ශාස්ත්‍ර පීඨ වලින් සුපිරි ගණ​යේ පර්යේෂණ බිහි කිරීමට නම්…

කෞශල්‍යා පෙරේරා

නව පර්යේෂණ ශාස්ත්‍ර පීඨවලින් බිහිනොවන බවට චෝදනාව රාජ්‍ය විශ්ව විද්‍යාලවලට එරෙහි​ව, විශේෂයෙන්ම මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා ක්ෂේත්‍ර වලට එරෙහිව, වසර ගණනාවක් තිස්සේ නැගෙන්නකි. ඒවායින් බිහිවන පර්යේෂණ ප්‍රමාණය, ඒවායේ ප්‍රමිතිය, වෙනත් පීඨවලට සාපේක්ෂව මෙම පීඨවල විද්වතුන්ගේ ඵලදායිතාවය යන විවිධ ප්‍රශ්න නිතරම අපට අසන්නට ලැබේ. රටක විද්වත් ප්‍රජාවක් ගැන ඇසෙන මෙවැ​නි ප්‍රශ්න පිළිබඳ ගැඹුරින් කල්පනා කිරීමට අප උත්සුක විය යුතුයි.

පර්යේෂණ ධාරිතාව වැඩි කිරීමට ශාස්ත් පීඨ ගෙන ඇති පියවර

පර්යේෂ්ණ සඳහා මුදල් වෙන් කිරීම ගැන කිව යුතු කාරණා දෙකකි. පළමුවෙන්ම, එසේ වෙන් කිරීමට විශ්ව විද්‍යාලයට මුද​ල් තිබිය යුතුයි. දෙවනුව, ඒ විශ්ව විද්‍යාලය ඒ මුදල් පර්යේෂණ සඳහා​ම වෙන් කල යුතුයි. ලෝකයේ ප්‍රථම පෙලේ පර්යේෂණ විශ්ව විද්‍යාල (හාවඩ් හෝ කෝනල් වැනි) ඔවුන්ගේ පර්යේෂණ සඳහා වාර්ශිකව ඩොලර් බිලියනයක් පම​ණ වෙන්කරති. එසේ කිරීමට තරම් ඔවුන් පොහොසත් බවත් ලාංකීය විශ්ව විද්‍යාල වලට එයින් සියට එකක් තරම් වත් මුදල​ක් නැති බවත් සත්‍යයකි. ඔවුන්ගේ මූලික කාර්යය පර්යේෂණ සිදු කිරීම වුවත් ලාංකීය විශ්ව විද්‍යාල වල මූලික කාර්යය විද්‍යාර්ථීන්ගේ අධ්‍යාපනය ව​න බවත් සත්‍යයකි. එහෙත් ඒ විශ්ව විද්‍යාල සහ ලාංකීය ​ විශ්ව විද්‍යාල අතර පර්යේෂණ සම්බන්ධව මූලික වෙනසක් වන්නේ පර්යේෂණ කාර්යය සඳහා ඔවුන් ලබා දෙන ප්‍රමුඛත්වයයි. ලෝකප්‍රකට පර්යේෂෙණ විශ්ව විද්‍යාල වලින් තම විද්වතුන්ගේ පර්යේෂණ අවශ්‍යතා ඉහලින්ම සලකා අවශ්‍ය මූල්‍ය හා වෙනත් ප්‍රතිපාදන සලසා දේ.  උපකරණ, සහායක වැටුප්, සම්මන්ත්‍රණ වලට සහභාගි වීම සඳහා අවශ්‍ය ගමන් හා වෙනත් ගාස්තු, පර්යේෂණ ප්‍රදාන වැනි දේ සඳ​හා මුදල් වෙන් කෙරේ. ඒ සමගම, පර්යේෂණ කාර්යයට උපකාරී වන ලෙස පරිපාලන රෙගුලාසි වෙනස් කිරීම, කථිකාචාර්යවරුන්ට පර්යේෂන සඳහා වැය කළ හැකි කාලය වැඩි කර දීමට අවශ්‍ය කළමනාකරණ පියවර ගැනීම වැනි දෙයින් ද ඔවුහු මේ ප්‍රමුඛතාව පෙන්වති.

ලාංකීය විශ්ව විද්‍යාල මෙයට සපුරා වෙනස් ය. අපේ රාජ්‍ය විශ්ව විද්‍යාල ඉ​තා දුප්පත්ය. රජය මගි​න් මහා භාණ්ඩාගාරය හරහා ඒවාට වෙන් කරන මුදල, ඉන්පසු ඒ තුල ඇති පීඨ අතර බෙදී යන විට සාමාන්‍ය වැඩ කටයුතු වලට යොමු වන්නේ ඉතා අඩු මුදල් ප්‍රමාණයකි. උදාහරණයක් ලෙස අධ්‍යයන අංශ එකොලහකුත්, ඒකක සතරකිනුත් සමන්විත, විද්‍යාර්ථීන් තුන්දහසක් පමණ සිටින මගේ රැකියාස්​ථානයට පසු ගිය වසර සඳහා රුපියල් මිලියනයකට අඩු ප්‍රමාණයක් ලැබුනු බව අපට අසන්නට ලැබිණි. එනිසා, ලාංකීය විශ්ව විද්‍යාල පර්යේෂණ සඳහා (හෝ වෙනත් දෙය​කට) මුදල් වෙන් කිරීමට යුහුසුළු වන්​නේ නම් ඒ මුදල් ඔවුන් වෙනම උපයා ගතයුතුයි. මහා පරිමාණ සති අන්ත හා බාහිර උපාධි පාඨමාලා ​හෝ දරා ගත නොහැකි ප්‍රමාණයේ පශ්චාත් උපාධි පාඨමාලා වල මූලාරම්භය වන්නේ අප අත්දකින දිගුකාලීන දරිද්රතාවයයි. එහෙ​ත් මේවායේද කටයුතු විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ගේ සාමාන්‍යයෙන් නියමිත වැඩ ප්‍රමාණයට අමතරව කළ යුතුවේ. කර්ම්නාත ශාලාවක වැඩ සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලයෙන් තුනෙන් එකක් කුලියට ගත්තොත්, ඉවර කළ හැකි වැඩ ප්‍රමාණයත් තුනෙන් එකකි. රාජ්‍ය විශ්ව විද්‍යාල වල වැඩටත් ඒ න්‍යායම බලපායි. රාජ්‍ය විශ්ව විද්‍යාල පර්යේෂණ සඳහා වෙන් කරන මුදල් ප්‍රමාණය ඔවුන්ගේ අවශ්‍යතා හා ඉපැයීම් හැකියාව අනුව වෙනස් වේ. ඒ හැර, ජාතික විද්‍යා පදනම (NSF) සහ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා උසස් අධ්‍යයන සඳ්හා වූ ජාතික මධ්‍යස්ථානය (NCAS) යන රාජ්‍ය ආයතන මගින්ද පර්යේෂකයින්ට යම් මුදල් ප්‍රමාණයක් ලබා දේ. දැනට පවතින ලෝක බැංකු ණය ව්‍යාපෘති මගිනුත් පර්යේෂ්ණ වලට මුදල් ලබා දෙනමුත්, ඔවුන්ගේ කොන්දේසි වලට යටත්ව, ඔවුන් ප්‍රමුඛතාවය දෙන මාතෘකා යටතේ එම මුදල් ලබා ගත යුතු අතර, එය සැම විටම විශ්ව විද්‍යාලයේ හෝ පර්යේෂකයාගේ අවශ්‍යතා වලට අනුකූල නොවීමට ඉඩ ඇත.  

සල්ලි ලැබුනත් පර්යේෂණ හරියට සිදුනොවන්නේ ඇයි?

        ‘ජාතික සංවර්ධනයට සුදුසු’ පර්යේෂණ සිදු කිරීම රාජ්‍ය විශ්ව විද්‍යාලවල කාර්යභාරයයි. එහෙත් බොහෝ විට මෙම කර්තව්‍යය අර්ථකතනය වන්නේ ඉතා පටු සහ කෙටිකාලීන ආකාරයකටයි. ‘ජාතික සංවර්ධනයට සුදුසු’ ලෙස බොහෝ විට සැලකෙන්නේ විද්‍යා, වෛද්‍ය විද්‍යා හෝ පරිගණක විද්‍යා ක්ෂේත්‍ර වල පර්යේෂණයි. එහෙත් ‘සුදුස්ස’  සාපේක්ෂ සංකල්පයකි. ර​ටට වැදගත් ඓතිහාසික සිද්ධියක්, රටේ වඳ වෙමින් යන භාෂාවක් හෝ රෝගී බව ගැන ඇති සමාජ ආකල්ප ගැන වැඩිදුරටත් දැනගැනීම රටකට සුදුසු සහ අවශ්‍ය දෙයක් නොවේද? තවද, අවශ්‍යතාව හෝ සුදුසු බව තීරණය කලයුත්තේ ඒ කාලයේ වැඩවසන ආණ්ඩුවේ ඇජෙන්ඩාව අනුව​ද නැත්නම් දිගුකාලීනව රටකට, සමාජයකට ගුණදායක වන්නේ කුමක්ද යන්න අනුවද යන්නත් ප්‍රශ්නයකි. රාජ්‍ය මුදල් පර්යේෂණ සඳ්හා වෙන් කරන විට මේවා වැදගත් ප්‍රශ්න බවට පත්වේ.

ඒ හැර රාජ්‍ය විශ්ව විද්‍යාල වල පර්යේෂකයින්ට කරදර කරන තවත් ප්‍රශ්න කිහිපයක් තිබේ. රාජ්‍ය අංශයට බලපාන යල්පැන ගිය පරිපාලන හා විගණන රෙගුලාසි නිසා වැඩකටයුතු බොහෝ ප්‍රමාද වන අවස්ථා හෝ පර්යේෂණ ව්‍යාපෘතිය ඇණ හිටින අවස්ථා ඇත. එනිසාම බොහෝ පර්යේෂකයින් තම පර්යේෂණ වලට විශ්ව විද්‍යාලයෙන් මුදල් ලබාගැනීමට අකැමති වේ. විදේශ ගමන් නිවාඩු සහ ඒ අදාල මූල්‍ය කටයුතු වල​ට අනුමැතිය ලබා ගැනීමට මාස කිහිපයක් ගතවීම නිසා රාජ්‍ය විශ්ව විද්‍යාල වල කථිකාචාර්යවරුන්හට විදේශ රටකින් හදිසියේ ලැබෙන ආරාධනාවක් පිළිගැනීමට හැකියාවක් නැත. විදේ​ශීය විශ්ව විද්‍යාල හෝ පර්යේෂණ ආයතන සමග ඇති කරගන්නා අවබෝධතා ගිවිසුම් සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතු බවට මෑතදී පැනවූ කොන්දේසිය තවත් මෙවන් කරදරකාරී රෙගුලාසියකි. මේ කොන්දේසිය නිසා හවුල් පර්යේෂණ ව්‍යාපෘති පටන් ගැනීම වසරකට වඩා කල් යන බැවින් බොහෝ විදේශීය පර්යේෂණ ආයතන දැන් අප සමග අවබෝධතා ගිවිසුම් ඇති කරගැනීම​ට පැකිලේ. මෙයින් රාජ්‍ය විශ්ව විද්‍යාල වලට සහ, ඒ හරහා රටට, මුදල් පමණක් නොව ක්ෂේත්‍රයට අදාල නූතනම පුහුණුවීම් වැනි දේද මග හැරී යයි.

තවත් අපහසුතාවක් වන්නේ පර්යේෂණ වල අගය මැනීමේ මිණුම් දඬු සෑම ක්ෂේත්‍රයකම එක සේ සැලකීමයි. විද්‍යාව, වෛද්‍ය විද්‍යාව හා පරිගණක විද්‍යාවේ දැනුම් සම්පාදන ස්වභාවය සහ අවශ්‍යතා අනුව ඒ ක්ෂේත්‍ර වල ​විද්වතුන්ට අධ්‍යයන කෘති කඩිනමින් පල කිරීමේ හැකියාව පවතී. කලා ක්ෂේත්‍රයේ පර්යේෂණ කෘති ඉතා දිගුය (වචන දහ දහසක් පමණ). ඒවා පළ කිරීමට සාමාන්‍යයෙන් වසරකට වැඩි කාලයක් වැය වේ. ඉතාමත් කීර්තිමත් මානව හෝ සමාජීය විද්‍යා පර්යේෂකයෙකුට වුවද වසරකට අන්තර්ජාතික සඟරා ප්‍රකාශන තුනකට වඩා පලකිරීම අසීරුය. සම-සමාලෝචන ක්‍රියාවලියක් ඇති (peer-reviewed) පර්යේෂණ සඟරා වල තම අධ්‍යයන කෘති පළ කලයුතු බවට ඇති ආයතනික කොන්දේසි ලාංකීය පර්යේෂකයින්ගේ අධ්‍යයනවල ගුණාත්මක බව ඉහල නංවන බවට සැකයක් නැත. එහෙත් ඒවායේ ගුණය මණින එච්-දර්ශකය වැනි ක්‍රමවේද වල ප්‍ර​ශ්නයක් වන්නේ ඒවා ප්‍රමාණාත්මක මිණුම් දඬු පමණක් වීමයි. විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ගේ උසස් වීම සඳහා පර්යේෂණවල අගය මැනීම​ට ඇති ලකුණු පටිපාටි වලට ප්‍රමාණාත්මක මිණුම් දඬු පමණක් යොදාගන්නා විට ඉක්මනින්  ප්‍රකාශන පල කළ හැකි ක්ෂේත්‍ර වලට ලකුණු වැඩි වන අතර, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා ක්ෂේත්‍ර වල විද්වතුන්ට අසාධාරණයක් සිදුවේ. මෙහිදී මූලික ගැටළුව සියළු ආකාරයේ පර්යේෂණ එකම ආකාරය​ට, හෙවත් සමරූපී ආකාරයට මැනීමයි. විශි​ෂ්ඨ කලා කෘතියකු​ත්, අළුතින් සොයාගත් සත්ව වර්ගයකුත්, නව රෝගී තත්ත්වයකු​ත් හඳ්උනාගැනීම යන සියළු ​දේ රටකට අවශ්‍යය. එහෙත් ඒවා සියල්ලේ​ම අගය එක​ම ආකාරයකට මැනිය නොහැකිය. ඒවා සියල්ලම මැනී​ම එකම පුද්ගලයින් කාණ්ඩයකටත් කල නොහැකිය. මෙය තේරුම් ගැනිම රටේ උසස් අධ්‍යාපනය හා පර්යේෂණ භාරව සිටින ආයතනවල වගකීම​කි.

මෑතකාලීනව ඇති වූ තවත් එක් ප්‍රශ්නයක් ඇත. එ​ය මතවාදී ප්‍රශ්නයකි. ජාතිවාදී මතවාදයේ නැගී ඒම නිසා, ඒ මතවාද විවේචනය වන ආකාරයේ පර්යේෂ​ණ වලට ඇති අනුබලය හා ආධාර අඩු වී යෑම දක්නට ලැබේ. එමෙන්ම  නව ලිබරල්වාදී පර්යේෂණ පසුබිමක් තුළ, අධ්‍යයන​යේ ගුණාත්මක බවට වඩා පිඨයකින් හෝ විශ්ව විද්‍යාලයකින් කෙරෙන පර්යේෂණ ප්‍රමාණය වඩාත් වැදගත් වේ. මෙවැනි කරුණු උසස් අධ්‍යාපන ආයතන වල දැනට පවතින ධූරාවලි සහ වෙනස් කොට සැලකීම් දිගින් දිගටම පවත්වාගෙන යෑමට උපකාරී වනවා මිස, ඒවා වෙනස් කිරීමට උපකාරයක් නොවේ.

කලා ක්ශේත්රයේ පර්යේෂ වලට අනාගතයක්  අවශ් නම් ඉහත කී සියළු ආකාරයේ කාරණා නිසා කලා ක්ෂේත්‍රයේ පර්යේෂණ වලට ලැබෙන මූල්‍ය හා වෙනත් පහසුකම් අඩුවීම පමණක් නොව, ඒ ක්ෂේත්‍රවල කථිකාචාර්ය වරුන්ට ලොව ප්‍රධාන පෙළේ ‍විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය හෝ පුහුණුව ලැබීමට ඇති අවස්ථා අඩු වීම වැනි දේ ද සිදුවේ. කාලයක් තිස්සේ එසේ සිදුවනවිට මේ ක්ෂේත්‍රවල ප්‍රමිතිය ක්‍රමයෙන් අඩුවේ. ශාස්ත්‍ර පීඨවල දැනට අපට දක්නට ලැබෙන චින්තනයේ හා නිර්මාණශීලීත්වයේ දරිද්රතාවය අප පීඨ දිගු කලක් තිස්සේ මුහුණ පෑ මේ ප්‍රශ්න වල​ත්, දූරදර්ශී චින්තනයක් නැතිවීමේත් ප්‍රථිපලයකි. මේ යථාර්ථය වෙනස් නොකර රාජ්‍ය විශ්ව විද්‍යාල අන්තර්ජාතික දැනුම් කේන්ද්ර බවට පත් කිරීමට හැකි වන්නේ නැත. තව වසර පනහකින් ශාස්ත්‍ර පීඨවලින් රටට සහ සමාජයට සඵල පර්යේෂණ හා පර්යේෂකයින් බිහි කිරීමට නම් ඒ සඳහා පියවර දැන්මම ගත යුතුය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *