2023 ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව: විෂමතාව විසින් උසස් අධ්‍යාපනය අරක් ගැනීම?

රම්‍යා කුමාර් 

ගෝලීය විෂමතාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. 2024 ජනවාරියේ OXFAM ආයතනය විසින් නිකුත් කරන ලද වාර්තාවකට  අනුව ලොව සුපිරි ධනවතුන් 1% සන්තකයේ එහි වත්කම් වලින් 43% ක් පවතී. වසංගත සමය තුළ ලොව ඉහළම ධනවතුන් පස්දෙනාගේ ධනය දෙගුණයක් වී ඇත්තේ බිලියන පහක ජනතාව තව තවත් දරිද්‍ර වූ සන්දර්භයක් තුළය. ශ්‍රමිකයන්ගේ එන්න එන්නටම අඩුවන වේතන, දැවැන්ත සමාගම් වලට නිතර ලැබෙන බදු සහන හා ඔවුන් විසින් සිදුකරන බදු ගෙවීම් පැහැර හැරීම් මෙන්ම, පොදු සේවා පෞද්ගලීකරණය නිසා මෙවැනි සමාගම් අත තව තවත් ධනය හා බලය සංකේන්ද්‍රණය වන බවත්, එතුළින් ඔවුන් ප්‍රතිපත්ති ක්‍රියාවලිය තුළ තව තවත් බලසම්පන්න වන බවත් OXFAM ආයතනය සිය වාර්තාව තුළින් පෙන්වා දේ.     

වසංගතය හා ආර්ථික අර්බුදය නිසා ලංකාවේ වැටුප් වල නියම අගය බාගයකින් පමණ අඩු වී තිබේ. VAT වැනි වක්‍ර බදු බර වැඩි වී ඇති අතර සුපිරි ධනවතුන්ගේ ආදායම් බද්ද 30% ක උපරිමයකට යටත් කොට ඇත. IMF ඉලක්ක වලට අනුව රජය සුබසාධන වියදම් කපා හරිමින් සිටින අතර, රාජ්‍ය ව්‍යවසායන්, ස්වභාවික සම්පත් හා පොදු සේවා වැනි වත්කම් විකිණීම ආරම්භ කොට තිබේ. මේ අතරේ 2023 වසරේ ප්‍රකාශයට පත්කරන ලද ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව තුළින් අධ්‍යාපන ක්ෂේත්‍රයට පෞද්ගලික අංශය කැඳවීමට උත්සහ දරයි. සුජාත භාවයක් නොමැති ආණ්ඩුවක් විසින් හඳුන්වා දෙන මෙවැනි ප්‍රතිපත්ති හරි නම් තොග වශයෙන් ප්‍රතික්ෂේප කළයුතුය. මේ ලිපියේ අරමුණ වන්නේ මෙම ප්‍රතිපත්ති රාමුවේ දෘෂ්ටිවාදී පදනම හා උසස් අධ්‍යාපනයට එහි බලපෑම විභාග කිරීමයි.  

දෘෂ්ටිවාදයේ බලපෑම 

මෙම ප්‍රතිපත්ති රාමුවේ අරමුණ ලෙස දක්වා ඇත්තේ ඉගෙනුම්-ඉගැන්වීම් හා අනුබද්ධ කිරීමේ ක්‍රියාවලියට (credentialising) හඳුන්වා දෙන්නා වූ විධිමත් වෙනස්කම් තුළින් අධ්‍යාපනයට ඇති ප්‍රවේශය, එහි ප්‍රමිතිය හා අදාළ බව තිරසාර ලෙස වර්ධනය කිරීමයි. ප්‍රතිපත්ති රාමුවේ අරමුණු හතෙන් එකක් වන්නේද “ජාතිය, වාර්ගිකත්වය, කුලය, ආගම, ජාතිකත්වය, භාෂාව, ආදායම හෝ ශාරීරික ආබාධ වැනි සාධක වල බලපෑමෙන් තොරව සියළු දරුවන්ට අධ්‍යාපනයට ඇති ප්‍රවේශය තහවුරු කිරීම” (පිටුව 5) ය. උසස් අධ්‍යාපනය තුළ මෙම අරමුණ සාධනය කිරීමට යෝජිත ප්‍රතිපත්තිය තුළ කුමක් යෝජනා කොට තිබේද? 

මෙම ප්‍රතිපත්ති රාමුවේ ප්‍රධානම අරමුණ ලෙස පෙනී යන්නේ උසස් අධ්‍යාපනය තුළ පෞද්ගලික අංශයෙහි භූමිකාව ප්‍රසාරණය කිරීමයි. මේ සඳහා ඊට අදාළ සියළු අංශ වල “රාජ්‍ය නොවන ක්‍රියාධරයින්ගේ සහභාගීත්වය … විශේෂයෙන්ම පොදු-පෞද්ගලික හවුල්කාරීත්වයන් තුළින් වැඩි දියුණු කිරීම” (පිටුව 28) අපේක්ෂා කෙරේ. මෙම ප්‍රතිසංස්කරණ වලින් අරමුණු කරන ඉල්ලුම මත පදනම් වූ අධ්‍යාපන මාදිලිය රජයේ ආධාර, රජයේ අනුග්‍රහය සහිත ණය පහසුකම් සහ පෞද්ගලිකව දරන බරපැන තුළින් ක්‍රියාත්මක වන්නක් නිසා, නිදහස් අධ්‍යාපනය ක්‍රමයෙන් වියැකී යනු ඇත. සුදුසුකම් මත පදනම් වූ ආධාර ලබාදීමේ ක්‍රමය සහ ශිෂ්‍යයින්ගේ ක්‍රය ශක්තිය තීරණය කරන සූත්‍ර තවමත් තීරණය කොට නැති බවද යෝජිත ප්‍රතිපත්තිය දක්වයි. අඩු පහසුකම් සහිත දිස්ත්‍රික්ක වලින් පැමිණෙන සිසුන්ට අවස්ථා ලබාදීම සඳහා කුමන ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්නේද යන්න යෝජිත ප්‍රතිපත්තිය සඳහන් නොකරයි.     

රාජ්‍ය සහ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන ‘ජාතික උසස් අධ්‍යාපන කොමිසම’ ක් යටතට ගෙන ඒමටත්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කිරීමටත් මෙමඟින් තවදුරටත් යෝජනා කෙරේ. මේ ඔස්සේ  පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන රජයේ ඒවා හා සම තැනක තැබෙනු ඇති අතර, අරමුදල් සඳහා එකිනෙකා හා සටන් වැදීමට ඒ සියළු ආයතන වලට සිදුවනු ඇත. යෝජිත ප්‍රතිපත්තියට අනුව “රජයේ ආධාර සහ ණය පහසුකම් ලබන සිසුන්ට රාජ්‍ය හෝ රාජ්‍ය නොවන තෘතීයික උසස් අධ්‍යාපන ආයතන වලින් තමා කැමති අංශයක ආයතනයක අධ්‍යාපනය ලැබීමට අවස්ථාව හිමිවනු ඇත.” (පිටුව 9) එසේම වසර තුනක කාලයක් ඇතුළත වැය ශීර්ෂ යටතේ අරමුදල් ලැබීමේ මාදිලියකින් ශිෂ්‍ය ලියාපදිංචි මත පදනම්ව අරමුදල් සම්පාදනය වන මාදිලියකට මාරු වීමටද විශ්ව විද්‍යාල වලට සිදුවේ (පිටුව 28). නව පද්ධතිය යටතේ රජයේ ආධාර ලබාදෙන්නේ අදාළ අධ්‍යාපන ආයතනයේ කාර්ය සාධනය මතය. මෙමඟින් දුෂ්කර දිස්ත්‍රික්ක වල විශ්ව විද්‍යාල දැඩි අවාසියකට මුහුණ පායි. නිදසුනක් ලෙස, සුදුසුකම් මත පදනම්ව තේරීම් සිදුවන පද්ධතියක යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට තේරී පත්වන සිසුවකුට, නව පද්ධතිය යටතේ කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් තෝරාගත හැකිය. මෙවැනි තත්වයක් තුළ සම්පත් හිඟතාවයෙන් සහ බුද්ධි ගලනයෙන් දැනටමත් පීඩා විඳින රාජ්‍ය විශ්ව විද්‍යාල වලට සිසුන් ආකර්ෂණය කරගැනීමේ හැකියාව තවත් අඩුවනු ඇත. ප්‍රතිපත්ති රාමුවෙහි යෝජනා කරන පරිදි, මෙවැනි සන්දර්භයක “උසස් අධ්‍යාපනය අරබයා විදෙස් ආයෝජනයන්ට පවතින බාධා ඉවත් කිරීම” (පිටුව 29) තුළින් මෙම විශ්ව විද්‍යාල වල වත්කම් තොග පිටින් පෞද්ගලික අංශයට විකිණීමක් පවා සිදුවිය හැකිය.  

යෝජිත ප්‍රතිපත්තියේ තවත් පොරොන්දුවක් වන්නේ “සියළු දරුවන්ට ඩිජිටල් ඉගෙනීමට සහ ඩිජිටල් සාක්ෂරතාවට සමාන අවස්ථා උදාකර දීම” යි. මේ වනවිට විශ්ව විද්‍යාල පද්ධතියේ පවතින තීව්‍ර සම්පත් ඌනතා – 2019 සිට මේ වනවිට 30% කින් වැඩිව ඇති ශිෂ්‍ය බඳවා ගැනීම් මධ්‍යයේ නේවාසික පහසුකම් ලබාදීමේ ගැටළු, සෞඛ්‍ය හා අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා සැපයීමේ අභියෝග වැනි – මධ්‍යයේ, ප්‍රතිපත්තියෙන් අවධාරණය කරන්නේ ඩිජිටල් තාක්ෂණය සහ කෘතීම බුද්ධිය පිළිබඳවය. මෙවැනි නැඹුරුවක් තුළින් වසංගත සමයේ දැවැන්ත තාක්ෂණික සමාගම් දිනාගත් වෙළඳපොලවල් තවදුරටත් ප්‍රසාරණය වනු ඇති අතර, ගෝලීය දකුණේ අධ්‍යාපනය තුළ පවතින මහජන සම්පත්ද ඊට යොමුකිරීම හරහා ‘අධ්‍යාපන-තාක්ෂණ’ (ed-tech) වෙළඳපොලක් නිර්මාණය කෙරෙනු ඇත. මේ අනුව යෝජිත ප්‍රතිපත්තියේ දෘෂ්ටිවාදාත්මක නැඹුරුව පැහැදිලිය. එමඟින් වරදවා වටහා ගන්නා ලද ගැටළු වලට වැරදි වැටහීම් මත පදනම් වූ පිළිතුරු ලබාදේ. 

සාවද්‍ය හඳුනා ගැනීම් 

[Insert Table 1 here]

යෝජිත ප්‍රතිපත්තිය ආරම්භ වන්නේ රටේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට වර්තමානයේ ඇතුළත් කරගැනෙන්නේ සිසුන් 8.9% ක ප්‍රමාණයක් පමණක් බවට වන ප්‍රකශයෙනි. මෙම සංඛ්‍යා දත්ත වලින් විදහා පෑමට උත්සහ කරන්නේ ලංකාවේ උසස් අධ්‍යාපනය රාජ්‍ය අංශයේ ඒකාධිකාරයට යටත්ව ඇති බවය. එහෙත් විශ්ව විද්‍යාල වලට කෙරෙන අඩු බඳවා ගැනීම් වල වගකීම රාජ්‍ය විශ්ව විද්‍යාල පිටට දැමිය හැකිද? යුනෙස්කෝ ආයතනයට අනුව තෘතීයික අධ්‍යාපනයට කෙරෙන බඳවා ගැනීම් මැනෙන්නේ, යම් දෙනලද අධ්‍යාපනික මට්ටමක් ලැබූ රටේ සමස්ත ජනගහණයට අනුපාතිකව එම මට්ටමේ අධ්‍යාපනයට බඳවා ගැනෙන සිසුන්ගේ ප්‍රමාණය මත පදනම්වය. 2021 වසරේදී රටවල් 109 ක් අතරින් ලංකාව 21.36% ක ප්‍රතිශතයක් සහිතව එහි 87 වන තැනට පත්විය (සමස්ත පරාසය: ග්‍රීසිය – 150.2%; මලාවි – 2.41%). මෙහි වැදගත් සාධකය වන්නේ මෙම ගණනය කිරීම පාදක කරගන්නා ‘දෙනලද අධ්‍යාපනික මට්ටමක් ලැබූ සමස්ත ජනගහණය’ යන්නට විශ්ව විද්‍යාල ප්‍රවේශ සුදුසුකම් නොලද පුද්ගලයින්ද ඇතුළත් වීමය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව 2021 වර්ෂයේ උසස් පෙළට පෙනී සිටි පිරිස අතරින් නම් එය 37.6% ක ප්‍රමාණයකි. එම වසරේ විශ්ව විද්‍යාල ප්‍රවේශ සුදුසුකම් ලත් පිරිස අතුරින් 24% ක ප්‍රමාණයක් රාජ්‍ය විශ්ව විද්‍යාල වලට තෝරාගන්නා ලදී.    

තෘතීයික අධ්‍යාපනයට කෙරෙන බඳවා ගැනීම් වැඩිකිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ව්‍යුහාත්මක ගැටළු ආමන්ත්‍රණය කළ යුතුය. ඉන් ප්‍රධානම එකක් නම් අධ්‍යාපනය සඳහා වෙන්කෙරෙන නොසැළකිය හැකි තරමේ අරමුදල් ප්‍රමාණයයි. යුනෙස්කෝ නිර්දේශයට අනුව නම් රජයක් දළ දේශීය නිෂ්පාදිතයෙන් 4-6% අතර ප්‍රමාණයක් අධ්‍යාපනය සඳහා වෙන්කළ යුතුය. 2022 වසරේ ලංකාවේ එය 1.2% ක අගයක් ගන්නා ලද අතර, එම වසරේ ලොව දෙවනියට අඩුවෙන්ම කරන ලද වෙන් කිරීම එයයි (ලෝක බැංකුව, 2024). නමුත් මෙම ගැටළුව යෝජිත ප්‍රතිපත්ති රාමුව තුළ කතා නොකෙරේ. ඒ වෙනුවට ඔවුන් යෝජනා කරන අධ්‍යාපනික පරිවර්තනය සඳහා අරමුදල් සම්පාදනය කරගැනෙන්නේ “පවතින සම්පත් නැවත බෙදාහැරීම, රාජ්‍ය නොවන අංශය සමඟ හවුල්කාරීත්වයන් පවත්වා ගැනීම හා පෞද්ගලික ප්‍රදාන” තුළිනි. වෙනත් වචන වලින් කියන්නේ නම්, අධ්‍යාපනය සඳහා කෙරෙන ආයෝජනය වැඩි කිරීමට රජයේ උනන්දුවක් නැති වුවත්, පෞද්ගලික අංශයට උදව් කිරීම සඳහා ප්‍රතිපාදන හා ණය පහසුකම් ලබාදීමට රජය සූදානම්ය. එහෙත් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන සිසුන්ගෙන් කාලකට පමණ ඉතා අඩු පිරිවැයක් යටතේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය මඟින් අධ්‍යාපනය ලබාදෙන බව අමතක නොකළ යුතුය (අපේ ගණනය කිරීම් වලට අනුව එය 2023 දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.06% ක් වැනි ප්‍රමාණයකි). විශාල මුදල් ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙනකොට පෞද්ගලික අංශය ප්‍රවර්ධනය කරනු වෙනුවට, රාජ්‍ය විශ්ව විද්‍යාල ප්‍රසාරණය කිරීම, අධ්‍යාපනය සඳහා දිගුකාලීනව රජය දරන වැය අඩුකර ගැනීමට වඩාත් සුදුසු ක්‍රමය බව රජය කල්පනා කළයුතු වේ.   

රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට මේ මොහොතේ එල්ල වන චෝදනා නිසා අධ්‍යාපනයට ඇති ප්‍රවේශය පිළිබඳ වැදගත් කරුණ අපට මඟහැරී ගොස් ඇත. සංඛ්‍යා දත්ත වලට මුල්තැන දීම තුළ, රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියෙන් කෙරෙන වැදගත් සමාජ මෙහෙවරක්  – එනම් සාපේක්ෂව අඩුවෙන් දියුණු දිස්ත්‍රික්ක වලින් පැමිණෙන, උසස් අධ්‍යාපනයට වෙනත් ප්‍රවිෂ්ටයක් ලබාගැනීම අපහසු වන සිසුන්ට අවස්ථාවක් දීම – පිළිබඳ කතා කිරීම අමතක වී තිබේ. 

වගු අංක 1 දැක්වෙන්නේ 2021/2022 වර්ෂයේ විවිධ පීඨ වලට බඳවාගත් සිසුන් ප්‍රමාණයයි. එහි වැදගත්ම කරුණ වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ප්‍රවේශය ලබාගන්නා බොහෝදෙනා ‘සුදුසුකම්’ (merit) කාණ්ඩය යටතේත්, අඩු පහසුකම් සහිත දිස්ත්‍රික්ක වලින් පැමිණෙන බොහෝදෙනා දිස්ත්‍රික් කෝටාව යටතේත් එසේ ප්‍රවේශය ලබාගැනීමයි. මෙම දෙවැනි කාණ්ඩයේ සිසුන් වත්මනෙහි සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙන් 60% ක් තරම් වේ. අර්ථාන්විත ලෙස අධ්‍යාපනයට – රජය මේ වනවිට දැඩිව ප්‍රවර්ධනය කරන STEM අධ්‍යාපනය ඇතුළුව – ප්‍රවේශය සහතික කළ හැක්කේ ව්‍යුහාත්මක අසමානතා මඟහරවන මෙවැනි ක්‍රමයකින් පමණි.    

යෝජිත ප්‍රතිපත්තිය තුළ උසස් අධ්‍යාපනයට අවශ්‍ය අරමුදල් සම්පාදනය සඳහා හොඳ ක්‍රමයක් ලෙස යෝජනා වී ඇත්තේ ශිෂ්‍ය ණයයි. 2023 ඔක්තෝබර් 24 පළවූ සිය කුප්පි ලිපිය තුළින් ෆර්සානා හනීෆා පෙන්වා දුන් පරිදි මේ අත්හදා බැලීම සාර්ථක වූ බවට ගෝලීයව එතරම් උදාහරණ දක්නට නොලැබේ. එසේම ශිෂ්‍ය ණය මඟින් රැකියා තේරීම් බලපෑමට ලක්කරයි. නිදසුනක් ලෙස වෛද්‍ය ක්ෂේත්‍රය තුළ ශිෂ්‍ය ණය නිසා වඩා ආදායම් ඉපයිය හැකි උපක්ෂේත්‍ර වල පුහුණුව ලැබීමට යමකු යොමුවිය හැකිය. රටක් මෙවැනි තැනකට තල්ලු කරනවාද, නැතිනම් වඩා සේවා අරමුණු සහිත ක්ෂේත්‍ර ප්‍රවර්ධනය වන ආකාරයට ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකරනවාද යන්න ප්‍රතිපත්ති සම්පාදකයින් තීරණය කළයුතු කරුණකි.

නැවතත් විෂමතාවට

අධ්‍යාපනයේ පෞද්ගලීකරණය, පොදු සේවා වලට ලබාදෙන සහන කප්පාදුව, සූරාකෑම තීව්‍ර කරන ආකාරයේ කම්කරු නීති ප්‍රතිසංස්කරණ හා ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළින් වත්මන් ආර්ථික අර්බුදය රටේ 99% කගේ ජීවිත දරුණු පසුබෑමකට ඇදදමා ඇත. UNDP ආයතනයට අනුව ලංකාවේ ඉහළම ධනවතුන් 1% අත රටේ සමස්ත පෞද්ගලික ධනයෙන් 31% ක් සංකේන්ද්‍රණය වී ඇත; අඩු ආදායම් ලබන 50% ක කණ්ඩායම අත ඇත්තේ 4% කට අඩු ප්‍රමාණයකි. මේ අවස්ථාවේ අපට අවශ්‍ය වන්නේ අර්බුදයෙන් ගොඩ ඒමට හැකි ආකාරයේ, සමාජ සාධාරණත්වය පදනම් කරගත් ප්‍රතිපත්තීන්ය. එහෙත් රජයේ අවධානය පවතින්නේ පශ්චාත් යටත්විජිත වසර 75 පුරාවට දිනාගන්නා ලද සමාජ සංවර්ධන ජයග්‍රහණයන් ආපසු හැරවීමටය. නිදහස් අධ්‍යාපනය අහෝසි කිරීමට කැස කවන ඕනෑම රජයක් ගෙදර යෑමට සූදානම් වියයුතුය.