#ගෝටාගෝහෝම් සිට #ක්‍රමයපෙරලමු දක්වා

කෞශල්‍යා පෙරේරා

පසුගිය කාලයේ පටන්ගත් අරගලයේ අන්තර්ගත විවිධාකාර වූ ඉල්ලීම් #ගෝටාගෝහෝම් වදන හරහා ප්‍රකාශ වේ. #ක්‍රමයපෙරලමු, නැත්න​ම් රටේ පවතින ජරාජීර්ණ වූ, යල් පැනගිය ව්‍යූහ වෙනස් කිරීමේ අවශ්‍යතාව, ඉන් මූලික එකකි. එහෙත් නව අග්‍රාමාත්‍යවරයා පත්වීමෙන් පසු, ගිය මාසයේ ඇතිවූ භාවාත්මක පසු ප්‍රථිපල හා සිත් වේදනා තුලින් අපට යම් දෙයක් පෙනෙනවා නම්, ඒ ලංකාවේ සමාජීය-දේශපාලන ව්‍යූහ තුල දීර්ඝ කාලීන වෙනසක් ඇති කිරීම දැනට පවතින ආර්ථික අර්බුදවල​ට විසඳුම් සොයනවාටත් වඩා අසීරු, කාලය වැය වන කර්තව්‍යවක් බවයි.

සියල්ලන්ටම සතුටින් ජීවත්වීමට හැකි රටක් ගොඩනැගීමේදී අධ්‍යාපනය දැරිය යු​තු භූමිකාව ගැන අප ඇත්ත වශයෙන්ම විශේෂයෙන් කතා කල යුතු නැත. නමුත්, අරගලයේ කාල පරාසය තුල මතු වූ ‘ප්‍රොටෙස්ට් එක ලඟ පන්තිය’, ගෝටාගෝගම් වල කති​කා වැනි විවිධාකාර වූ ජනතා අධ්‍යාපන ප්‍රයත්න වලින් පෙනෙන්නේ තම දැනුම වැඩි කර ගැනීමට සෑහෙන දෙනාට අවශ්‍ය වී ඇති බවය. රජය, ආණ්ඩුව සහ දේශපාලනඥයින්ගේ පුහු අවශ්‍යතා අතර වෙනස්කම් මොනවාද? රටට වන හානිය දැන දැනත් පෞද්ගලික අංශයේ දැවැන්තයින් ආණ්ඩුවෙන් දුන් බදු සහන ලබා ගත්තේ ඇයි? ජනාධිපතිට ඉල්ලා අස්විය හැකිද? ඒ අනුව රටේ සිදුවිය හැකි වෙනස්කම් මොනවාද? සාමකාමී අරගලයකදී ජනතාව හැසිරෙන්නේ කෙසේද? 1953 දී ලංකාවේ සිදුවූයේ කුමක්ද? මේ සියලු දෑ අප වටේ දැන් සාකච්ඡා වනු පෙනේ.

මෙවැනි සංවාද වල යෙදීමට, මෙලෙස රට ගැන අවධානයෙන් සිටීමට අප මෙතරම් පරක්කු වූයේ ඇයි? අධ්‍යාපනයේ භූමිකාව, කර්තව්‍ය වන්නේ මේවා ගැන දැනීමක්, අවබෝධයක් තිබෙන ජනතාවක් මුල සිටම බිහිකිරීම නොවේද? පංතියේ උගන්නන දේ පිටතදී සිදුවන දේ විශ්ලේෂණය කිරීමට භාවිතා කිරීම නොවේද? අපේම ක්‍රියාවන් ගැන සක්‍රීය ආවර්ජනාවක් කිරීමට, තනි පුද්ගලයාගේ අවශ්‍යතාවයෙන් සමාජයට හානියක් වෙන අවස්ථාවන් හඳුනා ගැනීමට, තමා හා අන් අය වෙනුවෙන් හඬ නැගීමට පුහුණු කරන අධ්‍යාපනයක් රටක් දියුණු වීමට තිබිය යුතුයි. එහෙත්, බොහෝ කාලයක සිට අපට එවැනි අධ්‍යාපන පද්ධතියක් නැති බව දැන් අපිට හොඳාකාරවම පෙනී යන දෙයකි. ඒ, මෙයට ​දශක ගණනාවකට පෙර සිටම අපේ මුළු අධ්‍යාපන පද්ධතියම අර්බුදකාරී තත්ත්වයක තිබෙන නිසාය.

  • පෙර පාසල් සිට උසස් අධ්‍යාපනය දක්වා සලකා බැලූවිට, රටේ ඇත්තේ එක් අධ්‍යාපන පද්ධතියක් නොව කිහිපයකි. පෙර පාසල් සම්බන්ධයෙන් රෙගුලාසි නැත. ඒවායේ ගුරුවරුන්ගේ පඩිය සොච්චමකි. ජාතික පාසල්, ප්‍රාදේශීය පාසල් සහ පෞද්ගලික පාසල් විවිධාකාර නීති වලින් පාලනය වන අතර, ජාත්‍යන්තර පාසල් කොම්පැනි හෝ පුණ්‍යායතන ලෙස පිහිටුවා ඇති නිසා අධ්‍යාපනික රෙගුලාසි වලට යටත් නැත. උසස් අධ්‍යාපනයේද එකිනෙකට සම්බන්ධතාවක් නැති රාජ්‍ය සහ පෞද්ගලික විශ්ව විද්‍යාල, කාර්මික හෝ තාක්ෂණික විද්‍යාල ලෙස විවිධ ආයතන එක් එක් ආකාරයට ක්‍රියාත්මක වේ.
  • ගුරුවරුන්ට පත්වීම් ලබා දීමේදී ජාතික හා ප්‍රාදේශීය වශයෙන් පරිපාලනය වන පාසල්, පෞද්ගලික පාසල් සහ ජාත්‍යන්තර පාසල් එකිනෙකට වෙනස් සු​දුසුකම් භාවිතා කරති. රජයේ සේවයේ ගුරුවරයෙක් සේවය පටන් ගන්නේ රු.40,000 ක් පමණ වැටුපකටය. පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් වලින් මීට වඩා ඉහල වැටුප් ප්‍රමාණ බලාපොරොත්තු වුවත්, ඒවායේ බොහෝ ගුරුවරුන්ට ලැබෙන්නේ ඊටත් වඩා අඩු මාසික පඩියකි. පාසල් වර්ගය කෙසේ වෙතත් ලංකාවේ බොහෝ ගුරුවරු වැඩ භාරගැනීමේදී පුහුණුවක් ලබා නැත.
  • පාසල්වල නිර්දේශිත විෂයමාලාද මෙලෙස​ම ප්‍රශ්න සහගතය. ජාතික පාසල් වල විෂයමාලා වල උගන්වන දේ​ට සමහර විට යල් පැනගිය අදහස් හා කරුණු ඇතුළුවේ. බොහෝ විට ඒවා නීරසය. ලාංකීය සමාජයේ දැනට පවතින ජාතිවාදය, ස්ත්‍රී-පුරුෂ බව ගැන ඇති වැරදි අදහස් වෙනස් කිරීමට ​හෝ පංතිවාදය ප්‍රශ්න කිරීමට ඒ විෂයමාලා මගින් ප්‍රයත්නයක් ගන්නේ නැත. ජාත්‍යන්තර මට්ටමේ විෂය නිර්දේශ භාවිතා කරන පාසල් වල මේ ප්‍රශ්න නැති වුවත්, ඒවා ලාංකීය ජීවිතයට වඩා පිටරටක වෙසෙන්නන්ට සුදුසු ඒවා වීමම ප්‍රශ්නයකි. කුප්පි කොලමේ අප නිතර සාකච්ඡා කරන ලෙස තෘතීය අධ්‍යාපනයේද බොහෝ ප්‍රශ්න තිබේ.
  • තමාගේ හෝ පවුලේ අයගේ අධ්‍යාපනය සඳහා පෞද්ගලික​ව මුදල් වැය කල යුතු බව ජනතාවට උගන්වා, බොහෝ කල් සිට ලාංකීය ආණ්ඩු රටේ පුරවැසියන්ට අධ්‍යාපනය ලබා දීමේ වගකීමෙන් ඉවත්වී ඇත. අඩු ගුරු වැටුප් ඒ නොසලකා හැරීමේ එක් උදාහරණයක් පමණි. තවත් උදාහරණයක් හැටියට ගිය වසරේ අග ඉදිරි පත් කල 2022 අයවැය ඇස්තමේන්තු​වේ සුභසාධන වැඩසටහන් වලට වෙන්කල මුදල් ප්‍රමාණ සසඳා බලමු. ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් මිලියන 2,445,500 වෙන් කර තිබූ නමුත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සුභසාධනයට රු.මි. 2,000,000 ක් සහ අධ්‍යාපනය තුල ​ සුභසාධනයට රු. මි. 1,825,000 පමණකුත් වෙන් කර තිබුණි. ඒ සමගම පාසල් වල දිවා ආහාර වේල් වැඩපිළිවෙල වැනි ළමුන්ගේ මන්දපෝෂණය අඩුවන, පාසලේ රැඳී සිටින කාලය වැඩි කෙරෙන වැඩසටහන්වලට විදේශ ප්‍රදාන මගින් මුදල් වෙන් කෙරේ (කෙසේ වෙතත් මේ වැඩසටහන කොවිඩ් වසංගතය කාලයේ නවතා දමා ඇත). අධ්‍යාපනය සඳහා රාජ්‍ය වියදම් මෙලෙස ඉතා අඩු කල විට සිදුවන්නේ ගමනාගමන ගාස්තු, ලිපි ද්‍රව්‍ය, විවිධාකාර ‘පරිත්‍යාග’, යම් යම් උත්සව අරමුදල්, ටියුෂන් පංති, පාසල් දිවා ආහාරය, ශ්‍රමදාන මගින් පාසල පිරිසිදු කිරීම වැනි අධ්‍යාපනය සම්බන්ධ සියළු දේ සඳහා රට වැසිය​න් තම පෞද්ගලික මුදල් වියදම් කිරීමයි.

මේ සා ප්‍රශ්න ඔඩුදුවා ගිය අධ්‍යාපන ක්‍රමයකින් යහපත් පුරවැසියන් බිහි කල හැකිද? පසුගිය මාස කිහිපය තුල බොහෝ දෙනාට ‘රටේ වෙනසක් ඇති වේවිද, වෙනසක් කල හැකිද?’ යන ආකාරයේ බලාපොරොත්තු සහගත බවක්, ප්‍රබෝධයක් ඇති වූයේය. එහෙත්, ඒ ප්‍රබෝධය දිගටම පවත්වා ගෙන යාමට න​ම්, අරගලයට වෙන් කල ස්ථානයේ පමණක් නොව, අපි  සම්බන්ධ සියළු ආයතන වලද ඒ වෙනස සඳහා අප වැඩ කල යුතුයි.

දූෂණය, දේශපාලනීකරණය, ගජමිතුරුවාදය යන දේ විශ්ව විද්‍යාල, යූජීසි​ය ඇතු​ළු අපේ සියළු ආයතන තුලට දැන් කා වැදී ඇත. මෙය අපට පෙනෙන්නේ නැත්නම්, ඒ කුකුළාගේ කරමල ලෙසම එය අපට පුරුදු වී ඇති නිසාය. පසුගිය දශක දෙක තුල විශ්ව විද්‍යාල වල සිදුකල දේශපාලනික පත්වීම් සම්බන්ධයෙන් විරුද්ධත්වයක් ඇසුනේම නැති තරම් ය. බැඳියා පිලිගැටුම් න්‍යාය (conflict of interests) විශ්ව විද්‍යාල වල බොහෝ දුරට අමතක වී ඇති දෙයකි. පවතින තත්ත්වය වෙනස් කිරීම කරදරයක් ලෙස සලකා විශ්ව විද්‍යාල තුල ප්‍රශ්න නොනගා, කියන දේ කරන සංස්කෘතියක් ඇතිවීමම මේ පද්ධති කඩා වැටී ඇති බව ඔප්පු කරන්නකි.

අධ්‍යාපනය වැනි පද්ධතියක්, ඇතුලතින් ජරාජීර්ණ වී, කඩා වැටෙන සැටි දැනෙන්නට කාලයක් ගත වේ. එය ආර්ථික අර්බුදයක් මෙන් ඉක්මනට ඇඟට දැනෙන්නේ නැත. ඒ නිසාම, දැනට තිබෙ​න අධ්‍යාපන පද්ධතියේ ක්‍රමාන්විත වෙනසක් කිරීම ඉතා අසීරු කාර්යයක් වනු ඇත. ගුරු සංගම් වලට මේ වන විට පාසල් අධ්‍යාපනය තුල ඇතිවූ ප්‍රශ්න නැවැත්වීමට හෝ වෙනස් කිරීමට බැරි වී තිබේ. විශ්ව විද්‍යාල ආචාර්ය සංගම් මණ්ඩලයට ද විශ්ව විද්‍යාල තුලට ප්‍රජාතන්ත්‍රවාදය ගෙන ඒමට අපහසු වී ඇත.

පැවති ආණ්ඩු අපට පෙන්වා දී ඇත්තේ රජය විසින් ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ නැති බවත්, අපට සරණක් ලබා ගත හැක්කේ අප විසින් පමණක් බවයි. මේ ක්‍රමය වෙනස් විය යුතු බව පැහැදිලිව දැකීම, ඒ ගැන හඬ නැගීම, නීත්‍යානුකූල ලෙස මේ ප්‍රශ්නවලට විරෝධය පෑම — මේ සියල්ල අපි ජනතාවක් ලෙ​ස අළුතින් ඉගෙන ගත යුතු වී තිබේ.

ඒ නිසා, රටට වෙනසක් ඉල්ලා සිටින්නේ නම්, දැනට පවතින ක්‍රමයට වඩා රැඩිකල් වෙනසක් ඉල්ලා සිටිමු. අපි දැනට අධ්‍යාපනය ලැබීම ලෙස හඳුනා ගෙන තිබෙන්නේ එකිනෙකා සමග තරග කරන ව්‍යූහයක් මිස එකට එක් වී සමාජයක් ගොඩනගන ක්‍රමයක් නොවේ. අප සිටින්නේ ලබාගන්නා සහතික ප්‍රමාණය මිස ඒ අධ්‍යාපනයේ ගුණාත්මක බව නොසලකන ක්‍රමයක් තුලයි. මේ ක්‍රමය වෙනස් කිරීමෙන්, තමාගේ රට සහ සමාජය ගැන අවධානයෙන් සිටින පුරවැසි සමූහයක් ගොඩනගන අධ්‍යාපන ක්‍රමයක් අපි ඉල්ලා සිටිය යුතුයි. සදාචාරාත්මක, දේශපාලනික, සහ ආර්ථික ප්‍රශ්න ගැන විචාරාත්මකව සිතිය හැකි ජනතාවක් බිහිකරන අධ්‍යාපනයක් අප ඉල්ලා සිටිය යුතුයි.

එම වෙනස පටන් ගත යුත්තේ ඉගැන්වීමට කැපවීමක් සහ ආශාවක් ඇති ගුරුවරු පාසල් හෝ විශ්ව විද්‍යාල වලට යැවීමෙනි. එවැනි වෙනසක් ඇති කිරීමට නම් මුලින්​ම පාසල් ගුරුවරුන්ට වැඩි වැටුපක් ගෙවා, ඔවුන්ට සරිලන පුහුණුවක් ලබා දිය යුතුය. ඒ සමගම දැනට තිබෙන ගුරු බඳවාගැනීම් ප්‍රතිපත්ති හා විෂය නිර්දේශ වෙනස් කල යුතුය. එහෙත්, ආණ්ඩු මගින් රාජ්‍ය මුදල් වැඩි වශයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කරන්නේ නැත්තම් මේ කිසිවක් අපට සිදුකිරීමට නොහැක.

මා කියන මේ වෙනස්කම් බොළඳ හෝ ප්‍රායෝගික නොවන සිහින ලෙස ඔබ සිති​ය හැකියි. ආහාර හිඟයක් ඇති රටක, ඉන්ධන හිඟා කන රටක අධ්‍යාපනයට මුදල් වැය කරන්නේ කෙසේද? එහෙත්, මීට මාස කිහිපයකට පෙර ජනාධිපතිගේ මිරිහානේ නිවස ඉදිරිපිට විරෝධය පෑම ගැන කතා කලා නම්, එයද එසේම ප්‍රායෝගික නොවන සිහිනයක් ලෙස දකින්නට ඉඩ තිබුණි. කල හැකි දේ ගැන සිතීමට ඇති රැඩිකල්ම ස්ථානය පංති කාමරය බව අප්‍රිකානු ඇමෙරිකානු ගත් කතුවරිය බෙල් හුක්ස් වරක් ලියා තිබේ. අධ්‍යාපනය ගැන කැක්කුමක්  ඇති අපි සියල්ලන්ටම අපේ පංති කාමර ගැන සිතීමට, පවතින අධ්‍යාපන ක්‍රමය පෙරලා නව ක්‍රමයක් සෙවීමට මේ හොඳම කාලයයි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *