ආත්ම ගෞරවයක් සහිතව රැකියාව කිරීම: ශාස්ත්‍රාලයේ සිට කෙරෙන ආවර්ජනා 

උදාරි අබේසිංහ

සුහදත්වයේ සිට සියුම්ව දිගහැරෙන සතුරුකම් දක්වා ශාස්ත්‍රාලිකයන් විශ්ව විද්‍යාල පරිසරය තුළ මුහුණ දෙන අත්දැකීම් පරාසය සැළකූ විට, උසස් අධ්‍යාපන ආයතන වල සිටින කනිෂ්ඨ සාමාජිකයින්ට ආත්ම ගෞරවයක් සහිතව රැකියාව කිරීමට අවශ්‍ය පරිසරය සදා දී තිබෙන්නේද යන්න ඇසිය යුතු ප්‍රශ්නයකි. අපේ ශාස්ත්‍රීය පරිසර තුළ සාධාරණත්වය, ගෞරවය සහ පිළිගැනීම පෝෂණය කරනවාද, නැතිනම් ඒවා තුළ එම මූලධර්ම උල්ලංඝනය වීමට කටයුතු යෙදී තිබෙනවාද? සිසුන් මුහුණ දෙන නවක වදය සහ ලිංගික හිංසන වැනි අත්දැකීම් ගැන අපි නිතර කතා කළත්, ඒවායින් ගුරුවරුන් බලපෑමට ලක්වන අයුරු පිළිබඳ සාකච්ඡා වෙන්නේ ඉතාමත් කලාතුරකිනි. සිසුන් අතර පවතින නවක වදය සහ ලිංගික හිංසන වැනි අවභාවිතයන් දිගින් දිගටම පවත්වා ගන්නා ක්‍රම වන බියවැද්දීම, නිහඬතාවය සහ ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ම ය ශාස්ත්‍රාලිකයන් සිය රාජකාරි පරිසරය අත්දකින ආකාරයද තීරණය කරන්නේ. මෙවැනි ආවර්ජනා මට පමණක් විශේෂ වූ ඒවා නොවන බව කාලයත් සමඟ මට වැටහී ගොස් ඇත. එමඟින් විශ්ව විද්‍යාල පද්ධතිය පුරා සිටින විවිධ ශාස්ත්‍රාලිකයන්ගේ අත්දැකීම් නියෝජනය කරයි.       

මගේ අදහසට අනුව නම් ගෞරවාන්විත රැකියා ස්ථානයක් යනු සුඛෝපභෝගී ආශාවක් නොවේ. එය සාධාරණ සැළකුම් හා ගෞරවය ලැබීමටත්, තම දායකත්වය වෙනුවෙන් පිළිගැනීමට ලක්වීමටත් පුද්ගලයකුට ඇති අයිතියයි. නින්දාවට හෝ සූරාකෑමට ලක්වීමෙන් සහ බිය වැද්දවීම් වලින් තොරව රැකියාව කිරීමේ හැකියාවද ඉන් ඇඟවේ. 

ශාස්ත්‍රාලය තුළ නම් මේ නිර්වචනයට බිය වැද්දවීම් සහ නිහඬ කිරීම් වලින් තොරව සිතීමේ, ඉගැන්වීමේ සහ කතා කිරීමේ නිදහසද ඇතුළත්ය. උසස් අධ්‍යාපන ආයතන තුළ රැකියා කරන පිරිස් පිළිබඳව 1997 UNESCO නිර්දේශය අපට මතක් කරදෙන පරිදි, ගුරුවරුන්ට “ඉගැන්වීමේ සහ සාකච්ඡාවේ නිදහස” ත්, “සාධාරණ සහ සමානව බෙදූ වැඩ පරිමාව” කුත් තිබිය යුත්තේ “සිය  ඉගැන්වීම් සහ පර්යේෂණ කටයුතු කිරීමට එමඟින් ඉඩ ප්‍රස්ථාව ලැබෙන” බැවිනි. එම කොන්දේසි අතුරුදන් වූ විට ගෞරවාන්විතව රැකියාව කිරීමේ හැකියාව ඛාදනයට ලක්වේ. අප විශ්ව විද්‍යාල තුළ පවතින ඉතා ගැඹුරු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් ට විශ්ව විද්‍යාලය ප්‍රතිචාර දක්වන ආකාරය තුළද ඉහත දැක්වූ අවභාවිතයන් පිළිබඳ ප්‍රවණතාවයම දැකිය හැකිය. බියවැද්දීම සහ නිහඬතාවය විශ්ව විද්‍යාලයේ එක් කොටසක පවතින විට, එය අනෙක් කොටස් වලට කාන්දු වීම වැළැක්විය නොහැකිය. එමඟින් ආරක්‍ෂිත සහ ගෞරවාන්විත රැකියා පරිසරයකට ඇති අයිතිය සිසුන් සහ ගුරුවරුන් අත්දකින ආකාරය බලපෑමට ලක් කරයි.  

වැඩෙහි බර 

මේ වනවිට ශාස්ත්‍රාලය තුළ අධික මහන්සිය යනු ආඩම්බරයට කරුණක් වී ඇත. සිය වෘත්තීය ජීවිතය ආරම්භයේ සහ මැද භාගයේ සිටින බොහෝ ශාස්ත්‍රාලිකයන්, විශේෂයෙන්ම සාපේක්ෂව කුඩා කාර්ය මණ්ඩල සහිත දෙපාර්තමේන්තු වල ප්‍රධානීන් බවට පත්ව සිටින්නන්, මේ වනවිට ඉගැන්වීම්, පර්යේෂණ හා පරිපාලන වගකීම් රැසක් ඉටුකරන අතර, එනිසා විවේකයට සහ ආවර්ජනයට ඔවුන්ට ඇති කාලය ඉතා සීමා සහිත වී ඇත. 

විශ්ව විද්‍යාල රැකියාවක සුන්දරත්වය බොහෝ කොටම රඳන්නේ ශාස්ත්‍රීය කටයුතු කිරීම සහ ඒ සඳහා මඟ පෙන්වීම තුළය. එහෙත් අධික පරිපාලන හා ඉගැන්වීම් කටයුතු සමූහයක් මැද බොහෝ දෙනාට නැතිව යන්නේද එයමය. කාර්ය මණ්ඩල පුරප්පාඩු වසර ගණනාවකින් පුරවා නැති තත්වයක් තුළ සිය වැඩ ප්‍රමාණය මෙන් තුන් ගුණයක් පමණ කිරීමට ශාස්ත්‍රාලිකයන්ට සිදුවන අතර, එය පුද්ගලයන් වශයෙන් ඔවුන්ට කරන බලපෑම ඉමහත්ය. විවේකයට, ආවර්ජනයට සහ පර්යේෂණ කිරීමට ඔවුන්ට ඇති කාලය අතුරුදන් වේ. කායික හා මානසික විඩාව (burnout) සාමාන්‍යකරණය වන අතර, ‘ආයතනය වෙනුවෙන් පරිත්‍යාග කිරීමේ’ ආඛ්‍යානය තුළ පද්ධතිමය නොසළකා හැරීම් යට ගැසේ. මේ පිළිබඳව සිදුකෙරී ඇති පර්යේෂණ වලින්ද මෙම කරුණ සනාථ කර ඇත. 2023 ඒ පිළිබඳව වූ අධ්‍යයනයකට අනුව සිය වැඩ පරිමාව පිළිබඳ ශාස්ත්‍රාලිකයකුට අධිකාරිය නොමැති විට සහ එය ඉටු කිරීමෙහිලා ආයතනික සහයක් ඔවුන්ට නොමැති විට, ඔවුන්ගේ පෞද්ගලික අභිවෘද්ධිය සහ ඉගැන්වීමේ ප්‍රමිතිය යන දෙකම බලපෑමට ලක්වේ (Koster et al., 2023).   

වෙහෙස, බුද්ධිමය ප්‍රීතියෙහි තැන ගත්විට, අප කරන කාර්යයන් ඉතා යාන්ත්‍රික ඒවා බවට පත්වේ. එසේම අධික වැඩ ප්‍රමාණය ‘කැපවීම’ ලෙස උත්කෘෂ්ඨත්වයට පත්වන විට, ගෞරවාන්විත බව ක්‍රමයෙන් ගිලිහී යයි. ගෞරවාන්විතව වැඩ කිරීමට නම් කුමන තරාතිරමක අයකුට වුවද සිතීමට, නිර්මාණය කිරීමට මෙන්ම හුස්ම ගැනීමටද ඉඩ තිබිය යුතුය.   

ධූරාවලිය සහ සම්ප්‍රදායෙහි සෙවණැල්ල යට

අපේ විශ්ව විද්‍යාල තුළ ශාස්ත්‍රීය හිරිහැර කිරීම් බොහෝවිට ශිෂ්ටත්වයේ කඩතුරාවට මුවා වී සිදුකෙරේ. රැස්වීමකදී ඇහිබැමක් එසවීමෙන් ප්‍රශ්නාර්ථයට ලක් කිරීම, අන් අය ඉදිරිපිට නිවැරදි කිරීම තුළින් නින්දා කිරීම හෝ තීරණ ගැනීමේ ක්‍රියාවලි තුළින් නිහඬවම ඉවත් කර දැමීම වැනි භාවිතයන් ඊට උදාහරණ ය. 

රටවල් කිහිපයක රැකියා ස්ථානයේ හිරිහැර කිරීම් සම්බන්ධයෙන් 2024 වසරේදී සිදුකෙරුණු සමීක්ෂණයකට අනුව මෙවැනි භාවිතයන් තනි තනි පුද්ගල අත්දැකීම් පමණක් නියෝජනය කරන ඒවා නොව, පද්ධතිමය මට්ටමක පවතින ඒවාය (Hodgins et al., 2024). එම සමීක්ෂණයට අනුව ධූරාවලිය, බලය, රඳා පැවතීම (dependency) සහ ආයතනික නිහඬ භාවය යන කරුණු රැකියා ස්ථානයේ හිරිහැර කිරීම් ධෛර්යමත් කරන මූලික සාධක වේ. මීට සමාන මතයක් දරමින් Tay (2023) ද ප්‍රකාශ කරන්නේ ශාස්ත්‍රාලය තුළ සිදුවන හිරිහැර කිරීම් “එම ආයතන තුළ ව්‍යුහාත්මක බල පරතරයන්ගෙන්” වෙන්කළ නොහැකි බවය. කනිෂ්ඨ ශාස්ත්‍රාලිකයන් ගේ නම් සියළුම අන්තර්ක්‍රියා තීරණය වන්නේ මෙකී ධූරාවලිය මත ය. සිය වටිනාකම නිතරම පෙන්වීමටත්, ඉහළින් සිටින්නන්ගේ අනුමැතිය ලබාගැනීමටත්, සිය උසස් වීම් අරබයා බලය දරන කිසිදු කෙනෙකුගේ උදහසට ලක් නොවී සිටීමටත් ඔවුන් නිරන්තරයෙන් දැඟලිය යුතුය. ‘අකීකරු’ හා ‘ප්‍රශ්නකාරී’ ලෙස හංවඩු ගැසේ යැයි ඇති බිය තුළිනි හීලෑ බව ඇති කරන්නේ. ආයතනික මට්ටමෙන්ද විවේචන වලට ප්‍රතිචාර දක්වන්නේ ආයතනික ප්‍රතිරූපය රැකගැනීමේ මානසිකත්වයෙන් මිස ස්වයං විවේචනාත්මක එළඹුමකින් නොවේ. එවැනි නිහඬතාවයක් තුළ පිළිබිඹු වන්නේ අපක්ෂපාතීත්වය නොව, ගුණාත්මක බව ඛාදනය කර දැමීමකි. ධෛර්යය වෙනුවට හීලෑ බවත්, විචාරය වෙනුවට ඇඟ බේරාගෙන ජීවත් වීමත් එමඟින් කියාදේ. පද්ධතිය විසින් යුක්තියට ඉහළින් නිහඬතාවය තෝරාගන්නා සෑම අවස්ථාවකම ඉන් ඛාදනය වන්නේ ශාස්ත්‍රීය ප්‍රජාවේ සාමූහික ගෞරවයයි.   

අනිසි ‘සම්ප්‍රදායන්’ ට එරෙහිව ප්‍රතිපත්තිමය ස්ථාවරයන් ගන්නා අයට සමහර අවස්ථා වල වෘත්තීමය බහිෂ්කරණයට හෝ නිහඬ එදිරිවාදිකම් වලට මුහුණ පෑමට සිදුවේ. මා මිතුරු නාට්‍ය අධ්‍යක්ෂිකාවක වන ශාස්ත්‍රාලිකයකු සිය කතාව මා සමඟ බෙදා ගත්තාය. ශිෂ්‍ය සමයේදී ඇය නවක වධයට එරෙහිව විවෘතව කතා කළ අයෙකි. ඉන් වසර ගණනාවකට පසු අද වනවිටත්, බොහෝ සෞන්දර්යාත්මක නිර්මාණ කිරීමෙන් පසුවත්, ඇයට විශ්ව විද්‍යාලයේ කිසිදු ප්‍රධාන උළෙලකට ආරාධනා නොලැබෙන්නේ ‘නවක වධ විරෝධියකු’ ලෙස ඇයව හඳුනාගෙන ඇති නිසාය. ආයතනික සංස්කෘතීන් තුළ හීලෑ බව සම්මානයට ලක්කොට ධෛර්යයට දඬුවම් කරන විට, ගෞරවාන්විතව වැඩ කිරීම දුරස්ථ සිහිනයක් බවට පත්වේ.

ප්‍රශ්න යට ගැසීම

මෙය මම කලින්ද කියා ඇති කරුණක් වුවත් නැවතත් මෙහි සඳහන් කිරීම වටී. අපේ විශ්ව විද්‍යාල වල ලිංගික හිංසන ඉතා දැඩිව පවතී. ඒ සම්බන්ධ ප්‍රතිපත්ති හා කමිටු කොතෙක් තිබුණත්, කතා කිරීමට තරම් තත්වය සුරක්ෂිත බව වින්දිතයින්ට දැනෙන්නේ ඉතා කලාතුරකිනි. ප්‍රතිප්‍රහාර පිළිබඳ බිය, චරිතය හානි වීම සම්බන්ධ ගැටළු සහ වෘත්තීමය වශයෙන් එක තැන පල්වීම ගැන සැක සංකා බොහෝදෙනා නිහඬව තබයි.

ලිංගික හිංසන වලට එරෙහිව කතා කරන අයට බොහෝවිට සියුම් ආකාරයේ ප්‍රතිප්‍රහාර වලට මුහුණ දීමට සිදුවේ. ඒ පිළිබඳ පැමිණිලි කිරීම හෝ වරදකරුවන් වගවීමට යටත් කිරීමට උත්සහ දරන්නන්ට සිදුවන්නේ ‘කරදරකාරයින්’ යන විරුදාවලිය පට බැඳ ගැනීමටය. මෙවැනි වැරදි වලට ආයතනය විසින් ඉඩදෙන අයුරු පිළිබඳ කතා කරන්නවුන්ට ලැබෙන ප්‍රතිචාරය බොහෝවිට ආයතනය ආරක්ෂා කරගැනීමේ වුවමනාව තුළින් පන්නරය ලැබූවකි; එහිලා සමහරුන්ගේ මතය වන්නේ එවැනි ගැටළු පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කිරීම තුළින් ආයතනයේ කීර්ති නාමය පළුදු වියහැකිය යන්නයි. Hodgins et al. (2024) පෙන්වා දෙන පරිදි මෙමඟින් සිදුවන්නේ ආයතනික ප්‍රචණ්ඩත්වයක් ප්‍රතිනිෂ්පාදනය වීමය; එනම් නිහඬතාවය සහ අක්‍රීයත්වය තුළින් හානි පැමිණවීමේ ප්‍රචණ්ඩත්වය යි. රැකියා ස්ථානය තුළ ගෞරවාන්විත බව සඳහා කායික මෙන්ම මානසික ආරක්ෂාවද වැදගත් වේ. ඒවා නොමැතිව ශාස්ත්‍රාලිකයකුට සාර්ථක විය නොහැක.

ගෞරවාන්විත සංස්කෘතියක් කරා 

ශාස්ත්‍රාලය තුළ ගෞරවාන්විත බව ප්‍රතිස්ථාපනය කිරීම පටන්ගත යුත්තේ එය උල්ලංඝනය කරන්නන් නම් කිරීමෙනි. අධික වැඩ කන්දරාව යනු කැපවීම වත්, හිරිහැර කිරීම යනු සම්ප්‍රදාය වත්, ධූරාවලිය යනු ප්‍රඥාව වත් නොවේ. මෙවැනි අවභාවිතයන්ට එරෙහිව කතා කරන්නන් රැකගත හැකි ව්‍යුහයන් විශ්ව විද්‍යාල විසින් නිර්මාණය කළයුතුය. විශ්ව විද්‍යාල වල ලිංගික හිංසන ආමන්ත්‍රණය කිරීමේ ක්‍රමයක් ලෙස මෑත කාලීනව ප්‍රතිපත්ති, විශ්ව විද්‍යාල කොමිෂන් සභා චක්‍රලේඛ සහ නවක වධය නැවැත්වීමේ උපදෙස් සහිත ශ්‍රේෂ්ඨාධිකරණ විධිනියමයක් පවා හඳුන්වා දී තිබේ. මේවා ඉතා වැදගත් පියවර බව පිළිගත යුතුය. නමුත් රැකියා ස්ථානයේ ගෞරවාන්විත බව යනු විවෘත ප්‍රචණ්ඩත්වය වැළක්වීමට එහා ගිය එකකි. ඒ සඳහා එදිනෙදා ජීවිතය තුළ දිගහැරෙන, අපේ ධෛර්යය සහ අවංකකම හීන කරන ශාස්ත්‍රීය හිරිහැර කිරීම් – බහිෂ්කරණය, පහත් කොට සැළකීම, බලය අවභාවිත කිරීම වැනි – ආමන්ත්‍රණය කිරීමද කළයුතු වේ. 

හිරිහැර කිරීම් වලට එරෙහිව පැහැදිලි ස්ථාවරයක් ගැනීමට විශ්ව විද්‍යාල වලට කාලය එළඹ තිබේ. ඒ සඳහා පිළිගත නොහැකි ආකාරයේ හැසිරීම් යනු මොනවාද යන්න නිර්වචනය කළයුතු අතර, එවැනි හැසිරීම් වලට එරෙහි පැමිණිලි විභාග කිරීම සඳහා රහසිගත භාවය ආරක්ෂා කරන, අපක්ෂපාතී විමර්ශන යාන්ත්‍රණ ස්ථාපනය කළයුතුය. ඔවුන්ගේ තරාතිරම පිළිබඳ සැළකීමකින් තොරව පැමිණිලිකරුවන් සහ සාක්ෂිකරුවන් ප්‍රතිප්‍රහාර වලින් ආරක්ෂා කිරීමද එහිම කොටසකි. 

මෙහිලා සංස්කෘතික සහ පටිපාටීමය ප්‍රතිසංස්කරණ ඉතා වැදගත් වුවද, ශාස්ත්‍රීය ජීවිතයේ භෞතික යථාර්ථයන් ආමන්ත්‍රණය කිරීමෙන් තොරව ඒවා සම්පූර්ණයෙන්ම සාර්ථක කරගත නොහැකිය. ප්‍රමාණවත් නොවන කාර්ය මණ්ඩල, නව බඳවා ගැනීම් නොකිරීම තුළින් එම ගැටළුව තීව්‍ර වන අයුරු මෙන්ම උසස් අධ්‍යාපනය කෙරෙහි රජයේ ආයෝජනය එන්න එන්නටම අඩු වීම යන සියල්ලම ශාස්ත්‍රාලිකයන්ගේ අධික වෙහෙස උත්සන්න කිරීමෙහි ලා දායක වේ. UNESCO සංවිධානයේ 1997 නිර්දේශ වලට අනුව සාධාරණ සහ සමාන වැඩ පරිමාවකට අයිතියක් සියළු ශාස්ත්‍රීය කාර්ය මණ්ඩලයට ඇත. එහෙත් ව්‍යුහාත්මක හිඟතා මධ්‍යයේ මෙම අරමුණු ආයතනයකට ඉටුකර ගැනීමද කළ නොහැක්කකි. රැකියා ස්ථානයේ ගෞරවාන්විත බව, එම රැකියාව හොඳින් කිරීමට අපේ ඇති හැකියාවෙන් වෙන්කළ නොහැක. එම නිසා විශ්ව විද්‍යාල සංස්කෘතිය වෙනස් කරන අතරම ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කිරීමටද අවශ්‍ය සහය රජය ලබාදිය යුතුය. බඳවා ගැනීම් නැවත ආරම්භ කිරීම, සියලු පීඨ සහ දෙපාර්තමේන්තු වලට අවශ්‍ය ප්‍රමාණ වලින් කාර්ය මණ්ඩල සිටින බවට තහවුරු කිරීම සහ ප්‍රමාණවත් ප්‍රතිපාදන විශ්ව විද්‍යාල සඳහා වෙන් කිරීම යන කාරණා ඒ අතර ප්‍රධාන වේ. නැතහොත් ගෞරවාන්විත බව සඳහා වූ මේ උත්සාහය පරිවර්තනීය එකක් වනු වෙනුවට හුදු සංකේතාත්මක වනු ඇත. 

ශාස්ත්‍රාලිකයන්ගේ යහපැවැත්ම වඩාත්ම අර්ථවත් අයුරින් සාධනය වන්නේ ඔවුන්ගේ ස්වාධීනත්වය තහවුරු කිරීමෙන් සහ ඔවුන්ට අවශ්‍ය ආයතනික සහයෝගය ලබාදීමෙන් මිස, ඔවුන්ගේ දරාගැනීමේ සීමාව දිගින් දිගටම පරීක්ෂා කිරීමෙන් නොවේ. බිය රජයන තැනක ගෞරවාන්විත බව පැවතිය නොහැක. එය පවතින්නේ අන්‍යොන්‍ය සහයෝගය හා දෘශ්‍ය සාධාරණත්වය සහිත තැනක පමණි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *