ජාතික ජන බලවේග රජය යටතේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 

මහේන්ද්‍රන් තිරුවරන්ගන්

ජාතික ජන බලවේගය 2024 මහා මැතිවරණය දිනන විට, රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ඉහළ අපේක්ෂා තිබුණි. යහපාලනය සහ පද්ධතිමය වෙනසක් පිළිබඳ දුන් පොරොන්දු වලට අමතරව ඊට හේතු වූයේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම සහ දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් අධ්‍යාපනයට වෙන් කිරීම සඳහා වූ අරගලයේ මුල් තැනක් ගත් ශාස්ත්‍රාලිකයෙක් අධ්‍යාපන ඇමති ලෙස පත් කිරීමයි.

එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දැන් හඳුන්වා දෙමින් පවතී. එහි මූලිකම සාධනීය පියවරක් වන්නේ පාසල් විෂය නිර්දේශයේම කොටසක් වශයෙන් වෘත්තීය අධ්‍යාපනය හඳුන්වා දීමයි. එසේම අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කරන මුදල ද ඉතා සුළුවෙන් වුවත් වැඩිකොට ඇත. සමහර විශ්ව විද්‍යාල වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමද යෝජනා වී තිබේ. බඳවා ගැනීම් මත පනවා තිබූ තහනම ද ක්‍රම ක්‍රමයෙන් ලිහිල් වේගෙන යයි. ඒ කෙසේ වුවත්, පසුගිය වසරක කාලය සැළකීමේදී රජයේ කාර්ය සාධනය තුළ දියුණු කළයුතු බොහෝ අංශ හඳුනාගත හැකිය. අධ්‍යාපන හා ආයතනික ප්‍රතිසංස්කරණ වලට මේ ගන්නා එළඹුම තුළ අධ්‍යාපනය සඳහා වන ප්‍රතිපාදන වැඩි කිරීම, රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය තුළ පෞද්ගලීකරණය සඳහා වන නවලිබරල් තල්ලුවට ප්‍රතිරෝධය දැක්වීම සහ එම විශ්ව විද්‍යාල අතර සම්පත් විෂමතා අවම කිරීම වැනි ඉතා විස්තීර්ණ පද්ධතිමය වෙනස්කම් තබා, අවම වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම වටිනාකම් වන නීතියේ අධිපත්‍යය, විනිවිදභාවය හා අදහස් විමසීම වනි ඒවා වලට වත් දියයුතු වැදගත්කම ලබා දී නැත. අද ලිපිය තුළ අවධානය යොමු කරන්නේ සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට හා රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිදුකිරීමට අවශ්‍ය වන ආයතනික ප්‍රතිසංස්කරණ වලටය.  

සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

අධ්‍යාපනය වේවා වෙනත් ක්ෂේත්‍රයක් වේවා, ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් අනිවාර්යයෙන්ම මහජන අදහස් මත පදනම් විය යුතුය. අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ එහි තේරුම වන්නේ සිසුන්, දෙමාපියන්, ගුරුවරුන්, අධ්‍යාපන පරිපාලන නිලධාරීන්, වෘත්තීය සමිති සහ පොදු සමාජයේම අදහස් ලබා ගැනීමයි. අරගලය/පෝරට්ටම් ට පසු රටේ දේශපාලනය තුළ පැහැදිලි වෙනසක් ඇතිවිය. දූෂණය, ඥාති සංග්‍රහය සහ පෞද්ගලික න්‍යාය පත්‍ර වලට එරෙහිව ගොඩ නැඟුනු මහජන මතය නිසාය ජාතික ජන බලවේගය බලයට පැමිණියේ. එවැනි පසුබිමක් තුළ මේ රජය ජනතා මතයට, විශේෂයෙන්ම තීරණ ගැනීමේ ක්‍රියාවලි වලින් පද්ධතිමය වශයෙන්ම බැහැර කරනු ලැබ ඇති පිරිස් වල මතයට, ඉඩක් ලබාදෙනු ඇති බවට වූ අපේක්ෂාව ඉහළය. 

එහෙත් කණගාටුවට කාරණය වන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී මේ එළඹුම නොගැනීමයි. බොහෝ දෙනාගේ මතයට අනුව 2026 දී මෙම ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට රජය ඉක්මන් නොවිය යුතුව තිබුණි. එම නිසා මේ අවස්ථාවේදී රජය අන්තරාවලෝකනයක යෙදිය යුතුය. ජාතික අධ්‍යාපන ආයතනයට අනුබද්ධිත පිරිස් හැටියට අපගේද වගකීම විය යුතුව තිබුණේ මහජන අදහස් විමසීම, ආවර්ජනය සහ සමාලෝචනය සඳහා වැඩිපුර කාලයක් ගතකළ යුතු බවට අවධාරණය කිරීමයි.  

එසේ අදහස් විමසීමට කාලය ගතකළේ නම් පාසල් පැය ගණන වැඩි කිරීමට ගුරුවරුන්ගේ වෘත්තීය සමිති දැක්වූ විරෝධතාවය, 10, 11 ශ්‍රේණි වල විෂය නිර්දේශයෙන් ඉතිහාසය ඉවත් කිරීමට ඉතිහාස ගුරුවරුන් දැක්වූ විරෝධතාවය, සහ 6 ශ්‍රේණිය සඳහා වන විෂයයන් ගණන වැඩි කිරීම පිළිබඳ පවතින අතෘප්තිය වැනි ගැටළු මඟහරවා ගතහැකිව තිබුණි.

යෝජිත ප්‍රතිසංස්කරණ වලට පවතින ප්‍රතිරෝධය හමුවේ, ඉදිරි වසර වලදී හඳුන්වා දීමට අදහස් කරන වෙනස්කම් මොනවාදැයි යන්න පිළිබඳව අදාළ සියළු පාර්ශ්ව වල අදහස් විමසිය යුතුය. සිදුවූ වැරදි නොතකා හරින දරදඬු ස්ථාවරයක නොසිට, ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සජීවී, විවේචනයට විවෘත එකක් ලෙස සැළකීමත්, ඒ හා සම්බන්ධ සියළුම ලේඛන මහජන ප්‍රතිපෝෂණය මත පදනම්ව වෙනස් වන සජීවී ඒවා ලෙස දැකීමත් රජය මෙන්ම ජාතික අධ්‍යාපන ආයතනයට අනුබද්ධිත අප සියළු දෙනාමද ගතයුතු ස්ථාවරයකි. 

දර්ශනය සහ අන්තර්ගතය 

පසුගිය ලිපියේ රම්‍යා කුමාර් දැක්වූ පරිදි, යෝජිත ප්‍රතිසංස්කරණ වලට පදනම් කොටගෙන ඇති දර්ශනය තුළ සාධනීය කරුණු ගණනාවක් අඩංගු වේ. එහෙත් කණගාටුවට කරුණ වන්නේ විෂයයන් වල අන්තර්ගතය සඳහා එම දර්ශනය යොදාගැනීමට විෂය නිර්දේශ රචනා කළ පාර්ශ්ව වලට කල්පනා නොවීමයි. ඇත්තෙන්ම ප්‍රතිපත්තිය ජනගත කිරීමටත් පෙර බොහෝ විෂය නිර්දේශයන් මුද්‍රණය සඳහා යවා තිබුණි. දිගු කාලීන යුද්ධයක් පැවති, එමෙන්ම දිගින් දිගටම පවතින තීව්‍ර වාර්ගික-ආගමික බෙදුම් සහිත රටකට වඩාත්ම අවශ්‍ය විෂයයන් මොනවාද යන්න දැනගත හැකිව තිබූ හොඳම ක්‍රමය වූයේ ඉතාම දීර්ඝව මහජන අදහස් විමසීමය.    

සුළුතර ප්‍රජාවන්ගේ ඉතිහාසයන්ද නව විෂය නිර්දේශයට ඇතුළත් කරන බවට අධ්‍යාපන ඇමතිනිය පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය මම අගය කරමි. එහෙත් පුළුල් මහජන අදහස් විමසීමක් කළේ නම් දෙවන ජාතික භාෂාව ඉගෙනීමට වෙන්කරන කාලය වැඩි කිරීම හා ඉතිහාසය හෝ වෙනත් සමාජ විද්‍යා විෂයයක් අනිවාර්ය විෂය ලැයිස්තුවට ඇතුළත් කිරීම වැනි දේ කිරීමට රජයටත්, ජාතික අධ්‍යාපන ආයතනයටත් යම් පීඩනයක් එල්ල වන්නට ඉඩ තිබුණු බව මගේ හැඟීමයි. අධ්‍යාපන ප්‍රතිපත්තිය දක්වන ලේඛනයක් දැන් පොදු අවකාශයේ පවතින නිසා, එහි ප්‍රගතිශීලී දර්ශනය විෂය නිර්දේශයේ අන්තර්ගතයට කෙසේ ඈඳා ගත හැකිද යන්න පිළිබඳවත්, එය අනාගතයේ කෙසේ ක්‍රියාත්මක කළහැකිද යන්න පිළිබඳවත් බැරෑරුම් සංවාදයක් කිරීමට මේ කාලයයි.

විශ්ව විද්‍යාල ප්‍රතිසංස්කරණ

රජය කඩිමුඩියේ සිදුකරන බව පෙනෙන්නට ඇති තවත් ප්‍රතිසංස්කරණ මාලාවක් වන්නේ විශ්ව විද්‍යාල පනතට අදාළ සංශෝධනයි. පවතින නීති නැවත විමර්ශනයට ලක් කිරීමත්, අවශ්‍ය පරිදි වෙනස් කිරීමත් සිදුකළ යුතු නමුත්, නව නීති බලාත්මක වනතුරු පරණ නීතිය අදාළ වන බවද සිහිතබා ගතයුතුය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මඟින් මෑතදී නිකුත් කල චක්‍රලේඛයක් ඔස්සේ අංශාධිපතිවරු සහ පීඨාධිපතිවරු අළුතෙන් පත්කිරීම තාවකාලිකව නවතා ඇත්තේ විශ්ව විද්‍යාල පනතට අළුතෙන් කරන ලද සංශෝධන බලාත්මක වනතුරු බව කියමිනි. මෙය රාජ්‍ය විශ්ව විද්‍යාල තුළ පවතින ශාස්ත්‍රීය සහ ආයතනික සංස්කෘතිය හෑල්ලුවට ලක්කරන, නීතියේ අධිපත්‍යය උල්ලංඝණය කරන, ඒකාධිපති මාදිලියේ තීරණයකි. 

විශ්ව විද්‍යාල කවුන්සිල වලට සාමාජිකයින් පත්කිරීමේදී විනිවිදභාවයෙන් යුතු ක්‍රියාවලීන් අනුගමනය කිරීම, උපකුලපති ඇතුළු ශාස්ත්‍රීය කාර්ය මණ්ඩල සාමාජිකයින් බඳවා ගැනීම/පත්කිරීමේ ක්‍රමවේදය සම්බන්ධ සංශෝධන, නීති පීඨයේ කථිකාචාර්යවරුන්ට නීතිඥයින් ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් පනවා ඇති තහනම ඉවත් කිරීම වැනි විශ්ව විද්‍යාල වල ආයතනික ක්‍රියා පටිපාටි වලට අදාළ ප්‍රතිසංස්කරණ පිළිබඳ දැන් බොහෝ කලක් තිස්සේ ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ.   

උපකුලපතිවරුන් තේරීමේ ක්‍රියාවලිය තුළ සමහර අපේක්ෂයින්ට නායකත්වය, අවංක භාවය වැනි නිර්ණායක වලට ලකුණු ලබාදීමේදී ලැබිය යුතු ප්‍රමාණයට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් ලබාදීම තුළින් කවුන්සිල සාමාජිකයන් විසින් අවසාන ප්‍රතිඵලය තමන්ට අවශ්‍ය ආකාරයට නම්මා ගැනීමේ මෑත කාලීන අවභාවිතයන් සැළකූ විට, එසේ කළ නොහැකි වන ආකාරයේ සංශෝධන වල අවශ්‍යතාවය අමුතුවෙන් පැහැදිලි කළයුතු නොවේ. එසේම ශාස්ත්‍රීය කාර්ය මණ්ඩල සාමාජිකයින් බඳවා ගැනීමේදී අන්තර්-විෂයික පසුබිම් සහිත අයවළුන්ට පටු විෂය සීමා පදනම් කරගැනීම නිසා අසාධාරණතා සිදුවේ. ශාස්ත්‍රීය ප්‍රකාශන වැනි කරුණු වලින් තමාට වඩා බෙහෙවින් ඉදිරියෙන් සිටින්නන් පද්ධතිය තුළට පැමිණ තමාට තර්ජනයක් වීම වළක්වා ගැනීම සඳහා සමහර අවස්ථා වලදී මෙවැනි උපක්‍රම භාවිතා කෙරේ. මෙවැනි අංශ සම්බන්ධයෙන් වුවද රජය ප්‍රතිසංස්කරණ දියත් කළයුතු වුවත්, එහිදීද අදහස් විමසීමේ ක්‍රියාවලියක් මත පදනම් වීම වැදගත්ය.  

සිතා බැලීමකින් තොර කාර්යක්ෂමතාවයෙන්, ඉවසිලිවන්ත ආවර්ජනය කරා

මහජන අදහස් විමසීමෙහි ලා රජය එතරම් උනන්දුවක් නොදක්වන නිසා, 2026 වසරේදී විනිවිදභාවය සහ සමූපදේශය වෙනුවෙන් අරගල කිරීමට ශාස්ත්‍රාලිකයන්, වෘත්තීය සමිති සාමාජිකයින් සහ සිසුන්ට සිදුවනු ඇත. අධ්‍යාපනය සඳහා වැඩි ආයෝජනයක්, වඩා හොඳ යටිතල පහසුකම්, ප්‍රමාණාත්මකව ඉහළ බඳවා ගැනීම් සහ වඩා හොඳ සේවා ස්ථානයක් සඳහා වන අපේ වර්තමාන අරගල වලට සමාන්තරව මෙය සිදුවිය යුතුය. ජාතික ජන බලවේග රජය, ජාතික අධ්‍යාපන ආයතනය හා අපේ විශ්ව විද්‍යාල සහ පාසල් පද්ධතිය වඩාත් වගවන සුළු ඒවා බවට පත්කිරීමේ අරගලය ද එහිම කොටසකි. 

දිත්වා විපතින් පසු තත්වය තුළ සමාජ සාධාරණත්වය සහ අධ්‍යාපනය තුළ වගවීම යන ඒවා ගැන අළුතෙන් සිතා බැලීමට 2026 වසරේදී අපට සිදුවේ. මෙවැනි තත්වයක් තුළ තුන්වන වාර විභාගය අවලංගු කිරීමට කටයුතු කිරීම, විපතට පත් ප්‍රදේශ වල පාසල් නැවත විවෘත කිරීම පිළිබඳ තීරණ ගැනීමේ බලය ප්‍රාදේශීය අධ්‍යාපන ආයතන වලට සහ විදුහල්පතිවරුන්ට පැවරීම මෙන්ම විපත් තත්වය සළකා බලා පාසල් පැවැත්වෙන කාල සීමාවේ වෙනස්කම් දැන්මම හඳුන්වා දීමට කටයුතු නොකිරීම යන සියළුම පියවරයන් සාධනීය ඒවා බව මෙහිදී කිව යුතුය. එහෙත් විපතින් බලපෑමට ලක්වූ පුද්ගලයන්ගේ ප්‍රයෝගික අවශ්‍යතා ආමන්ත්‍රණය කිරීමට මෙන්ම, අප අධ්‍යාපනය සහ සමාජ සාධාරණත්වය තේරුම් ගන්නා ආකාරය මෙවැනි අර්බුද වලින් පරිවර්තනයට ලක්කරන ආකාරය පිළිබඳ නිසි පරිදි සිතා බැලීම වෙනුවෙන්ද තවත් බොහෝ දේ කිරීමට තිබේ.

දිත්වා සහ වෙනත් එවැනි විපත් වලින් බලපෑමට ලක්වන සිසුන්, ගුරුවරුන් සහ පාසල් වල විශේෂිත අවශ්‍යතා පිළිබඳ අපේ අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය කොතරම් දුරට දැනුවත්ද? එවැනි සිසුන්, ගුරුවරුන් සහ ආයතන අධ්‍යාපන සහ ආයතනික ප්‍රතිසංස්කරණ වලින් කුමක් බලාපොරොත්තු වන්නේද යන්න ගැන අධිකාරීන් දැනුවත්ද? මෙවැනි අවස්ථාවක ඔවුන්ගේ ප්‍රමුඛතා සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ආකල්ප සොයාබැලීමට අප කෙබඳු පියවර ගෙන ඇතිද? දේශගුණික විපත් වලින් වඩාත් බලපෑමට ලක්විය හැකි කණ්ඩායම් වල අදහස් විමසීමට අපි අතීතයේ කවර ආකාර පියවර ගත්තෙමුද? පන්තිය, ස්ත්‍රී-පුරුෂ භාවය, වාර්ගිකත්වය සහ ප්‍රාදේශීයත්වය මත පදනම් වූ ඓතිහාසික විෂමතා (විශේෂයෙන්ම මලයියහ ප්‍රජාව වැනි කණ්ඩායම් සම්බන්ධයෙන්) මඟින් අර්බුදය තවත් තීව්‍ර කොට ඇති මෙවැනි අවස්ථාවක ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙහි වේගය අඩු කිරීමට හෝ නවතා දැමීමට තීරණය කිරීමට අප පසුබට නොවිය යුතුය; එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට මහජන අදහස් පාදක කරගැනීම ඉතා අවමයෙන් සිදුව ඇති පසුබිමක එය විශේෂයෙන්ම වැදගත් වේ.   

මේ ලිපියෙහි අරමුණ වන්නේ වේගය අඩු කිරීම ප්‍රති-භාවිතයක් (counter-practice) ලෙස දැක්වීමයි. එය, නවලිබරල් අරමුදල් සම්පාදන ආයතන මඟින් මහජන අදහස් නොවිමසා (විශේෂයෙන්ම ආන්තික කණ්ඩායම් වල), වේගය සහ කාර්යක්ෂමතාවය කෙරෙහි කරන අවධාරණයට ප්‍රතිරෝධය දැක්වීමකි. එවැනි කෝණයකින් බැලූවිට නව වසරේ සහ ඉන් එපිටත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා අපට උපදේශකත්වය සපයන්නේ විවෘත භාවය, ඉවසීම, වගවීම, නිහතමානීත්වය, අන්තරාවලෝකනය සහ ස්වයං නිවැරදි කරගැනීම යන ගුණාංග වේ. 

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *