රාජ්‍ය විශ්ව විද්‍යාල අංග විකල කරන අයවැයක් 

අහිලන් කදිර්ගාමර් 

1930 ගණන් වලින් පසු මතුවූ දරුණුම ආර්ථික අර්බුදයට ලංකාව මේ වනවිට මුහුණ දෙමින් සිටියි. ආර්ථික ස්ථායිකරණය සඳහා මේ මොහොතේ රජය ගන්නා පියවර තුළින් රටේ දේශපාලන-ආර්ථික තත්වය දැඩි ලෙස වෙනස් විය හැකිය. සිදුවෙමින් පවතින මෙම වෙනස්කම් මධ්‍යයේ අධ්‍යාපන පද්ධතිය, වඩා නිශ්චිතව විශ්ව විද්‍යාල පද්ධතිය, තදබල පීඩනයකට මුහුණ දෙමින් තිබේ. 

මේ වසරේ අයවැය කතාව තුළින් අනාගත පරම්පරා වල විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ඇති ප්‍රවේශයට එල්ල කරන තර්ජනය පිළිබඳ විශ්ලේෂණය කිරීම මෙම ලිපිය ලිවීමේ අරමුණයි. රාජ්‍ය විශ්ව විද්‍යාල සඳහා ඇති අරමුදල් කප්පාදු කිරීමේ පිළිවෙත දිගටම ගෙනයන බවක් අයවැය කතාව තුළ පෙනෙන්නට තිබේ. විශ්ව විද්‍යාල වල ආණ්ඩුකරන ක්‍රියාවලිය තනිකරම වෙනස් කිරීම, පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන රජයේ විශ්ව විද්‍යාල හා සම තත්වයේ ලා සැළකීම, හා ඒවාට උසස් අධ්‍යාපනය තුළ ඇති භූමිකාව පුළුල් කිරීම මෙමඟින් අරමුණු කරයි.  

අරමුදල් කප්පාදුව සහ වානිජකරණය 

පසුගිය වසර කිහිපය තුළ විශ්ව විද්‍යාල සඳහා රජයෙන් වෙන් කෙරුණු අරමුදල් වල ප්‍රමාණය දල දේශීය නිෂ්පාදිතයෙන් 0.6% සිට 2020 දී 0.25% දක්වා පහත බැස තිබේ. විශ්ව විද්‍යාල වල අනාගත දියුණුව සඳහා රජයේ කැපවීම පෙන්වන නිර්ණායකයක් වන ප්‍රාග්ධන වියදම් දල දේශීය නිෂ්පාදිතයෙන් 0.14% සිට 0.02% දක්වා පහත හෙලා ඇත. එය වසර හතරකට පෙර කරන ලද වියදම මෙන් හතරෙන් එකකි.   

2024 සඳහා වෙන්කොට ඇති අරමුදල් වල ප්‍රමාණය කොහොමටත් අඩුය. එහෙත් එම මුදල් පවා වියදම් කළ හැකිද නැද්ද යන්න තීරණය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ලබාදී ඇති ආදායම් ඉලක්ක කොතරම් දුරට සම්පූර්ණ කරන්නේද යන්න මතය. එසේම විශ්ව විද්‍යාල වලට බඳවා ගන්නා සිසුන්ගේ ප්‍රමාණය 50% කින් පමණ ඉහළ දමා ඇත; 2016 වසරේ 29,000 ක් වූ එය 2023 වසරේදී 44,000 කි. විශ්ව විද්‍යාල වෙනුවෙන් කරන වියදම එන්න එන්නටම අඩු කරන පසුබිමක මෙසේ ශිෂ්‍ය බඳවා ගැනීම් ඉහළ දැමීම තුළින්, රාජ්‍ය විශ්ව විද්‍යාල අසාර්ථක බව පෙන්වීමේ රජයේ අරමුණ මොනවට පැහැදිලි වේ. උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම පිළිබඳ බොරු උනන්දුවක් රජය ප්‍රදර්ශනය කරන්නේ මෙසේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය කඩා වැටීමට ඉඩ හැරීම තුළින් එම අවශ්‍යතාවය නිර්මාණය කිරීමෙනි.    

විශ්ව විද්‍යාල වල අරමුදල් කප්පාදුව මෑත කාලීන ප්‍රවණතාවක් නොවේ. අනුක්‍රමික ආණ්ඩු ගණනාවක් විසින්ම පෞද්ගලික විශ්ව විද්‍යාල ප්‍රවර්ධනය කිරීම සඳහා මේ ක්‍රමය අනුගමනය කොට තිබේ. වත්මන් ලෝකයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ ලබාදෙන රටවල් ඉතා ස්වල්පය අතරින් එකකි ශ්‍රී ලංකාව. ආර්ථික බාධා සහිත සිසුන්ට එය ඉමහත් ආශීර්වාදයකි. 1940 ගණන් දක්වා අතීතයට දිවෙන මේ උරුමයට පටහැනිව, ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් දැන් දශක කිහිපයක සිට යෝජනා කරන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල බිහි කිරීමයි. 2024-2027 හවුල්කාරීත්ව රාමුව (partnership framework) තුළද ලෝක බැංකුව විසින් ලංකා විශ්ව විද්‍යාල වානිජකරණය කිරීම යෝජනා කොට තිබේ. සමාජ සුබසාධන වියදම් කප්පාදු කිරීම හා උසස් අධ්‍යාපනය ව්‍යාපාරයක් බවට පත්කිරීම ලෝක බැංකුව විසින් දිගින් දිගටම යෝජනා කරන ලද ප්‍රතිපත්ති බව නොරහසකි.

ගෝලීය ප්‍රාග්ධනයට සහ දේශීය ප්‍රභූන්ට සිය වාණිජ අරමුණු සාධනය කරගැනීම සඳහා වත්මන් අර්බුදය හොඳ අවස්ථාවක් වී ඇත. සිය අයවැය කතාවේදී ජනාධිපතිවරයා විවෘතව පැවසුවේ රජය මේ වනවිට ඉඩම් සහ බැංකුකරණය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් අරබයා වන නීති 60 කට ආසන්න ප්‍රමාණයක්  වෙනස් කිරීමට සූදානම් වන බවයි. ජනවරමක සුජාතභාවයක් නොමැති, රාජපක්ෂ බහුතරයකින් සමන්විත වත්මන් රජය, පාර්ලිමේන්තු මැතිවරණයකට පෙර රටේ නීති පද්ධතිය සහමුලින් වෙනස් කිරීමට උත්සහ දරන බැව් පෙනේ. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කොට ඒ වෙනුවට ජාතික උසස් අධ්‍යාපන කොමිසමක් හඳුන්වා දීම එම වෙනස්කම් වලින් එකකි.    

සුපිරි වෙළඳසැල් වැනි විශ්ව විද්‍යාල

“රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල සඳහා ශක්තිමත් නීති රෙගුලාසි පද්ධතියක් හඳුන්වා දීමෙන් පසු, ලෝකයේ ඕනෑම විශ්ව විද්‍යාලයකට ලංකාව තුළ ශාඛා විවෘත කිරීමට අපි ඉඩ ලබා දෙන්නෙමු. උසස් පෙළ විභාගය සමත් වන සියළුම සිසුන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබාගැනීමේ අවස්ථාව මෙමඟින් විවෘත වන අතර, විදේශීය සිසුන් ආකර්ෂණය කරගැනීම මඟින් විදේශ විනිමය රට තුළට ගෙන්වා ගැනීමේ මාර්ගයක්ද විවෘත වනු ඇත. මෙවැනි විශ්ව විද්‍යාල වල සිසුන් සඳහා ණය පහසුකම් සම්පාදනය කෙරෙනු ඇත.”

ඉහත උධෘතය මෙවර අයවැය කතාවෙනි. 1970 දශකයේ අග භාගයේ විවෘත ආර්ථිකය හඳුන්වා දෙනවිට ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා කියා සිටියේ “කොල්ලකාර සිටුවරුන්ට පැමිණෙන්න ඉඩ දෙන්න!” කියාය. අද වික්‍රමසිංහ ආරාධනා කරන්නේ කොල්ලකාර සිටුවරුන්ට පැමිණ විශ්ව විද්‍යාල විවෘත කිරීමට ඉඩ දෙන ලෙසද? එසේම ඩොලර් ගෙවීමකට උපාධියක් ලබා ගැනීමට පැමිණෙන ලෙස ඔහු විදෙස් සිසුන්ට ආරාධනා කරයි. 1970 ගණන් වල ලිබරල්කරණය ප්‍රකට වූයේ සුපිරි වෙළඳසැල් වල පැතිර යාම හරහා නම්, අද නවලිබරල් අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළින් ප්‍රකට වන්නේ සුපිරි වෙළඳසැල් වැනි විශ්ව විද්‍යාල පද්ධතියකි. 

NSBM, SLIIT, Horizon Campus සහ Royal Institute යන උසස් අධ්‍යාපන ආයතන හතර විශ්ව විද්‍යාල මට්ටමට උසස් කිරීම රජය අරමුණු කරයි. එමෙන්ම තාක්ෂණය, දේශගුණික විපර්යාස සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍ර ඇතුළුව තව කිහිපයක් සඳහා නව පෞද්ගලික විශ්ව විද්‍යාල 6 ක්  බිහිකිරීමේ සැලසුම්ද තිබේ. නව පද්ධතිය යටතේ විශ්ව විද්‍යාල බිහි කිරීමේ බලය පලාත් සභා වලටත් ලැබෙනු ඇත.  

‘නවීකරණය’ යන පදයට මුවා වී විශාල වෙනස්කම් රාශියක් කිරීමට රජය මෙවර අයවැය කතාවෙන් යෝජනා කරයි: ජාතික කෘතීම බුද්ධි මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා රුපියල් බිලියන 3 ක්, ජාතික පර්යේෂණ ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම සඳහා රුපියල් බිලියන 8 ක් වෙන්කිරීම යන ඒවා ඒ අතර ප්‍රධාන වේ. පවතින විශ්ව විද්‍යාල පද්ධතිය නඩත්තු කිරීමටවත් මුදල් නැතැයි පවසන රජයට මේ මුදල ලැබෙන්නේ කොහෙන්දැයි අපැහැදිලිය.   

යෝජිත නව පෞද්ගලික විශ්ව විද්‍යාල වලට සිසුන් ආකර්ෂණය කරගැනීමේ ක්‍රමයක් ලෙස පොළී රහිත හා සහන මිලට ලබාදෙන ණය ක්‍රමයක් පිළිබඳ යෝජනාද රජය විසින් ඉදිරිපත් කර තිබේ. එහෙත් මෙම මාදිලිය වෙනත් රටවල කොතරම් අසාර්ථක වී ඇත්ද යන්න සඳහන් කිරීමට රජය අපොහොසත් වී ඇත. 

පැහැදිලි බව සහ ප්‍රතිරෝධය 

රටේ ප්‍රභූන්ට අනුව විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ප්‍රවේශය ලබාගත නොහැකි සිසුන්ට ගෙවීමක් කිරීම ඔස්සේ එම ප්‍රවේශය ලබාගැනීමට මඟ සැලසීමේ හොඳම ක්‍රමය පෞද්ගලික විශ්ව විද්‍යාල විවෘත කිරීමයි. රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය නැතිකර දැමීමේ දැඩිම ආධාරකරුවන්ද ඔවුහුය. මීට වඩා තරමක් ව්‍යාකූල වූ කණ්ඩායමක්ද වේ. ඔවුන්ට අනුව රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට රජයේ අනුග්‍රහය ලැබෙන තාක්, පෞද්ගලික විශ්ව විද්‍යාල පැවතීමේ හානියක් නැත. මෙතැන අවශ්‍යයෙන්ම සිදුවන්නේ හුවමාරුවක් බව ඔවුන්ට නොවැටහේ. පෞද්ගලික විශ්ව විද්‍යාල විවෘත කළ විට රාජ්‍යය විසින් රාජ්‍ය විශ්ව විද්‍යාල අත්හැර දමනු ඇත; ඒවායෙහි සම්පත් – දේශකයින්ද ඇතුළුව – පෞද්ගලික විශ්ව විද්‍යාල මඟින් දඩයම් කරගනු ඇත. 

ජනහිතකාමී යැයි කියාගන්නා රජයේ මතයට අනුව පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් තොරව අපේ රටේ තරුණ පරම්පරාවෙන් විශාල ප්‍රමාණයකට විශ්ව විද්‍යාල ප්‍රවේශය අහිමිය. 2022 වසරේ විශ්ව විද්‍යාල සඳහා අයදුම් කළ පිරිස 91,000 කි; ඒ අතරින් 44,000 ක් අවසානයේ විශ්ව විද්‍යාල වල ලියාපදිංචි විය. වත්මනේ අධ්‍යාපනය වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් වෙන්කරන 0.25% ක මුදල 1% මට්ටමට හෝ ගෙන එන්නේ නම් මෙම සමස්ත සිසුන් ප්‍රමාණය බඳවා ගැනීමට රාජ්‍ය විශ්ව විද්‍යාල වල‍ට හැකිවනු ඇත. එම නිසා විශ්ව විද්‍යාල අවස්ථා පුළුල් කිරීම සඳහා එකම විසඳුම පෞද්ගලික විශ්ව විද්‍යාල නොවන බව පැහැදිලිය. රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය පුළුල් කිරීමෙන්ද එය සිදුකළ හැකිය. අවශ්‍ය වන්නේ ඒ සඳහා වූ දේශපාලන කැපවීමයි. මීට අවශ්‍ය වන අරමුදල් සම්පාදනය සඳහා ගත හැකි එක් ක්‍රියාමාර්ගයක් ලෙස ප්‍රභූන් මත ධන බද්දක් පැනවීම යෝජනා කළහැක. ගෘහස්ථ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එක් පියවරක් ලෙස වැඩකරන ජනතාවගේ ඉතිරි කිරීම් සහ සමාජ ආරක්ෂණ සහිත EPF, ETF අරමුදල් වලින් අඩු කරගත් දල දේශීය නිෂ්පාදිතයෙන් 0.5% ක් වූ මුදල යෙදෙව්වත් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට යම් පණක් එන්නත් කළ හැකිව තිබුණි.     

මේ මොහොතේ හදිසිම අවශ්‍යතාවයක් වන්නේ උසස් අධ්‍යාපනය සම්බන්ධ අයවැය යෝජනා පැරදවීමයි. රාජ්‍ය විශ්ව විද්‍යාල වලට නොනවත්වා පහර එල්ල කරන මේ අවස්ථාවේ ශිෂ්‍ය ව්‍යාපාර, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සහ පුළුල් සමාජය එක්ව මේ ව්‍යාපාරය සිදුකළ යුතුය. නැතිනම් ‘අර්ථාන්විත විශ්ව විද්‍යාල අධ්‍යාපනය’ යන මැයෙන් වැඩි යමක් ඉතිරි නොවනු ඇත. අපේ අනාගත පරම්පරා වලට සිදුවන්නේ අංග විකල විශ්ව විද්‍යාල පද්ධතියක, අඩු තත්වයේ උපාධි පාඨමාලා සඳහා සුපිරි වෙළඳසැලක මෙන් සාප්පු සවාරි යාමටය.