍රීන් එදිරිව එදිනෙදා සිදුවන දේශපාලනය ද විස්තර කරනු ලබයි. මෙය ස්ත්‍රීවාදී සම්ප්‍රදායන් වල මූලික කියවීමක් වන අතර, ගෝලීය දකුණෙන් මතුවන වඩාත් මෑත කාලීන ස්ත්‍රීවාදී සාහිත්‍යය, කාන්තා හඬ නියෝජනය කිරීම වැනි වෙනත් පැති පිළිබඳව ද එහිදී ගවේෂණය වේ.

‘නව දැනුම’ සහ ‘නව භාවිතයන්’ ලෙස ස්ත්‍රීවාදය

ස්ත්‍රීවාදය මූලිකව මර්දනය, ඒකාකෘතිකරණය, සහ ධූරාවලිය අවසන් කිරීමත්, නව දැනුම සහ භාවිතයන් පෝෂණය කිරීමත් අරමුණු කරයි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල විද්වතුන් විශ්වවිද්‍යාල තුළ ‘ධූරාවලිය සහ ඒකාකෘති’ විසංයෝජනය කිරීමට ස්ත්‍රීවාදී චින්තනය උකහා ගැනීමට අසමත් වී ඇත. නිදසුනක් වශයෙන්, ජ්‍යෙෂ්ඨ සගයෙක් ස්ත්‍රීවාදය ‘පිරිමියාට එරෙහි බලයක්’ සහ ‘පිරිමින්ට එරෙහි කතිකාවක්’ ලෙස ඒකාකෘතිකව ඉදිරිපත් කළේය. මානවශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨ දෙපාර්තමේන්තුවක් විසින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අධ්‍යයන මොඩියුලය ‘වෙළඳපොල වටිනාකමක්’ නොමැති බැවින් උපාධි අපේක්ෂක වැඩසටහනෙන් ඉවත් කර ඇත. STEM අධ්‍යාපනයට වැඩි වටිනාකමක් ලබා දෙන නව ලිබරල් ප්‍රතිපත්තිවල බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල අලෙවි කළ හැකි උපාධි පාඨමාලා සඳහා මේ මොහොතේ වඩාත් විවෘත වී ඇත.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල ඉගැන්වීමේ හා ඉගෙනීමේ ක්‍රියාවලියේදී ස්ත්‍රීවාදී සාහිත්‍යය භාවිත කර ඇත්තේ කෙසේද? මෙම ස්ත්‍රීවාදයේ දැනුම ලබා ගැනීමට බලය ඇත්තේ කාටද? ආනුභවික දත්ත පෙන්නුම් කරන්නේ ස්ත්‍රීවාදී සාහිත්‍යය සහ න්‍යායන් කියවීම ඉංග්‍රීසි චතුර ලෙස දන්නා විශ්වවිද්‍යාලවල ‘විශේෂ කවයකට’ සීමා වී ඇති බවයි. එබැවින් විශ්වවිද්‍යාලවල ස්ත්‍රීවාදය පිළිබඳ සාකච්ඡා එම ‘විශේෂ කවයට’ සීමා වේ. මගේ පර්යේෂණ නියැදියේ එක් උපාධි අපේක්ෂකයෙක් ප්‍රකාශ කර සිටියේ, ‘ස්ත්‍රීවාදය පිළිබඳ සාකච්ඡා සිදුවන්නේ විද්වතුන් විශ්වවිද්‍යාලයේ පීඨ කාමරයේදී තේ පානය කරන විට’ බවයි. මෙම සංවාදයෙන් ඇඟවෙන්නේ ස්ත්‍රීවාදය පිළිබඳ සාකච්ඡා යටත් විජිත භාෂාව වන ඉංග්‍රීසි කතා කළ හැකි මධ්‍යම පංතියකට පමණක් බොහෝවිට සීමා වී ඇති බවයි. මෙහිදී පන්ති සාධකය උපාධි අපේක්ෂකයින් ස්ත්‍රීවාදය පිළිබඳ සාකච්ඡා වල නියැලීමට සීමාවන් පනවා ඇත.

ශිෂ්‍යයින්ට ස්ත්‍රීවාදය පිළිබඳව සාකච්ඡා කිරීමට පන්ති කාමරයෙන් පිටත අවකාශයක් තිබේද? දිවයිනේ සෑම විශ්වවිද්‍යාලයකම ‘ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සාධාරණත්වය සඳහා මධ්‍යස්ථානයක්’ පිහිටුවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නියෝග නිකුත් කර ඇත. ඒවා දැනට උපාධි අපේක්ෂකයින් සමඟ අඩු අන්තර් ක්‍රියාකාරිත්වයකින් ක්‍රියාත්මක වුවද, එම මධ්‍යස්ථානවලට ස්ත්‍රීවාදය පිළිබඳව සාකච්ඡා කිරීමට ඉඩක් ලබා දිය හැකිව තිබුණි. “මම කවදාවත් විශ්වවිද්‍යාලයේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සාධාරණත්වය සඳහා වූ මධ්‍යස්ථානය සොයාගෙන නැහැ. එම මධ්‍යස්ථානය කුමක් සඳහාද පවතින්නේ? එය මෙහෙයවන්නේ කවුද?” එය රටේ අගනුවර විශ්වවිද්‍යාලයක උපාධි අපේක්ෂකයෙකුගේ ප්‍රතිචාරයකි. මගේ නියැදියේ සිටින උපාධි අපේක්ෂක/ අපේක්ෂිකාවන් , විශ්වවිද්‍යාලවල භෞතිකව මධ්‍යස්ථාන සොයා ගන්නේ කෙසේදැයි නොදැන සිටි අතර, මධ්‍යස්ථාන භාර පුද්ගලය(න්) සම්බන්ධ කර ගැනීමේ දුෂ්කරතාවන්ට මුහුණ පෑවෝය. මගේ මතය අනුව, මෙම මධ්‍යස්ථානවලට කාන්තාවන්ගේ යටත්වීම අවසන් කිරීම සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ නව දැනුම නිෂ්පාදනය කිරීම සඳහා උපාධි අපේක්ෂකයින්ගේ දේශපාලන විඥානය ඉහළ නැංවීම වැනි ස්ත්‍රීවාදයේ මූලික මූලධර්ම අනුගමනය කළ හැකිය.

ස්ත්‍රීවාදී විද්වතුන්ගේ හඬට සවන් දීම

අපේ විශ්වවිද්‍යාලවල ස්ත්‍රීවාදී විශාරදයින් විසින් ගැහැනිය යටත් කිරීම, මර්දනය කිරීම, ස්ත්‍රීන් ‘වස්තු’ ලෙස ඒකාකෘතිකරණය කිරීම අවසන් කිරීමට කළ ඓතිහාසික දායකත්වය මම කිසිසේත් අවතක්සේරු නොකරමි. විශ්වවිද්‍යාල තුළ සමානාත්මතාවයේ සහ නිදහසේ නව සංස්කෘතියක් ඉල්ලා සිටිමින් මෙම විද්වතුන් සිය හඬ අවදි කර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියක් තම අධ්‍යයනාංශයේ සම වයසේ පිරිමි මිතුරන් විසින් තමන් යටපත් කරනු ලැබීම පිළිබඳ සිය කතාව බෙදා ගත් බව මට මතකය. ඒ ස්ත්‍රී ශාස්ත්‍රධරයා කාලයක් තිස්සේ දැඩි පීතෘමූලික ක්‍රමයක් සමඟ සටන් කර ඇත.

සමහර ජ්‍යෙෂ්ඨ ස්ත්‍රීවාදී විද්වතුන් විශ්වවිද්‍යාලවල ඉහළ පරිපාලනයේ හිතවතුන් වූ ඔවුන්ගේ සම වයසේ මිතුරන් විසින් වාචික හා ලිංගික හිරිහැරවලට ලක් කර ඇත. මේ උගතුන්ට තවමත් යුක්තිය ඉටු වී නොමැති අතර ඔවුන්ගේ ‘ඇගේ කතා’ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ඉතිහාසයෙහි කොටසක් ලෙස සාකච්ඡා කර හෝ සළකා බැලීමට ලක් කර නොමැත. මෙම කතා යටපත්ව, වසන් වී තිබෙන්නේ ඇයිද යන ගැටළුව පිලිබඳ විමසිලිමත් වීම අත්‍යවශ්‍ය වේ. 

මගේ මානවවිද්‍යාත්මක පර්යේෂණයේදී මට හමු වූ ස්ත්‍රීවාදී විද්වතුන් මා වෙතින් ඇසූ පැනයක් වුයේ, “කාන්තාවන්ට වැඩ කිරීමට අඩි හයක් දිග සාරි ඇඳීමට සිදු වූයේ ඇයි?” සහ “වෘත්තීයභාවය සඳහා මෙම ඇඳුම තීරණාත්මක වන්නේ කෙසේද?” යන්නයි. උපාධි අපේක්ෂක දේශන සඳහා ටී ෂර්ට් සහ ඩෙනිම් කලිසමක් ඇඳ සිටි ජ්‍යෙෂ්ඨ කාන්තා සගයකුට දකුණේ විශ්වවිද්‍යාලයකදී දැඩි විරෝධයක් එල්ල විය. ඇඳුම් පැළඳුම් නීති පැනවීම සැබැවින්ම බලයේ සංකේතයක් වන අතර, කාන්තාවන් සම්බන්ධයෙන් ගත් කළ, එය පුරුෂාධිපත්‍යයේ බලය සංකේතවත් කරයි.

තරාතිරම, වයස, වාර්ගිකත්වය, කුලය, පන්තිය සහ ස්ත්‍රී පුරුෂ භාවය යන ධූරාවලි හේතුවෙන් විශ්වවිද්‍යාල තුළ සීමා වී ඇති ‘ප්‍රකාශන නිදහසේ’ ඇති අවශ්‍යතාවය ද මෙම ස්ත්‍රීවාදී හඬින් අවධාරණය විය. අලුතින් බඳවා ගන්නා විද්වතුන්ගේ විවේචනාත්මක චින්තනය කෙරෙහි මෙම ධූරාවලිය විශාල බලපෑමක් ඇති කර ඇති බව මම තර්ක කරමි. දෙවැන්න, මෙය අපගේ විශ්වවිද්‍යාලවල ප්‍රතිපත්ති විවේචනාත්මකව ඇගයීමට වඩා ඔවුන්ගේ ඉහළ නිලධාරීන් සතුටු කිරීමට උත්සාහ කරයි. අවාසනාවකට මෙන්, මෙම නව බඳවා ගැනීම් ක්‍රමයෙන් මෙම ධූරාවලියේ වාහකයන් බවට පත්වේ.

අවසාන වශයෙන්, පෞලෝ ෆෙයිරේ (Paulo Freire) ඔහුගේ Pedagogy of Hope (1999) ග්‍රන්ථයෙහි සඳහන් කරන පරිදි “අපේක්ෂාව අත්‍යවශ්‍යය, නමුත් එය පමණක් ප්‍රමාණවත් නොවේ ” ලෙස මම සටහන් කරමි. කුප්පි යනු ස්ත්‍රීවාදී උගතුන්ගේ හඬ නඟන්නට සහ හඬ අසන්නට මා බලාපොරොත්තු වන අවකාශයකි. මම මේ කාරණය පිළිබඳව මගේ ඊළඟ කුප්පි ලිපියෙන් තවදුරටත් සාකච්ඡා කරමි.