වෛද්‍ය උපාධිය සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ! මිලිටරි ආරක්ෂාව යටතේ ගාස්තු ගෙවීමේ පදනම මත වෛද්‍ය පාඨමාලා හඳුන්වා දීම 

රම්‍යා කුමාර් 

අප්‍රේල් මස මුලදී ආරක්ෂක ඇමති ලෙස සිය ධාරිතාවෙන් ජනාධිපති විසින් හඳුන්වා දෙනු ලදුව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද යෝජනාවකට අනුව, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ගාස්තු ගෙවීමේ පදනම මත දේශීය සිසුන් බඳවා ගැනීමට අවශ්‍ය පදනම සකසා දුනි. ඉන් අනතුරුව අදාළ විශ්ව විද්‍යාලයෙහි වෙබ් පිටුව මත ඊට අදාළ අයදුම්පත් කැඳවා තිබූ අතර, එසේ අයදුම්පත් යොමුකළ හැකි අවසාන දිනය ලෙස දක්වා තිබුණේ 2024 මැයි මස 5 වන දිනය. එනම් දැන්වීම පළවූ දින පටන් සති දෙකක් වැනි කෙටි කාලයකි.   

මෙරට වෛද්‍ය අධ්‍යාපනය රාජ්‍ය විශ්ව විද්‍යාල 13 ක වෛද්‍ය පීඨ තුළින් ලබාදෙන අතර, ඉන් කොතලාවල විශ්ව විද්‍යාලය හැරුණු විට අනෙක් 12 විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පවතී. රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ වෛද්‍ය පීඨ වලට ප්‍රවේශය ලබාගන්නා දේශීය සිසුන් උසස් පෙළ විභාගයෙන් දෙනලද කඩඉම් ලකුණකට ඉහළින් ලබාගන්නා පිරිසක් වන අතර, ඔවුහු සිය උසස් අධ්‍යාපනය සඳහා ගාස්තු නොගෙවති. මෙම පීඨ වල 5% ක් වැනි සීමිත ආසන ප්‍රමාණයක් විදෙස් සිසුන් සඳහා වෙන්කොට ඇති අතර, ඔවුහු පාඨමාලා ගාස්තු ලෙස ඇමෙරිකානු ඩොලර් 62,500 ක් (එනම් සමාසිකයකට 12,500 බැගින් සමාසික 5 ක්) ගෙවති. කොතලාවල විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට මෙතෙක් කල් බඳවා ගන්නා ලද්දේ ආරක්ෂක අංශ වල සාමාජිකයන්, විදෙස් සිසුන් සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ දරුවන්ය. වෙනත් වචන වලින් කියන්නේ නම්, අද වනතුරු කිසිදු රාජ්‍ය විශ්ව විද්‍යාලයක වෛද්‍ය පීඨයකට (කොතලාවල විශ්ව විද්‍යාලයද ඇතුළුව) ගාස්තු ගෙවීමේ පදනම මත දේශීය සිසුන් බඳවාගෙන නොමැත.   

පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීම මෙරට ශිෂ්‍ය ව්‍යාපාර හා උනන්දුවක් දක්වන අනෙකුත් පාර්ශ්ව විසින් දිගින් දිගටම ප්‍රතිරෝධයක් දැක්වූ කරුණකි. ඊට හේතු වූයේ ඒ තුළින් එම අධ්‍යාපනයේ ගුණාත්මක භාවයට ඇති කළහැකි බලපෑම මෙන්ම ඒ හරහා වෛද්‍ය අධ්‍යාපනය තුළ සමතාව (equity) පිළිබඳ මතු කරන ගැටළුය. කොතලාවල විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ගාස්තු ගෙවීමේ පදනම මත දේශීය සිසුන් ඇතුළත් කරගැනීමට රජය උත්සහ දැරූ පළමු අවස්ථාව මෙය නොවේ. 2021 වසරේ ‘කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත’ මඟින්ද එවැනිම උත්සහයක් ගැනුණි. මෙවර ජනපති විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කොට ඇත්තේ නීතිය හෝ නිසි පිළිවෙත පිළිබඳ කිසිදු තැකීමකින් තොරවය. මෙම යෝජනාව ක්‍රියාත්මක වුවහොත් එමඟින් රටේ වෛද්‍ය අධ්‍යාපනය දැඩි වෙනසකට ලක්කරනු ඇත.

බඳවා ගැනීමේ නිර්ණායක

කොතලාවල විශ්ව විද්‍යාලයේ වෙබ් පිටුව දක්වන පරිදි, ගාස්තු ගෙවීමේ පදනම මත වෛද්‍ය පාඨමාලාවට බඳවා ගන්නන් අවිවාහක, වයස අවුරුදු 17-24 අතර, 2022 වසරේ උසස් පෙළ විභාගයට (හෝ 2023 වසරේ ඊට සමාන්තර විදෙස් කඩඉම් විභාගයකට) ජීව විද්‍යා විෂය දහරාවෙන් මුහුණ දී, පළමු උත්සාහයේදීම සම්මාන සාමාර්ථ (credit passes) 2 ක් හා සාමාන්‍ය සාමාර්ථ (simple pass) 1 ක අවමයක් ලැබූ ශ්‍රී ලාංකිකයින් විය යුතුය. මෙය ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ අවම ප්‍රමිතීන් වලට අනුකූලය.  

උසස් පෙළ සාමාර්ථ පිළිබඳ මෙම නිර්ණායක නිසා වඩා වැඩි සිසුන් පිරිසකට වෛද්‍ය උපාධියට අයදුම් කිරීමේ අවස්ථාව ලැබේ. නමුත් මෙම විශාල ප්‍රමාණයෙන් කවුරුන් ඇතුළත් කරගන්නේද යන තීරණය ගනු ලබන ආකාරය පිළිබඳ කොතලාවල විශ්ව විද්‍යාලය ලබාදෙන තොරතුරු ප්‍රමාණය ඉතා අල්පය. ඒ සම්බන්ධයෙන් ඔවුන් දක්වා ඇති එකම කරුණ වන්නේ, උසස් පෙළ ප්‍රතිඵල වලට අමතරව ව්‍යුහගත සම්මුඛ සාකච්ඡාවක් මත පදනම්ව සිසුන් තෝරාගනු ලබන බවත්, එහිදී විශ්ව විද්‍යාලයේ කළමණාකාර මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වනුඇති බවත්ය.   

ප්‍රවේශය ලැබෙන්නේ කාටද?

මෙම පාඨමාලාව වසරකට රුපියල් මිලියන 2.5 බැගින් වසර පහක් සඳහා රුපියල් මිලියන 12.5 ක්, එනම් ඇමෙරිකානු ඩොලර් 42,000 ක වටිනාකමට සමාන ප්‍රමාණයක් ගාස්තු වශයෙන් අය කරයි. මෙම වියදම දැරිය නොහැකි අයවළුන් වෙනුවෙන් ලබාදෙන ශිෂ්‍යත්ව හෝ වෙනත් ප්‍රතිපාදන පිළිබඳව අදාළ වෙබ් පිටුවෙහි සඳහන් නොවේ. නමුත් පෞද්ගලික විශ්ව විද්‍යාල තුළින් මෙවැනි ශිෂ්‍යත්ව හා ප්‍රතිපාදන ලබාදෙන බවට මෑතදී පළකෙරුණු මතභේදාත්මක ‘ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව’ තුළ නම් රජය ලොකුවට පොරොන්දු වී ඇත. මෙම ගාස්තුව පහසුවෙන් ගෙවිය හැකි තරම් ඉහළ ආදායම් කාණ්ඩ වල පවුල් වලින් පැමිණෙන්නන්ට අමතරව, සිය දේපල විකුණා දමා හෝ උකසට තබා ගෙවන කණ්ඩායමක්ද නිර්මාණය වනු ඇත. නමුත් පෙර දැක්වූ සම්මුඛ සාකච්ඡාවේදී, වඩා චතුර ලෙස ඉංග්‍රීසි කතාකළ හැකි පසුබිමකින් එන පිරිසට වැඩි වාසියක් අත්වීම නොවැළක්විය හැකිවනු ඇත.  

ඇත්තෙන්ම ලොව බොහෝ රටවල මෙම තත්වය නිසා වෛද්‍ය වෘත්තිය ප්‍රභූ එකක් බවට පත්ව තිබේ: සම්මුඛ සාකච්ඡා වලදී අවධානය යොමු කරන විෂය බාහිර ක්‍රියාකාරකම්, ප්‍රජා සේවය සහ වෙනත් ආකාරයේ ජයග්‍රහණයන් සඳහා අවස්ථාව බොහෝවිට හිමිවන්නේ එක් පන්තියක පිරිසකට වීම ඊට හේතුවයි. එමෙන්ම පෞද්ගලික හැඳුනුම්කම් මාර්ගයෙන් බොහෝ කටයුතු කරගැනෙන ලංකාව වැනි රටවල, කොතලාවල විශ්ව විද්‍යාලයේ තේරීම් ක්‍රියාවලිය පමණක් නිල ආකාරයටම සිදුකෙරේවි  යැයි අනුමාන කිරීමට කිසිදු හේතුවක් නැත. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය (North Colombo Medical College – NCMC) සහ සයිටම් (SAITM) යන විද්‍යාල වලට බොහෝවිට බඳවා ගැනෙන්නේ වෛද්‍යවරුන්ගේම දුවා දරුවන් බව ප්‍රසිද්ධ රහසකි.

ප්‍රශ්නකාරී සාධාරණීකරණය කිරීමක්

වෛද්‍යවරුන් බොහොමයක් රට හැරදමා යාමේ ගැටළුව පිළිබඳ පසුබිමක් තුළ, මේ වනවිට දේශපාලනඥයින්, වෛද්‍ය වෘත්තිකයින් හා වෙනත් පාර්ශ්ව විසින් ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලයේ (SLMC) අනුමැතියට යටත්ව වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම සාධාරණීකරණය කිරීම දැකිය හැකිවේ. ඒ අනුව පවතින බොහොමයක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල SLMC අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ. මෙමඟින් බුද්ධි ගලනයට පිළිතුරක් ලැබේද යන්න සැක සහිතය. බටහිර රටවල් වල ඉතා ඉහළින් ගෙවීම් කරන වෛද්‍ය ක්ෂේත්‍රයේ රැකියා අනන්ත ප්‍රමාණයක් පවතින තත්වයක් තුළ, ගාස්තු ගෙවන වෛද්‍ය සිසුන් මෙරට රැඳේවි යැයි අපේක්ෂා කළ නොහැක. මෙරට රැඳුනද, සිය උසස් අධ්‍යාපනය වෙනුවෙන් දරන ලද අතිමහත් වියදම නිසා (සහ ඒ වෙනුවෙන් බොහෝවිට ලබාගන්නා ණය නැවත ගෙවීමේ අවශ්‍යතාව නිසා), පෞද්ගලික වෛද්‍ය සේවා අවමයෙන් පවතින පදවිය හෝ පුදුකුඩිඉරුප්පු වැනි ප්‍රදේශයක ඔවුන් සේවය කරාවි යැයි සිතිය නොහේ. 

වත්මනේ වෛද්‍ය වෘත්තිකයින් ග්‍රාමීය ප්‍රදේශ වල රඳවා ගැනීමට ක්‍රම දෙකක් භාවිතා කෙරේ: ඒවා නම් දිස්ත්‍රික් කෝටා ක්‍රමය සහ සීමාවාසික පුහුණුවෙන් පසු සිදුකරන අනිවාර්ය පත්කිරීම්ය. පළමු ක්‍රමය අපේ අධ්‍යාපනය පද්ධතිය පොදුවේ අරක්ගෙන ඇති දරුණු අසමානතා වල බලපෑම අඩු කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මඟින් ක්‍රියාත්මක කරන එකකි. මෙම කෝටා ක්‍රමය තුළින් ප්‍රවිෂ්ටය ලබාගන්නා සිසුන් බොහෝවිට සිය උපන් ස්ථාන වලටම සේවා පත්වීම් ලබාගනිති. දෙවැන්න ක්‍රියාත්මක කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වන අතර එය අනිවාර්යය. එමඟින් රටේ සෑම තැනකටම සුදුසුකම් ලත්  වෛද්‍යවරුන් ප්‍රමාණවත් සංඛ්‍යාවක් සිටින බව සහතික කෙරේ. රෝහල් පද්ධතිය රාජ්‍ය අනුග්‍රහය යටතේ පෞද්ගලීකරණය වන තත්වයක් තුළ වෛද්‍ය අධ්‍යාපනයත් පෞද්ගලීකරණය කිරීම මඟින් පොදු සෞඛ්‍ය සේවා වලින් පෞද්ගලික ඒවා වෙතට බුද්ධි ගලනයක් සිදුවේ; ඉන්දියාව, තායිලන්තය සහ මැලේසියාවේ සිදුවූවාක් මෙන් මේ නිසා පොදු සෞඛ්‍ය පද්ධතිය තුළ – විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශ වල – සේවා සපයන්නන්ගේ හිඟයක් ඇතිවනු ඇත. 

වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට පක්ෂව ඇති තවත් තර්කයක් වන්නේ එමඟින් රටින් ඉවතට ගලායන විදේශ විනිමය රට තුළ ඉතිරි කරගත හැකිවීමයි. රජයේ වෛද්‍ය පීඨ තුළ ගාස්තු ගෙවීමේ පදනම මත ලබාදෙන අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම මඟින් මෙය යම්තාක් දුරකට කළහැකි වුවත්, දැනට සිදුවන්නේ රජය විසින් විදේශ ආයෝජකයින්ට මේ සඳහා ආරාධනා කිරීමට සැලසුම් කිරීමය. යෝජිත ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවෙහි දක්වා ඇති පරිදි “උසස් අධ්‍යාපනය සහ කුසලතා සංවර්ධනය යන ක්ෂේත්‍ර තුළ විදේශ ආයෝජන අරබයා දැනට පවතින බාධා ඉවත් කිරීම හා ආයෝජනය කළහැකි අවම සීමා පිළිබඳ කොන්දේසි පැනවීම මඟින් උසස් ප්‍රමිතියෙන් යුතු ආයතන ආකර්ෂණය කරගැනීම” රජය අරමුණු කරයි. නමුත් මෙම ආයතන ක්‍රියාත්මක මට්ටමේදී ඇත්තෙන්ම ලාභයම හඹායන අතර, ඒවා සිය මව් ශාඛා පවතින රටවලට අවශෝෂණය කරගනී. 

‘උපායමාර්ගික සැලසුම්කරණය’

අරගලයෙන් පසු කාලසීමාව තුළ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමේ සිය වෑයම රජය ඉතා සියුම් ලෙස ඉදිරියට ගෙනයයි. මේ අතර රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ලබාදෙන අරමුදල් පෙර නොවූ විරූ අන්දමින් කපාහැර ඇති අතර, සිය අරමුදල් හැකිතරම් දුරට ස්වයංව ජනනය කරගන්නා ලෙස එම ආයතන වලට උපදෙස් ලබාදී ඇත. ශිෂ්‍ය විරෝධතා අත්අඩංගුවට ගැනීම් හා තර්ජන තුළින් නිහඬ කොට ඇත. රජයේ අනුග්‍රහය ඇතිව සිදුවන ප්‍රචාරණ වලින් නිරන්තරයෙන් විරෝධතා වල නියැලෙන සිසුන් සහ ස්වාර්ථය පිළිබඳ පමණක් කරදර වන ආචාර්යවරු පිළිබඳ මතයක් සාර්ථක ලෙස සමාජගත කොට තිබේ. මේ නිසා රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය පිළිබඳ මධ්‍යම පාන්තික මතය ඉතිහාසගත ලෙස පහළ බැස තිබේ. 

පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය, රාජ්‍ය වෛද්‍ය අධ්‍යාපනයට කිසිදු අයුරකින් බලපෑමක් නොවිය යුතු බවට පොදුවේ පිළිගැනීමක් තිබුණද, මේ බව සහතික කිරීම සඳහා කිසිදු පියවරක් ගෙන නැත. ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලය ප්‍රතීතන ප්‍රමිතීන් (accreditation standards) ලබාදෙන්නේ රාජ්‍ය හා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල එක මට්ටමේ ලා සළකා ය; එහිදී රාජ්‍ය පද්ධතියට – විශේෂයෙන්ම පරිධියෙහි පවතින රාජ්‍ය විශ්ව විද්‍යාල වලට – කෙරෙන අඩු ආයෝජනය සැළකිල්ලට නොගැනේ. කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවීම නිසා SLMC ප්‍රතීතනය ලබාගත නොහැකිව සිටින රජයේ වෛද්‍ය පීඨ අදටත් පවතී. මෙවැනි ගරාවැටෙන වෛද්‍ය පීඨ වල සම්පත් ටික කලක් යනවිට පෞද්ගලික අංශය මඟින් ගොදුරු කරගනු නොඅනුමානය. 

නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියෙන් මෙතරම් ප්‍රයෝජන ලබාඇති අපේ පරම්පරාව, අනාගත පරම්පරා සඳහා එය ආරක්ෂා කිරීමට උත්සුක නොවන්නේ ඇයි? රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියෙහි පවතින නේකවිධ ප්‍රශ්න වලට විසඳුම පෞද්ගලීකරණය නොවේ. ප්‍රතිසංස්කරණ අවශ්‍ය මුත් ඒවා කෙරෙහි ළඟාවිය යුත්තේ පුළුල් සාකච්ඡාමය ක්‍රියාවලියකින් අනතුරුවය. හදිසියේ සම්මත කරගන්නා ලද, වැඩිපුර සිතා නොබැලූ ප්‍රතිපත්ති තුළින් වාණිජ අරමුණු සාධනය කරගැනීමට තතනනු වෙනුවට, අපට දැනට පවතින දේ ආරක්ෂා කරගැනීමට උත්සාහයක් නොගන්නේ ඇයි?

පෞද්ගලීකරණයෙහි පළමු අත්හදා බැලීම ලෙස කොතලාව විශ්ව විද්‍යාලය තෝරාගැනීමෙහි අරුමයක් නැත. ඒ, මන්ද සියළු ප්‍රතිරෝධ මර්දනය කිරීමට අවශ්‍ය තරම් මිලිටරි බලයක් ඊට ඇති නිසාය. මීට ප්‍රතිවිරුද්ධව කළහැකි එකම ක්‍රියාව දැවැන්ත මහජන බලයක් ලෙස නැඟී සිටීම පමණි. මහජන වරමක් නොමැති ජනපතිවරයකු හා ජනවරම අහිමි කරගත් කැබිනට් මණ්ඩලයකින් සම්මත වන මෙම ප්‍රතිපත්ති පිළිබඳ සිය ස්ථාවරය කුමක්දැයි ඊළඟට බලය ලබාගැනීමට අර අඳින කවුරුන් වුවත් පැහැදිලිව සහ ඉක්මණින් ප්‍රකාශ කළයුතුය.