රම්‍යා කුමාර්
අපේ පීඨයට තවත් අළුත් සිසුන් පිරිසක් පැමිණ තිබේ. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින් ම වාගේ පාහේ පැමිණ ඇති මේ කණ්ඩායම දුටුවිට සමාජ හා වාර්ගික ඒකාබද්ධතාව ඇතිකිරීමට අපට ලැබී ඇති මහඟු අවස්ථාව පිළිබඳ නැවත මතක් වේ. එහෙත් අවාසනාවකට මෙන් පළමු සෙමෙස්තර කිහිපය තුළ සිසුන් අනෙක් කණ්ඩායම් වල පිරිස් හා එතරම් ආශ්‍රය නොකරන්නේ භාෂා ගැටළුව නිසා පමණක් නොව, අන්‍ය ප්‍රජාවන් කෙරෙහි අප සමාජයේ ඇති බිය සහ අවිශ්වාසයෙහි ප්‍රතිඵලයක් ද හැටියටය.
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් මෙවැනි ගැටළු මඟ හරවා, සමාජ හා වාර්ගික ඒකාබද්ධතාව ඇතිකිරීමට හොඳ අවස්ථාවක් උදා වී ඇත. පාසල් විෂය නිර්දේශ භාවිතයෙන් සමාජ අධ්‍යයනය හා පුරවැසි අධ්‍යාපනය වැනි විෂයයන් ඔස්සේ සාමූහික වටිනාකම්, අනෙකා තේරුම් ගැනීමේ හැකියාව සහ විචාරාත්මක චින්තනය වැනි ගුණාංග ලබාදිය හැකි අතර, අන්තර්ග්‍රාහී භාෂා ප්‍රතිපත්තියක් ඇතිකිරීම සහ අපේ පොදු ඉතිහාසයන් පිළිබඳ විචාරාත්මකව සිතීමේ හැකියාව නිර්මාණය කිරීමද එමඟින් කළ හැකිය. එහෙත් යෝජිත ප්‍රතිසංස්කරණ කැටි කොටගත් ‘ශ්‍රී ලංකා සාමාන්‍ය අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් – 2025’ යන මැයෙන් ප්‍රකාශයට පත්ව ඇති රජයේ ලියවිල්ල තුළ මෙවැනි කිසිදු කරුණක් ඉදිරිපත් කොට නොතිබීම කණගාටුදායකය.
එම ලේඛනය තුළ ප්‍රතිපත්තියේ ‘ප්‍රධාන’ කරුණු කිහිපයක් අවධාරණය කොට තිබේ: 1) පාසල් පද්ධතියට ‘අර්ඝ’ ක්‍රමයක් (credit system) හඳුන්වා දීම මඟින් එය ප්‍රමාණිකෘත කිරීම; 2) වාර අවසාන විභාග වෙනුවට විෂය ඒකක (modules) පදනම් කරගත්, වාරය තුළ හා එහි අවසානයේ සිදුවන ඇගයීම් ක්‍රමයක් හඳුන්වා දීම; 3) 9 වන වසර අවසානයේදී සාක්ෂරතාව හා ගණනය පිළිබඳ කුසලතා මැන බැලීමක් සහ වෘත්තීය අභිලාෂ මැන බැලීමක් සිදුකිරීම; 4) අධ්‍යාපනයේ සියළුම අවධීන් සහ විෂයයන් ආවරණය වන ආකාරයේ මධ්‍යක (average) ගණනය කිරීමක් සිදුකිරීම; 5) පන්ති කාමරයේ සිදුකෙරෙන ඉගැන්වීමට පූරකයක් වශයෙන් මාර්ගගත ක්‍රමයෙන් ඉගෙනීම හඳුන්වා දීම; 6) විෂය ඒකක ක්‍රමය මඟින් සිසුන්ට තමා ඉදිරියේ කිරීමට බලාපොරොත්තු වන රැකියාව තෝරාගැනීම පහසු කිරීම; 7) තාක්ෂණය පිළිබඳ විෂය ඒකක හඳුන්වා දීම; 8) නවෝත්පාදන විද්‍යාගාර (innovation labs) හඳුන්වා දීම; හා පූර්ව ළමාවිය අධ්‍යාපනය (early childhood education) හඳුන්වා දීම ඒ අතර වේ. මෙම ලැයිස්තුව තුළ සමාජ හා වාර්ගික ඒකාබද්ධතාව අඩංගු නොවීම සැළකිය යුතුය. ජාතික ජන බලවේගයේ 2024 මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු වූ “සියළු වාර්ගික හා ආගමික කණ්ඩායම් අතර ආරක්ෂාව, අන්‍යොන්‍ය අවබෝධය, විශ්වාසය සහ අයිතීන් තහවුරු කිරීම” පිළිබඳ වූ පොරොන්දුව (127 පිටුව) සමඟ මේ ප්‍රතිපත්ති කෙසේ ගැළපෙන්නේද (හෝ නොගැළපෙන්නේද) යන්න ගවේෂණය කිරීම අද ලිපියේ අරමුණයි.
වර්තමාන විෂය නිර්දේශය තුළ භාෂාව හා වාර්ගිකත්වය
යුද්ධය අවසාන වී වසර 15 කට වැඩි කාලයක් ගතවී තිබුණත්, වාර්ගික කණ්ඩායම් එකිනෙකා හා සම්බන්ධ කිරීම සඳහා අපේ පාසල් අධ්‍යාපන පද්ධතියෙන් දක්වා ඇති දායකත්වය අල්පය. බොහෝ සිසුන් සිය ‘දෙවන භාෂාව’ හැසිරවීමට නොදන්නා අතර, වාර්ගික සුළුතර කණ්ඩායම් පිළිබඳ සෘණාත්මක ආකාරයේ මත සමාජගත කිරීමත්, අපේ පශ්චාත්-යටත්විජිත ඉතිහාසයේ වැදගත් කොටස් අත්හැර දැමීමත් පාසල් පෙලපොත් විසින් සිදුකරයි. අපේ පීඨයට පැමිණෙන බොහෝ සිසුන්ට සිය දෙවන භාෂාව ගැන ඇත්තේ ඉතා අල්ප දැනුමකි; උතුරු-නැගෙනහිරට පිටින් අධ්‍යාපනය ලැබූ දෙමළ හා මුස්ලිම් සිසුන් කිහිප දෙනෙක්ට මේ හැකියාව තිබුණත්, එය ඔවුන් සිය එදිනෙදා පරිසරයෙන් අහුලාගත් හැකියාවක් මිස පාසලෙන් ලද එකක් නොවේ.
කුමන වාර්ගික පසුබිමකින් පැමිණියත් අපේ බොහෝ උපාධි අපේක්ෂක සිසුන්ට රටේ ජනවාර්ගික අර්බුදයේ ඉතිහාසය තුළ වැදගත් කොටස් පිළිබඳ දැනුමක් නැත. පශ්චාත්-යටත්විජිත ඉතිහාසය ආවරණය කරන එකම පෙලපොත වන 11 ශ්‍රේණිය ඉතිහාස පොත තුළද රටේ සිවිල් යුද්ධය හෝ ඊට තුඩුදුන් හේතු සාකච්ඡා නොකෙරේ. ‘සිංහල පමණක්’ රාජ්‍ය භාෂාව කිරීමට ගන්නා ලද පියවර යටත්විජිත-විරෝධී එකක් ලෙස එමඟින් උත්කෘෂ්ඨත්වයට පමුණුවා ඇති අතර (11 පිටුව), ඉන්පසු කාලය තුළ සිදුවූ දෙමළ-විරෝධී කෝලාහල, කැරළි කණ්ඩායම් වල නැඟී ඒම, සිවිල් යුද්ධය තීව්‍ර වීම සහ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාණය වැනි කිසිවක් පිළිබඳව එහි සඳහන් නොවේ. ‘දෙමළ’ සහ ‘මුස්ලිම්’ යන වචන වැඩියෙන්ම භාවිතා වන්නේ ‘ජාතික පුනරුදය’ පිළිබඳ පරිච්ඡේදයේ වන අතර, එහිදී සිංහල-මුස්ලිම් ගැටුම් පිළිබඳව අමද්‍යප ව්‍යාපාරයට අදාළ සාකච්ඡාවේදී ඉතා කෙටියෙන් සඳහන් කොට තිබේ (57 පිටුව). මලයියහ ප්‍රජාවගේ පුරවැසි අයිතීන් අහිමි කිරීම සහ ඔවුන්ගේ ඉතිහාසය සම්පූර්ණයෙන්ම බැහැර කොට ඇත.
යුද්ධය හා සම්බන්ධ බිහිසුණු අත්දැකීම් නිසා මෙන්ම බොහෝ සිසුන් ඉගෙන ගන්නේ සිය වාර්ගිකත්වයේ අයගෙන් පමණක් සැදි පාසල් වල වීම නිසා, වෙනත් කණ්ඩායම් වල පිරිස් හා ආශ්‍රයට උපාධි අපේක්ෂක සිසුන් මැලි වීම පුදුමයට කරුණක් නොවේ. නමුත් වාර්ගික කණ්ඩායම් ඉතා ධ්‍රැවීකරණය කරන ආකාරයේ ආඛ්‍යාන විශ්ව විද්‍යාල තුළ මුල්බැස ගැනීමට මේ දුරස් බව මූලිකම හේතුවක් බවද අප සිහිතබා ගත යුතුය
පවතින තත්වයම නැවතත්?
නව ප්‍රතිසංස්කරණ තුළින් මේ ප්‍රශ්න ආමන්ත්‍රණය කරන්නේ කෙසේද? හැඳින්වීම සාධනීය එකකි: “යෝජිත ප්‍රතිසංස්කරණ තුළින් නිර්මාණය කිරීමට අපේක්ෂා කරනුයේ තමා වටා ඇති වාර්ගික, ආගමික, ස්ත්‍රී-පුරුෂ භාවීමය, කායික හැකියාවන් පිළිබඳ විවිධත්වයට ගරු කරන, එය අගය කරන, විචාරාත්මක විඥානයකින් හෙබි පුරවැසියන් ය” (1 පිටුව). ජාතික අධ්‍යාපන අරමුණු අංක 8 තුළ “ජාතික ඒකාබද්ධතාව හා එකමුතුව පෝෂණය කරන සහ සංස්කෘතිකමය විවිධත්වයට ගරු කරන, දේශප්‍රේමී ශ්‍රී ලාංකේය පුරවැසියකු තැනීම” (2 පිටුව) අරමුණු කිරීම තරමක් ප්‍රශ්නකාරී වුවද, විෂය නිර්දේශ ප්‍රතිසංස්කරණ මඟින් “සමතාව, අන්තර්ග්‍රහණය සහ සමාජ සාධාරණත්වය” පිළිබඳ වටිනාකම් ලබාදීමට උත්සුක වීම අගය කළ යුතුය. එහෙත් මෙම වාක්‍ය ඇතුළත් වන්නේ හැඳින්වීම තුළ පමණි; ප්‍රතිසංස්කරණ වල එම වටිනාකම් නිරූපණය නොවේ.
භාෂාව සහ සාක්ෂරතාව (ඉගෙනුම් අංශ 1) යටතේ දෙවන බස ඉගෙනීම “සහජීවනය සහ සමපැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය මාර්ගයක්” ලෙස දක්වා තිබුණත්, ඊට වෙන්කොට ඇති ඉගෙනුම් පැය ගණන අවමය. නිදසුනක් ලෙස ප්‍රාථමික අංශය (එනම් 1-5 ශ්‍රේණි) තුළ ඒ සඳහා වෙන්කොට ඇත්තේ සතියට පැය 0.3-1 අතර ප්‍රමාණයකි. කනිෂ්ඨ ද්විතීයික අංශය (එනම් 6-9 ශ්‍රේණි) තුළ සමස්ථ අර්ඝ (credits) 35 කින් දෙවන බස ඉගෙනීමට වෙන්කොට ඇති අර්ඝ ප්‍රමාණය 1 කි. එහිදී දෙවන බස, ඉතිහාසය හා පුරවැසි අධ්‍යයනය ඇතුළුව අත්‍යාවශ්‍ය යැයි හඳුනාගන්නා ලද විෂයයන් 15 ක් අතර අර්ඝ 30 ක් බෙදී යද්දී, ඉතිරි අර්ඝ 5 න් 3 ක් වැඩිදුර අධ්‍යයන විෂය ඒකක සඳහාත්, 2 ක් පොදුවේ අවශ්‍ය වන කුසලතා (transversal skills) සඳහාත් වෙන්කොට තිබේ (13, 18, 19 පිටු). මින් එක් අර්ඝයක් යනු වාරයකට පැය 10 ක කාලයකි. අත්‍යාවශ්‍ය යැයි සැළකෙන අනෙකුත් විෂයයන්ට සමානව දෙවන බස සඳහාද වාරය තුළ හා එහි අවසානයේ සිදුවන ඇගයීම් ක්‍රමයක් අදාළ වේ. 9 වන ශ්‍රේණියේදී සිදුවන කුසලතා තක්සේරුව පිළිබඳ වැඩිදුර විස්තර ලේඛනයෙහි නොදැක්වෙන නිසා, දෙවන බස පිළිබඳ ඇගයීම් සාක්ෂරතාව හා ගණනය පිළිබඳ කුසලතා මැන බැලීමට ඇතුළත් වන්නේද යන්න පැහැදිලි නැත. ජ්‍යෙෂ්ඨ ද්විතීයික – I කොටස (එනම් 10-11 ශ්‍රේණි) වලට එන විට දෙවන බස වරණාත්මක (elective) විෂයයකි.
අරමුදල් සම්පාදනයේ සීමාකම් නිසා මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා වලට සිදුව ඇති හානිදායක බලපෑමත්, “සමාජ-ආර්ථික බෙදීම් හා අසමානතා තුරන් කිරීමෙහි ලා” (5-6 පිටු) දැනුම් සම්පාදනයේදී ඒවායේ වැදගත්කමත් මෙම ලේඛනය තුළ පිළිගෙන තිබීම නැවුම් වෙනසකි. ඉගෙනුම් අංශ අංක 6 යටතේ (12 පිටුව) මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා විෂයයන් වල වැදගත්කම පහත පරිදි දක්වා ඇත:
“විවිධාකාරයේ අනන්‍යතා වර්ධනයට හා විචාරයට ලක්කිරීමටත්, ඒ ඔස්සේ සිය ප්‍රජාවන් හා ජාතිය තුළ තමාගේ භූමිකාව පිළිබඳ සවිඥානික වීමටත් සිසුන්ට මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා විෂයයන් අතිශයින් වැදගත් වේ. සාමය හා සංහිඳියාව සඳහා අවශ්‍ය වන ප්‍රජාතන්ත්‍රවාදය සහ අන්තර්-වාර්ගික සංවාද ශක්තිමත් කිරීමෙහිලා දායක වීමට එම සවිඥානිකත්වය ඔවුන්ට අවකාශය සලසා දෙනු ඇත. එසේම කුලය, ශාරීරික හැකියාව, ස්ත්‍රී-පුරුෂ භාවය, සහ සමාජය ස්ථරායනය වී ඇති අනෙකුත් ක්‍රම අරබයා සමතාව සහ සමාජ සාධාරණත්වය ඇති කිරීමෙහිලා මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා විෂයයන් මඟින් ශක්තිමත් පාදමක් යොදනු ඇත.”
එහෙත් අවාසනාවකට මෙන් මේ ප්‍රගතිශීලී දර්ශනය විෂය නිර්දේශයට කලවම් වී නැත. සමාජ/වාර්ගික ඒකාබද්ධතාව ආමන්ත්‍රණය කළහැකි පරිසර අධ්‍යයනය, ඉතිහාසය සහ පුරවැසි අධ්‍යාපනය වැනි විෂයයන් ප්‍රාථමික මට්ටමට ඇතුළත් කොට නොමැත. කනිෂ්ඨ ද්විතීයික මට්ටමේදී (6-9 ශ්‍රේණි) ඉතිහාසය ඉගෙනීමට වසර හතරක් ඇතුළත පැය 20 ක් (එනම් අර්ඝ 2 ක්) ද, පුරවැසි අධ්‍යාපනය සඳහා පැය 10 ක් (එනම් එක් අර්ඝයක්) ද පමණි වෙන්කොට ඇත්තේ. සාමාන්‍ය පෙළ මට්ටමේදී සිසුන් උගත යුතු අනිවාර්ය විෂයයන් 5 වන මව් බස, ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව හා ආගම සහ ප්‍රතිමානීය අධ්‍යාපනය (religion and value education) යන ඒවාට අමතරව ඉගෙන ගන්නා වරණාත්මක විෂයයන් අතරටය ඉතිහාසය සහ පුරවැසි අධ්‍යාපනය වැටෙන්නේ. ව්‍යවසායකත්වය වැනි විෂයයන්ද මෙම ගොඩේම පවතින බව මතක තබාගත යුතුය. අනිවාර්ය විෂයයන් වලට වසර දෙකක කාලයක් තුළ අර්ඝ 14 කට සරිලන පැය 70 ක ඉගෙනුම් කාලයක් හිමිවන අතර, ඊට සාපේක්ෂව වරණාත්මක විෂයයන්ට හිමිවන්නේ අර්ඝ 2 කට සරිලන පැය 20 ක කාල සීමාවකි. අර්ඝ 14 ක් වැඩිදුර ඉගෙනුම් ඒකක සඳහා වෙන්කොට ඇති අතර, එහිදී සිය උසස් පෙළ විෂය දහරාව හෝ වෘත්තීය ක්ෂේත්‍රය තෝරාගැනීමෙහි ලා ඉවහල් වන්නේ යැයි සිසුන්ට හැඟෙන විෂයයන් ඉගෙනීමේ අවස්ථාව හිමිවේ.
මෙවැනි තත්වයක් තුළ සමාජ/වාර්ගික ඒකාබද්ධතාව පිළිබඳ කරුණු වලට වැඩි වැදගත්කමක් ලැබේ යැයි සිතිය නොහැක. ප්‍රාථමික අංශයේදී එය සම්පූර්ණයෙන්ම අත්හැර දමා ඇති අතර, කනිෂ්ඨ ද්විතීයික මට්ටමේදී ඉතා අඩු තැනකටත්, ජ්‍යෙෂ්ඨ මට්ටමේදී වරණාත්මක විෂයයකටත් ලඝු කොට ඇත. එහි තේරුම වන්නේ අපේ පරම්පරාව ද කළාක් මෙන්, සිය සමස්ත පාසල් ජීවිතයම දෙවන බස ඉගෙනීමෙන් සහ ඉතිහාසය පිළිබඳ නිසි වැටහීමකින් තොරව ගත කිරීමට සිසුන්ට අවස්ථාව ලැබෙන බවයි.
මෙතැනින් ඉදිරියට යෑමේදී…
මෙවැනි විෂය නිර්දේශයකින් පෝෂණය වන සිසුන්ට ප්‍රතිපත්තියේ දැක්වෙන පරිදි “සමාජයේ එකමුතුකම සහ බහුසංස්කෘතික සමපැවැත්ම ට තර්ජනයක් වන අධිපති, බෙදුම්කාරී බලවේග වලට ප්‍රතිරෝධය සහ ප්‍රතිචාර දැක්වීමට” (9 පිටුව) හැකියාව ලැබෙන්නේද යන්න පැනයකි. අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදකයින් සහ සමාජයේ අනෙක් පාර්ශ්ව විෂය නිර්දේශය තුළ සමාජ සහ වාර්ගික ඒකාබද්ධතාවට වැඩි අවධානයක් යොමු කරවීමට බලපෑම් කළ යුතුය. එහෙත් මේ සියල්ල වඩාත් අර්ථාන්විත වන්නේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (හා එහි විවිධ ප්‍රභේදයන්) වැනි ප්‍රතිපත්ති නැතිකොට දමන ආකාරයේ ව්‍යවස්ථා සංශෝධන ඊට සමගාමීව සිදුවුවහොත් පමණි.
අපේ වත්මන් පාසල් පද්ධතිය වාර්ගිකත්වය සහ ආගම මත බෙදී පවතී. එසේ බෙදුණු සමාජ සම්බන්ධයෙන් මෙතෙක් කෙරී ඇති පර්යේෂණ වලින් අනාවරණය වන්නේ අනෙකුත් ප්‍රජාවන්ට නිරාවරණය නොවන පරිසරයන් වල නොදැනුවත්කම, හානිදායක පූර්ව විනිශ්චයන් සහ දේශපාලනය හා ජාතික අනන්‍යතාව අරබයා ධ්‍රැවීකරණය වූ මතවාද පැවතීමේ වඩා ඉහළ සම්භාවිතාවක් පවතින බවයි. සුළුතර කණ්ඩායම් වල අනන්‍යතාවයන් ද ආරක්ෂා වන පරිදි මේ ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීම සඳහා අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමට මේ උදා වී ඇත්තේ හොඳ අවස්ථාවකි.



