උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතික්ෂේප කරන්න 

සිවමෝහන් සුමති 

අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් මෑතදී පල කරන ලද වාර්තාවක් තුළ සාමාන්‍ය සහ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් එහි ප්‍රතිසංස්කරණ වැඩසටහන දක්වා තිබේ. ආචාර්ය විජේදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හෙබි, සාමාජිකයින් 10 කට අධික සංඛ්‍යාවකින් යුතු මෙම කමිටුවේ උසස් අධ්‍යාපනය හා මොනයම්ම හෝ සම්බන්ධයක් පවතින සාමාජිකයින් සිටියේ දෙදෙනෙක් පමණි: එනම් හරිනි අමරසූරිය සහ චරිත හේරත් යන ආචාර්යවරුන්ය. පල කරන ලද වාර්තාවට සිය විරුද්ධත්වය ප්‍රකාශ කරමින් ආචාර්ය අමරසූරිය අපමතික වාර්තාවක් පල කොට ඇති බවද මෙහිදී සිහිතබා ගත යුතුය. 

මෙම ලිපිය තුළින් අරමුණු කරන්නේ තේමා දෙකක් යටතේ මෙම වාර්තාවේ යම් යම් කරුණු පිළිබඳ  විශ්ලේෂණයක් සිදු කිරීමය: ඉන් පළමුවැන්න නම් උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය දෘෂ්ටිවාදාත්මක වශයෙන් හැඩගැස්වීමේ ප්‍රවණතාවයයි; දෙවැන්න අරමුදල් පිළිබඳ ගැටළුවය. 90 දශකයේ අග භාගයේ සිට අනුක්‍රමික ආණ්ඩු වල ප්‍රතිපත්ති තුළින් නිදහස් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඛාදනයට ලක් කරන්නට යෙදුනි. මේ සඳහා අවශ්‍ය පදනම තනා ගත්තේ විශ්ව විද්‍යාලය, එහි ආචාර්ය මණ්ඩලය සහ එහි ශිෂ්‍ය දේශපාලනයට පරිභව කිරීම තුළිනි. පසුකාලීනව සමාජගත කරන ලද ‘සේවා නියුක්තියට නුසුදුසු උපාධිධාරියා’ යන ආඛ්‍යානයෙහි මූලික වගකීමද විශ්ව විද්‍යාලය, විශේෂයෙන්ම මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ, වලට අනුයුක්ත කෙරුණි. එම තර්කය ඔස්සේ ඉදිරියට යමින් අරමුදල් ලබාගැනීමට නම් විශ්ව විද්‍යාලය අධ්‍යාපනය පිළිබඳ සිය දැක්ම වෙනස් කළයුතු බවට පීඩන එල්ල කෙරුණි. විශ්ව විද්‍යාල පද්ධතිය බදු මුදල් ගෙවන ජනතාවට බරක් බවත්, පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටින්නා වූ කුසලතා සිය ශිෂ්‍යයන් හට ලබාදිය නොහැකි ආයතනයක් බවත් පොදුවේ පිළිගැනෙන තත්වයක් නිර්මාණය විය. ඊට ප්‍රතිවිරුද්ධව පෞද්ගලික (විශේෂයෙන්ම වාණිජ) අංශය දයාබර රැකවල් පියෙකුගේ තත්වයට උසස් කරන්නට විය. ඒ අනුව ආදර්ශ මාදිලිය බවට පෞද්ගලික (වාණිජ) අංශය පත්වූ අතර, විශ්ව විද්‍යාලය එම මාදිලිය අනුගමනය කළයුතු බවට එකඟතාවක් ගොඩ නැඟුණි.  

වාර්තාවෙහි හැඳින්වීම කොටස තුළ යෝජිත ප්‍රතිසංස්කරණ පිටුපස ඇති දෘෂ්ටිවාදය පැහැදිලි කොට තිබේ. එය ආරම්භ වන්නේ “උසස් අධ්‍යාපනය තුළ ප්‍රශ්න බොහොමයකි. ඒ අතර ප්‍රවේශය ප්‍රමාණවත් නොවීම, ප්‍රමිතියේ හා අදාළත්වයේ මඳ බව, දුර්වල ආණ්ඩුකරණය, දුර්වල කළමණාකරණය සහ සම්පත් හිඟතාවය යන ඒවා වේ” යන වාක්‍යයත් සමඟය. හැඳින්වීමෙහි අඩංගු තවත් වාක්‍යයක් නම් “ආසියානු සංවර්ධන බැංකුවට (2020) අනුව රාජ්‍ය විශ්ව විද්‍යාල වලින් ප්‍රකාශයට පත්වන බොහොමයක් පර්යේෂණ වල ප්‍රමිතිය සහ ජාතික අවශ්‍යතා වලට ඇති අදාළත්වය ඉතා අවමය” යන්නය. බැලූ බැල්මට ඉතා ගැඹුරු වාක්‍ය සේ පෙනෙන “විශ්ව විද්‍යාල සහ කර්මාන්ත ක්ෂේත්‍රය අතර අන්තර් සම්බන්ධතා ඉතා අවමය” වැනි ඒවා වලින් ඇත්තෙන්ම වැඩි යමක් නොකියවේ. මන්ද එමඟින් අපේ විද්‍යා හා කලා අධ්‍යාපනය හෝ ඇත්තෙන්ම අපේ කර්මාන්ත ක්ෂේත්‍රය පිළිබඳව වුවත් පසුබිම් දැනුමක් ලබා නොදෙන නිසාය. පර්යේෂණ මත පදනම් වූ ව්‍යාපෘති මෙහෙයවීම සඳහා අවශ්‍ය ආකාරයේ පෞද්ගලික වාණිජ අංශයක් අප සතුව තිබේද? අපේ පෞද්ගලික වාණිජ අංශය අඩුවෙන් දියුණු වූ, තමන්ගේ පැවැත්මද යාන්තමින් තහවුරු කරගත් එකකි. දූෂිත, නියාමනය නොකරන ලද පෞද්ගලික වාණිජ ආයතන මත අපේ පර්යේෂණ රැඳවිය යුතුද? පෞද්ගලික වාණිජ අරමුදල් වල ඇති ගැටළු ගෝලීය මට්ටමේ පර්යේෂණ මඟින් පෙන්වා දී නැතිද? එසේම පර්යේෂණ සහ සංවර්ධනය කෙරෙහි රාජ්‍ය ආයෝජන කෙබඳුද යන්නත් විමසා බැලීම වටී.   

කොමිසම

යෝජිත ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින්නේ නව විශ්ව විද්‍යාල පනතක් හඳුන්වා දෙන ලෙස හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අවලංගු කොට දමන ලෙසය. ඒ වෙනුවට ‘ජාතික උසස් අධ්‍යාපන කොමිසමක්’ ස්ථාපනය කිරීම යෝජනා කොට තිබේ. ඒ යටතේ රාජ්‍ය විශ්ව විද්‍යාල, රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන, වෘත්තීමය විශ්ව විද්‍යාල හා ආයතන, සහ තත්ත්ව සහතිකකරණ අංශයක් යන සිව් වැදෑරුම් ව්‍යුහයන් ස්ථාපිත කිරීම යෝජිතය. මෙය පවතින තත්වය විප්ලවීය ලෙස වෙනස් කිරීමකි. කුමන අඩුපාඩු මධ්‍යයේ වුවද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව රටේ උසස් අධ්‍යාපනයට සහ විශේෂයෙන්ම නිදහස් අධ්‍යාපනයට පැහැදිලි බවක් ලබා දෙයි. එය අහෝසි කොට ඒ වෙනුවට රාජ්‍ය සහ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට පොදු වූ එක ආයතනයක් ස්ථාපනය කිරීමත්, එම ද්විත්වය අතර සහයෝගීතාව යෝජනා කිරීමත් තුළින් ඒවා අතර බෙදුම් රේඛා බොඳ කොට දමයි. යෝජිත කොමිසම යටතේ විශ්ව විද්‍යාල තුළ ශිෂ්‍ය සංයුතිය ද්වි-විධ එකක් බවට පත්වනු ඇත: එනම් උසස් පෙළ තුළින් හා වෙනත් මාර්ග වලින් ඇතුළු වන්නන් ලෙසය. මෙමඟින් දූෂණය ඉහළ යනු ඇති අතර, පද්ධතිය තුළ අසමානතා වැඩි වීමත්, කාලයක් යනවිට නිදහස් අධ්‍යාපනය කඩා වැටීමත් අනිවාර්යයෙන්ම සිදුවනු ඇත.   

මෙම යෝජනා වලින් රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සඳහා වඩා පුළුල් භූමිකාවක් අපේක්ෂා කරයි. අධ්‍යාපනයේ ප්‍රධාන ක්‍රියාධරයෙක් වීම ඔවුන්ගෙන් අපේක්ෂා කෙරේ. ඒ අතරම, රාජ්‍ය විශ්ව විද්‍යාල වලට සපයන අරමුදල් කප්පාදු කිරීම සහ එම අරමුදල් ශිෂ්‍ය ණය පහසුකම් සඳහා යෙදවීම තුළින් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය තවදුරටත් අඩපණ කෙරෙනු ඇත. පොදු-පෞද්ගලික හවුල්කාරීත්වයන් (public-private partnerships; PPP) යනුවෙන් වත්මනේ ඉහළ ආකර්ශනයක් දිනා තිබෙන යෙදුම මෙම යෝජනා වලින් තදින් අවධාරණය කරයි. නිල වශයෙන් නම්  PPP වල ගම්‍යය වන්නේ රජයේ ආයතන සඳහා පෞද්ගලික අංශයේ උදව් ලබාගැනීම වුවත්, ඇත්තෙන්ම සිදුවන්නේ එහි අනෙක් පැත්තය. SAITM සඳහා භාවිතා කළේ මෙහි ආදර්ශ මාදිලියයි. ඊට පදනම් වූ ලේඛනය අධ්‍යයනය කරන්නෙකුට පෞද්ගලික අංශය රාජ්‍ය අංශය මත කොතරම් රඳා පවතිනවාද යන්න මොනවට පැහැදිලි වේ.   

තත්ත්ව සහතිකකරණය 

තත්ත්ව සහතිකකරණය යනු ප්‍රශ්න සහගත ක්‍රියාවලියක් බව රාජ්‍ය විශ්ව විද්‍යාල වලට අනුබද්ධිත බොහෝ දෙනා දනිති. එමඟින් විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් ඉල්ලා සිටින දේ දෘෂ්ටිවාදාත්මකය. මන්ද එම වෙනස්කම් මඟින් තහවුරු කෙරෙන්නේ විෂය පරිබාහිර, ප්‍රමිතිය යනු කුමක්ද යන්න පිළිබඳ පැහැදිලි දැක්මක් නොමැති, අධ්‍යාපනයට සෘජුව සම්බන්ධ නොවූ දේ නිසාය. එය අධ්‍යාපනය කළමණාකරණය පිළිබඳ දැක්මක් මිස අධ්‍යාපනය පිළිබඳ දැක්මක් නොවේ. එමඟින් ප්‍රමිතිය තහවුරු නොකරන අතර, ප්‍රමිතිය තහවුරු කිරීම අපේක්ෂා කරන්නේද නැත. 

වත්මනේ ප්‍රමිතිය යන්නෙන් අදහස් වන්නේ වාණිජ අභිලාෂ විසින් ප්‍රමිතිය වශයෙන් තේරුම් ගන්නා දේය. එමෙන්ම නියම ප්‍රමිතියකින් යුතු පර්යේෂණ ලෙස සළකන්නේ වාණිජ අංශ අරමුණු හා සමපාත වන පර්යේෂණයන්ය. යෝජිත ප්‍රතිසංස්කරණ මඟින් රාජ්‍ය අංශ අධ්‍යාපනය පෞද්ගලික අධ්‍යාපනයට අඩුවෙන් ස්ථානගත කරනු ඇති අතර, පෞද්ගලික අධ්‍යාපනය හා සම තත්වයට පත්වීමට රාජ්‍ය අංශ අධ්‍යාපනය මත පීඩනය යොදනු ඇත.

අරමුදල් කප්පාදුව තුළින් රාජ්‍ය විශ්ව විද්‍යාල තුරන් කිරීම 

ආඛ්‍යානයෙන් කරගත නොහැකි දේ භෞතිකව කිරීමට රජය දැන් උත්සහ ගනිමින් සිටී. මෑත කාලීනව රාජ්‍ය විශ්ව විද්‍යාල වලට මුහුණ දීමට සිදුව ඇති අරමුදල් කප්පාදුව සිතාගත නොහැකි තරම්ය. අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් වෙනකොට ඇත්තේ 1.5% ක් තරම් ප්‍රමාණයකි. අරමුදල් සම්පාදනය සඳහා විශ්ව විද්‍යාල විසින් ගාස්තු ගෙවීමේ පදනම මත පාඨමාලා හඳුන්වා දිය යුතුය යන්න මේ අරබයා සිදුකොට ඇති නිර්දේශයයි. මෙම පීඩනයන්ට ප්‍රතිචාර වශයෙන් සහතික පත්‍ර හා ඩිප්ලෝමා පාඨමාලා වලට අමතරව උපාධි අපේක්ෂකයින් ලෙස ගාස්තු ගෙවන සිසුන් බඳවා ගැනීමේ සාකච්ඡාද දැන් ඇරඹී තිබේ. මේ සියල්ලෙන් පාර කපන්නේ පෞද්ගලික අංශය අධ්‍යාපනය ආක්‍රමණය කිරීමේත්, රාජ්‍ය විශ්ව විද්‍යාල පෞද්ගලීකරණය කිරීමේත් ක්‍රියාවලියට බව සිහිතබා ගත යුතුය.

ප්‍රජාතන්ත්‍රවාදයේ කම්මුලට ගැසීම  

2022 අරගලයේදී අපේ පාර්ලිමේන්තු සභිකයින්ගේ රැකියා නියුක්තියට සුදුසු බව ප්‍රශ්න කෙරුණි. එවැනි සුදුසුකම් නොලත් පාර්ලිමේන්තු සභිකයින් බහුතරයකගේ එකතුවෙන්, මහජනතාව අතර සුජාත පිළිගැනීමක් නොමැති, සිය කාලයට වඩා දැනටමත් වසරක් පමණ බලයේ සිට ඇති ආණ්ඩුවක් විසින් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය හා නිදහස් අධ්‍යපනයා පිළිබඳ තීරණ ගනිමින් සිටී.

රට දැඩි ආර්ථික ආතතියකින් පෙළෙමින් පවතී. ජීවන වියදම දිනෙන් දින වැඩිවේ. ශ්‍රම බලකායට රැකියා නියුක්තිය සඳහා ඇති අවස්ථා එන්න එන්නටම හීන වන අතර, කෘෂිකර්මාන්තය තුළද සම්පත් ක්ෂය වීමේ අර්බුදයක් මතුව ඇත. යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් බොහෝදෙනා අධ්‍යාපනයෙන් විතැන් කළහොත් මෙම සමාජ බෙදුම් රේඛා වඩාත් තීව්‍ර විය හැකිය. මෙවැනි වෙනස්කම් හඳුන්වා දීමට අවශ්‍ය සුජාත භාවය මෙම රජයට හෝ පාර්ලිමේන්තුවට නැත. එම නිසා අදාළ සියළු පාර්ශ්ව එක්ව මෙම ප්‍රතිසංස්කරණ අවධාරණයෙන් ප්‍රතික්ෂේප කළ යුතු වේ.