ශාමලා කුමාර්
අධ්‍යාපනය කරදරේ වැටී ඇත. ධම්මික පෙරේරා වැනි උසස් මිනිසුන්ගේ ප්‍රශංසාත්මක ත්‍යාගශීලීභාවය, අරමුදල් හිඟ මෙම ක්ෂේත්‍රයට මෙවැනි මොහොතක අස්වැසිල්ලක් බව පැහැදිලිය. 1970 ගණන් වල සිට අධ්‍යාපනය කෙරෙහි වෙන්කරන රාජ්‍ය අරමුදල් වල ප්‍රමාණය පහත වැටී ඇති අතර, ලංකාව තුළ 1950-60 කාලයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 4% ක් ව පැවති එය 2022 වනවිට 1.2% ක් දක්වා පහත වැටී තිබුණි. වර්තමානය වනවිට සමාජයේ භෞතික අසමානතා අවම කරන ප්‍රතිපත්ති වෙනුවට දැකිය හැක්කේ වැඩි වැඩියෙන් ප්‍රාග්ධනය සමුච්චනය කරන ප්‍රතිපත්තීන්ය. ඊට පදනම්ව ඇති තර්කය වන්නේ මෙසේ සමුච්චනය වන ප්‍රාග්ධනය ටිකෙන් ටික ආර්ථිකයේ පහළ කොටස් වලට ගලා එනු ඇති බවත් (trickle down effect), එසේ ගලා ඒම තුළින් මාගරට් තැචර් හඳුනාගත් ‘පරායත්ත මානසිකත්වය’ නැතිවනු ඇති බවත්ය. ධම්මික පෙරේරා වැන්නවුන් තැනුනේද මෙවැනි ප්‍රතිපත්ති වල අසමාන බලපෑම තුළිනි. වාණිජ ක්ෂේත්‍රයේ දැවැන්තයින් සමාජයේ දෘෂ්ටිවාදාත්මක හා ව්‍යුහාත්මක රාමුවේ මැදට ගෙන ඒමට අවශ්‍ය ඉඩ විවර කර දුන්නේද නවලිබරල්වාදය වෙත වූ මේ විතැන් වීම තුළිනි.
රික්තකය – නව ලිබරල් අවකාශයන්
නවලිබරල්වාදය ගොඩනඟා ඇති පදනම් උපකල්පන කිහිපයක් වේ: මානව අභිවෘද්ධිය සඳහා වෙළඳපොළට හිතකර ආයතනික කොන්දේසි සම්පූර්ණ වියයුතු බව, එම ආයතන තුළින් සමාජයේ පුද්ගලයන් අතර තරඟය ඇතිකොට පවත්වාගෙන යා යුතු බව, සහ පෞද්ගලික ව්‍යාපාර වල පැතිර යෑම දිරිමත් කළයුතු බව එම උපකල්පන වන අතර, ඒ ඔස්සේ කාර්යක්ෂමතාව, ඵලදායීත්වය සහ නව්‍යකරණය ළඟාවන බව අනුමාන කෙරේ. හාවි (2005) ට අනුව නවලිබරල් හර පද්ධතිය තුළ වෙළඳපොල හුවමාරුව මානව චර්යාවට මඟ පෙන්වන සදාචාරාංගයක් බවට පත්වී ඇත. ඔහුට අනුව වෙළඳපොල අවකාශය තුළ ගිවිසුම්ගත සබඳතා එමඟින් අවධාරණය කෙරෙන අතර, වෙළඳපොල ගනුදෙනු වැඩිකිරීම තුළින් සමාජ යහපත උපරිම කළහැකි බවටද විශ්වාස කෙරේ. හාවි දක්වන අන්දමට ඒ තුළින් නවලිබරල්වාදය ඇත්තෙන්ම කරන්නේ සියළු මානව සබඳතා වෙළඳපොල පරිමණ්ඩලය තුළට ගෙන ඒමය.
ලෝකය නවලිබරල්කරණය වීමත් සමඟ ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම රාජ්‍යය හා පෞද්ගලික අංශයේ භූමිකාව පිළිබඳ දැක්මද වෙනස් වී තිබේ. ප්‍රජාතත්‍රවාදය ඇත්තෙන්ම අපිළිවෙල, අකාර්යක්ෂම දෙයකි; එහි ආයතන වැඩකරන්නේ වෙළඳපොල තර්කනයට අනුව නොවේ. වෙළඳපොල තර්කනය තුළ පුද්ගලවාදී දැක්මක් පවතින අතර, සියල්ලෝ සීමිත සම්පත් හා උපරිම පෞද්ගලික ප්‍රතිලාභය පිණිස වෙහෙස වෙති. ඔවුහු සමාජීය පද්ධතියක කොටසක් ලෙස තමා නොදකිති. මේ ක්‍රියාවලිය කෙරෙහි බලපැවැත්විය හැකි බාධා ඉවත් කිරීම රාජ්‍යයේ කාර්යභාරයයි.
එහෙත් මෙවැනි චින්තනයකින් සාර්ථකත්වය ළඟා කරගත හැකිද යන්න එම චින්තනයේ නිර්ණායක මත පදනම් වූ විට පවා ගැටළුවකි. නිදසුනක් ලෙස පර්යේෂණ මඟින් පෙන්වා දී ඇත්තේ සමාජ සේවා පෞද්ගලීකරණය කළ විට ඒවායෙහි මිළ ඉහල යන බවත් (එනම් අකාර්යක්ෂම බවත්), ප්‍රමිතිය පහළ යන බවත්ය (එනම් ඵලදායීත්වය අඩුවන බවය). නවලිබරල් නිර්ණායක වලින් පරිබාහිරව සැළකූ විට මෙවැනි ආයතනයන්හි මානවීයත්වය ඛාදනය වී ඇති බව පැහැදිලි වේ: ඒවාට ඇති ප්‍රවේශය අත්‍යන්ත අසමාන වන අතර, සමාජයේ අධිකතරම දරිද්‍රතාවය අත්විඳින පිරිසගේ ජීවිතයෙහි අවිනිශ්චිත බව ඒවා නිසා වර්ධනය කෙරේ.
නවලිබරල් දැක්ම තුළ මහජන අධ්‍යාපනය (public education) යනු අකාර්යක්ෂම, ඵලදයීත්වයෙන් අඩු, වියදම් අධික එකකි; එය ‘නිවැරදි’ කිරීම සඳහා වාණිජමය මැදිහත්වීම් අවශ්‍ය වේ. මෙවැනි අධ්‍යාපන ආයතන වල භූමිකාව වනුයේ පාරිභෝගිකයින්ට (සිසුන්ට නොව) වෙළඳපොල තුළ විකුණාගත හැකි ආකාරයේ කුසලතා වර්ධනය කරගැනීම සඳහා අවශ්‍ය වන ආකාරයේ දැනුම, කුසලතා සහ ආකල්ප අධ්‍යාපන වෙළඳපොල තුළ සම්පාදනය කරදීමයි. එතැනදී අර්බුදය වන්නේ ගුණාත්මක භාවයෙන් ඉහළ කුසලතා පාරිභෝගිකයින්ට ලබාගත නොහැකි වීමය. නිසරු නවලිබරල් රාජ්‍යයේ භූමිකාව වන්නේ මෙවැනි ආකාරයේ වරණයක් කිරීම සඳහා පාරිභෝගිකයින්ට විවිධ කුසලතා සංසන්දනය කළහැකි වන ආකාරයෙන් ප්‍රමිතිකරණ ක්‍රම හඳුන්වා දීමය.
අධ්‍යාපනයේ පවතිනවා යයි පිළිගැනෙන මෙම අකාර්යක්ෂමභාවය පිළිබඳ අර්බුදය විසඳීම සඳහා පෞද්ගලික අංශයේ මැදිහත්වීම අපේක්ෂා කෙරේ. ‘නිසි මට්ටමට පැමිණ නැති’ ගුරුවරුන් සහ සිසුන් පාලනය කිරීම සඳහා අධීක්ෂණය සහ වගවීම මත පදනම් වූ කළමනාකරණ පද්ධතීන් හඳුන්වා දී ඇත. අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම වෙළඳපොලට විවෘත කරන්නේ නම් තත්වය මීටත් වඩා දියුණු කළහැකි බව මෙම දැක්මෙන් කියවේ. නමුත් මෙතැනදී සාකච්ඡා නොවන්නේ සිසුවා අත්විඳින හුදෙකලා භාවයයි. ඉතා නිර්දය ලෙස පන්ති අනන්‍යතාවය සහ ස්ත්‍රී-පුරුෂ භාවය මඟින් බලපෑමට ලක්වූ රැකියා වෙළඳපොල තුළ රැකියාවක් සොයාගත නොහැකි නම් එය තමාගේ සුදුසුකම් වල අඩුවක් බව දකින්නට සිසුවා යොමුකොට තිබේ. දෙමාපියන්ගේ ධනය සහ සමාජ තත්වය තුළින් රැකියා වෙළඳපොල තුළ කෙනෙකුගේ සාර්ථකත්වය සැලකිය යුතු දුරකට තීරණය වන බව මෙම දැක්ම තුළ සාකච්ඡා නොවේ. ‘නිදහස්’ වෙළඳපොල විසින් වඩාත් තීව්‍ර කරන මෙම ව්‍යුහාත්මක වෙනස්කම් වලට අවධානය යොමුකරනු වෙනුවට, නිසි කුසලතා ලබාගැනීම ප්‍රශ්නයට පිළිතුර සේ දැක්වීම ඇත්තෙන්ම පහසුය.
නිදහස් අධ්‍යාපනය තුළ වීරයන් නැතිද?
අපේ අධ්‍යාපන පද්ධතිය කොතරම් අබලන්ව ඇතිද යන්න අද වනවිට මහජනතාව හොඳින්ම දන්නා කරුණකි. එහෙත් මෙවැනි ආකාරයේ සරලකරණය කරන ලද ආඛ්‍යානයකට එරෙහිව අභ්‍යන්තරික ප්‍රතිරෝධයක් පැන නොනඟින්නේ ඇයිද යනුවෙන් කෙනෙක් කල්පනා කිරීමට ඉඩ තිබේ. ප්‍රතිරෝධය දක්වන්නවුන් වෙළඳපොල විරෝධී, පසුගාමී, අකාර්යක්ෂම සහ ඵලදයීත්වයෙන් තොර අයවළුන් ලෙස හංවඩු ගැසේ. මෙවැනි විවේචන වලින් පෙන්වන්නේ පද්ධතිය කොතරම් දුරට ‘හරිගැස්විය යුතුද’ යන්න බවත් එසේ හංවඩු ගසන්නවුන් පෙන්වා දෙති.
සුපර් මෑන්
මෙවැනි තත්වයක් තුළ ගැලවුම්කරුවා ලෙස ඉදිරියට එන්නේ ත්‍යාගශීලී ධන කුවේරයන්ය. ගෝලීය තලයේ අධ්‍යාපනය සහ සෞඛ්‍යය නඟා සිටුවීම සඳහා වෙහෙස වන බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම මෙන්, ලංකාවේ අධ්‍යාපනය බේරා ගැනීමට ඉදිරිපත්ව ඇත්තේ ධම්මික සහ ප්‍රෙසිලා පෙරේරා පදනමයි. පසුගිය වසර කිහිපය තුළ මෙම පදනම විසින් ද්වීතීයික සහ උසස් අධ්‍යාපනයට අවශ්‍ය සම්පත් නොමිලයේ බෙදාගැනීම සඳහා මාර්ගගත අවකාශයක් නිර්මාණය කොට තිබේ. මෙයින් සිසුන්ට යම් උදව්වක් වනබව පිළිගත යුතු වුවත් අධ්‍යාපනයේ පවතින අර්බුදය එමඟින් විසඳිය හැකිද යන්න ගැටළුවකි.
මෙවැනි ධන කුවේරයන්ද යුගයේ නිර්මාණයකි. අනුක්‍රමික ආණ්ඩු වල උදව්වෙන් එක්රැස් කරගන්නා ලද ඔවුන්ගේ ධනය මීට දශක කිහිපයකට එපිට බදුකරණය තුළින් රාජ්‍ය භාණ්ඩාගාරයට යායුතුව තිබූ සම්පතකි. නමුත් ඔවුන්ගේ ඉතිහාස කතාව තුළ දකින්නට ඇත්තේ සියළු බාධක අභිබවා ජයගත් යෝධයෙකුගේ කතාවකි. එය නවලිබරල් තර්කනය හා හොඳින් ගැළපේ. එය සුපිරි වීරයෙකුගේ, සුපර් මෑන් කෙනෙකුගේ කතාවකි. එහි පණිවිඩය නම් සියළු බාධක අභිබවා ස්වෝත්සාහයෙන් (එනම් තනිව) නැඟී සිටිය යුතු බවය. මෙවැනි පුද්ගලයින් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමට එළඹි විට මෙවැනි ආකාරයේ පණිවුඩ අධ්‍යාපනය තුළද ප්‍රතිනිෂ්පාදනය වෙයි.
ඔවුන්ගේ තීරණ ගැනීමේ ක්‍රමවේදය ඉක්මන්, අවදානම් ගැනීමට යොමුවන සුළු ආකාරයේ එකකි. එය මහජන ආයතන වල තීරණ ගැනීමේ ක්‍රමයට වඩා වෙනස්ය. ඔවුන්ට අනුව ආයෝජන වල ප්‍රතිඵල මැනිය හැකි ආකාරයේ ඒවා (measurable) වියයුතුය. ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධ ධම්මික පෙරේරාගේ දැක්ම තුළ ඇත්තේද මෙවැනි ලක්ෂණය. එතුළ ප්‍රජාතන්ත්‍රවාදය හා බුද්ධිමය සංවාද වැනි දෑ සම්පූර්ණයෙන්ම නොසළකා හැර තිබේ.
මෙවැනි ධන කුවේරයින් පිළිබඳ ප්‍රශ්න නැඟීමද දුෂ්කරය. ඔවුන්ගේ ධනය නිසා මහජන ප්‍රතිපත්ති ක්‍රියාවලියට බලපෑම් කිරීමට ඔවුන්ට හැකියාව ලැබෙන අතර, එම ධනය මත යැපෙන්නට සිදුව ඇති රාජ්‍ය ආයතන හා වෙනත් ප්‍රතිලාභීන් අරමුදල් කප්පාදුවලට ඇති බිය නිසා ප්‍රශ්න නැඟීමෙන් වළකිති. නමුත් බදු මුදල් වලින් දිවෙන ව්‍යාපෘති වල තත්වය මීට වෙනස්ය. ඒ සම්බන්ධ ප්‍රශ්න නැඟීමේ අයිතිය මහජනතාව සතුව ඇති බැවිනි.
මෙම ප්‍රවණතා වල ප්‍රධාන අවදානම් දෙකක් පවතී: පළමුවැන්න මෑතක පැවති සාකච්ඡාවක ප්‍රභා මනුරත්න දැක්වූ ආකාරයට, අධ්‍යාපන අරමුදල් දේශපාලනික අයිතියක් වශයෙන් ලැබීම වෙනුවට සමහර ධන කුවේරයින්ගේ කරුණාව මත ලැබෙන දෙයක් බවට පත්වීමය. දෙවැන්න රම්‍යා කුමාර් ඇතුළු පිරිස ඉදිරියේදී පළ කරන ලිපියක දක්වා ඇති පරිදි, මෙම ධන කුවේරයින්ගේ පන්තිය සමාජය දකින ආකාරය මෙවැනි පරිත්‍යාග නිසා වෙනස් වීමයි. ඔවුන්ගේ ධනයට ඇති ප්‍රතිරෝධය එමඟින් නැතිවේ.
අපේ අධ්‍යාපනය බේරාගැනීමට ධම්මික පෙරේරා වැන්නවුන් ඉදිරිපත් වනවිට අපි රජයෙන් ප්‍රශ්නයක් නැඟිය යුතුය: ඒ, ප්‍රගතිශීලී බදුකරණය තුළින් අධ්‍යාපනයට අරමුදල් සම්පාදනය කළ නොහැක්කේ මන්ද යන්නයි. එවැනි අරමුදල් පිළිබඳ ප්‍රශ්න නැඟීමට ජනතාවට අයිතියක් පවතින බැවිනි.