මදුරංග කළුගම්පිටිය
පසුගිය දශක කිහිපය පුරාවට, විශේෂයෙන්ම ’70 දශකයේ විවෘත ආර්ථිකය හඳුන්වා දුන් කාලයේ සිට, ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම ජාතික වශයෙන් වැදගත් මාතෘකාවක් වශයෙන් බවට පත්ව ඇත. ගෝලීයකරණය පිළිබඳ වඩා පුළුල් සන්දර්භයක් තුළ ඉංග්‍රීසි අධ්‍යාපනය වැඩිවර්ධනය කිරීම හදිසි, කාලීන හා ජාතික ආර්ථික සංවර්ධනයට සෘජුව බද්ධ වූ කාරණයක් ලෙස සැළකේ. මේ මාතෘකාවට ලබාදී ඇති වැදගත්කම කෙසේ වෙතත්, ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය අසමත් වූවක් බවට පොදු පිළිගැනීමක් ඇත. මීට ප්‍රධානම හේතු වශයෙන් දැක්වෙන්නේ දෙවැනි භාෂාවක් වශයෙන් ඉංග්‍රීසි ඉගැන්වීම පිළිබඳ නියමිත පුහුණුව ලැබූ ගුරුවරුන් නොමැති වීම හා සිසුන්ගේ පාර්ශ්වයෙන් උනන්දුව සහ ආකල්ප වල මඳ බවක් තිබීමය. මෙවැනි සන්දර්භයක් තුළ, මෑතදී මෙම තීරුවට සෙල්වරාජ් විශ්විකා විසින් ලියන ලද ලිපිය තුළින් ප්‍රශ්නයේ ඉතා වැදගත් මානයන් කිහිපයක් පෙන්වා දෙයි.
විශ්විකාගේ ප්‍රධානම තර්කය වන්නේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේදී වැදගත් වන්නේ සිසුන්ට තමාගේම හඬක් ලබාගැනීමටත්, එමඟින් ලැබෙන සවිබල ගැන්වීම තුළින් සාධනීය ලෙස ආත්ම ප්‍රකාශනයේ නියැලීමටත් හැකියාව ලබාදීම බවයි. එහෙත් ‘ප්‍රශස්ත භාවිතයන්’ ලෙස හඳුනාගත් ක්ෂේත්‍රයේ පවතින යම් යම් මිණුම් දඬු නිසා මෙම අරමුණ සාධනය කරගැනීම දුෂ්කර වී ඇති බව ඇය පෙන්වා දෙයි. මෙය ඉතා වැදගත් තර්කයකි.
අධ්‍යාපනය ගැන කතා කිරීමේදී අප බොහෝවිට චිත්‍රණය කරගන්නේ පන්ති කාමර සන්දර්භයකි. එමෙන්ම ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථක වීමට අවශ්‍ය සාධක මූලික වශයෙන් පවතින්නේද පන්ති කාමරය තුළ බව අපි බොහෝවිට උපකල්පනය කරන්නෙමු. සම්පත් සහ පුහුණු ගුරුවරුන්ගේ හිඟතාව වැනි බාහිර කරුණු වල බලපෑම පන්ති කාමරය තුළ ක්‍රියාකාරකම් වලට බලපාන අන්දම පිළිබඳව අපි කතා කළත්, සාමාන්‍යයෙන් පවතින මතය වන්නේ සුදුසුකම් සහිත පුහුණු ගුරුවරයෙක්, උනන්දුව සහිත සිසුන් පිරිසක් සහ හොඳ පෙලපොතක් තිබේ නම් ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථක වීම සඳහා එය අඩුවැඩි වශයෙන් ප්‍රමාණවත් බවයි. නමුත් ලංකාවේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ සන්දර්භය තුළ මෙම උපකල්පනය දෝෂ සහගත එකකි.
සිසුන් අනාගතයේ ගතකරන ජීවිතය කුමන ආකාරයේ එකක් වනු ඇතිද යන්නට බලපෑම් කරන වැදගත්ම සාධකයක් වන්නේ ඉංග්‍රීසි බව අප හොඳින් දන්නා කරුණකි. පාසල් මට්ටමේදී ඉංග්‍රීසි උගෙනීම පිළිබඳ තේරීමක් කිරීමේ අවස්ථාවක් නැත. විශ්ව විද්‍යාලය තුළද උපාධි පාඨමාලා වල විවිධ තල වලට එළඹෙන තෙක් එය අනිවාර්ය විෂයයක් වේ. ඉංග්‍රීසි අනිවාර්ය නොවන පාඨමාලා වල වුවද එහි වැදගත්කම සිසුන්ට දිගටම දැනේ; මන්ද, බොහෝ වැඩසටහන් වල ඉංග්‍රීසි තවමත් ප්‍රධාන මාධ්‍යය වන බැවින් සහ සිය ක්ෂේත්‍රයේ දැනුම මූලික වශයෙන්ම පවතින්නේ ඉංග්‍රීසියෙන් බව ඔවුන් වටහා ගන්නා හෙයිනි. එමෙන්ම රැකියා ලෝකය තුළ ඉංග්‍රීසි නොමැති වුවහොත් සිය විකල්ප සීමා වන බවද සිසුන් දනී.
මීට පෙර බොහෝ දෙනෙකුද පෙන්වා දී ඇති පරිදි, ඉංග්‍රීසි දේශපාලනික හා දෘෂ්ටිවාදාත්මක වශයෙන් ඉතා සංවේදී මාතෘකාවකි. බ්‍රිතාන්‍ය යටත්විජිතකරණයෙන් සියවස් තුන් කාලක් ගතවූ පසු වුවද යටත්විජිත යථාර්ථයන් තවමත් අපේ ජීවිත හැඩගස්වන බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. පශ්චාත් යටත්විජිත ඉතිහාසයේ මතුවූ ආතතීන් විසින් මේ තත්වය තවත් සංකීර්ණ කොට ඇත. ඇත්තෙන්ම එම සංකීර්ණතා වලින් බොහොමයක් ඉංග්‍රීසි අරබයා හටගත්, එමෙන්ම ඉංග්‍රීසි තුළින් ප්‍රකට වන ඒවාය. බොහෝදෙනෙකුට ඉංග්‍රීසි යනු බිය සහ බලාපොරොත්තුව අතර ඇති ආතතියෙහි පිළිබිඹුවකි. ඉංග්‍රීසි යනු එක්තරා සමාජ පන්තියකට අයත් දේපළකි යන හැඟීම සාර්ථකව සමාජගත කොට ඇති නිසා, එම භාෂාව ඉගෙන ගැනීමට කෙනෙකු ප්‍රයත්නයක් දැරීමෙන්ද සමහරවිටෙක වැළකිය හැකිය. එකී සමාජ පන්තියට කෙනෙකුගේ ඇති දුර මත පදනම්ව, ඉංග්‍රීසි භාෂාවට ඔවුන්ගේ බිය සහ ප්‍රතිරෝධය වැඩිවේ. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ ඉංග්‍රීසි කතා කිරීමේදී සිදුවන වැරදි පිළිබඳව අප බොහෝදෙනෙකු ඉතා දැඩි ලෙස සවිඥානික වීමත්, වැරැද්දක් සිදුවූ විගස එම භාෂාව කතා කිරීමේ අයිතිය නැතිවීමේ විඥානයක් අප තුළ පහළ වීමත්ය. ඒත් සමඟම, ඉංග්‍රීසි යනු වඩා හොඳ ජීවිතයකට තමාට ඇති ප්‍රවේශ පත්‍රය බවද අප බහුතරයක් අතර මතයක් පවතී.
ඉංග්‍රීසි අරබයා ඇති මෙම ආතතීන් නිසා එම භාෂාව අළුතෙන් ඉගෙන ගන්නකු ඇත්තෙන්ම වචන කිහිපයක් කතා කිරීමට ඉගෙන ගැනීමද දැවැන්ත ජයග්‍රහණයකි. වචනයක් හෝ වචන මාලාවක් ප්‍රකාශ කිරීමේදී එය ගලා යන්නේ ශ්වාසනාලය, ස්වරාලය, මුඛය සහ නාස් කුහරය ඔස්සේ පමණක් නොවේ; අඩු වශයෙන් සියවස් දෙකක පීඩනය සහ ඒ ආශ්‍රිත සංස්කෘතික හා සමාජමය බාධක අරබයා වූ නේකවිධ ස්ථර ඔස්සේද එය ගලා යයි. මහෝශධ මහා පඬිවරයා ඉපදෙන විට අමිල මැණිකක් සිය අත්ලෙහි තබාගෙන ඉපදුනාක් මෙන්, ඉංග්‍රීසි භාෂාව අල්ලේ තබාගෙන ඉපදී ඉතා ව්‍යක්ත ලෙස ශේක්ස්පියර්ගේ කවිපද එම විචක්ෂණ භාවයෙන්ම කියන්නකුට වැඩි ජයග්‍රහණයක්, එසේ නොවන්නකු එම භාෂාව කතා කරන විට ලබන බව වුවද ඇත්තෙන්ම එම නිසා තර්ක කළ හැකිය.
විශ්විකා පෙන්වා දෙන පරිදි භාෂාව යනු ආත්ම ප්‍රකාශනයේ මාදිලියක් නම් සහ භාෂා ඉගැන්වීම් ක්‍රියාවලියේ අරමුණ සිසුන්ට තමුන්ගේම හඬක් සොයාගැනීමේ ඉඩ විවර කරදීම නම්, භාෂාව තමන්ට අවශ්‍ය පරිදි නිදහසේ භාවිතා කිරීමේ හැකියාව සිසුන්ට ලබාදීමට හැකි සෑම උත්සාහයක්ම ගතයුතුය. තමා ජීවත් වන සන්දර්භයට ආධුනික භාෂා රීතීන් ගණනාවකට යටත්ව මේ කාර්යය කිරීමට උත්සහ දැරීම ඵල රහිත බව අමුතුවෙන් පැවසිය යුතු නොහේ. එසේ නම් මේ සඳහා සුදුසු වන්නේ කුමනාකාරයේ ක්‍රියාමාර්ගද?
මා දකිනා හැටියට හොඳම ක්‍රමය නම් ඉංග්‍රීසි ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියට සැහැල්ලු, ඉහිල් ප්‍රවේශයක් ගැනීමයි. මේ සඳහා අත්‍යාවශ්‍ය ඇරඹුම් ලක්ෂ්‍යය වන්නේ මුහුදු හතක් එහා පවතින ආකාරයේ ඉංග්‍රීසි කතා කිරීම අපේක්ෂා නොකොට, අපේ එදිනෙදා යථාර්ථයන්ට සමීප, ඒවා නියෝජනය වන ආකාරයේ ඉංග්‍රීසි මාදිලියකින් කතා කිරීම ඇරඹීමයි. එය කුමනාකාරයේ ඉංග්‍රීසි භාෂාවක් වනු ඇතිද යන්න සංකල්පගත කළහැකි රාමුවක් ‘ඉංග්‍රීසි භාෂාවේ නව ප්‍රභේද’ (New Varieties of English) යන මැයින් වත්මනේ ඇතිවන සංවාදය තුළද, ‘ශ්‍රී ලාංකේය ඉංග්‍රීසි’ වශයෙන් මෑතක සිට කරලියට පැමිණ ඇති ප්‍රභේදය තුළද හඳුනාගත හැකිය. එම කතිකාවේ මූලිකාංග පිළිබඳ දැනුවත් වීම සඳහා යම් කාලයක් ගතයුතුය.
‘ශ්‍රී ලාංකේය ඉංග්‍රීසි’ වල චමත්කාරයෙහි කොටසක් නම් ඊට නිර්වචනයක් නොමැති වීමයි. එය කුමක්ද යන්නත්, එහි කඩඉම් කොහිද යන්නත් පිළිබඳව පොදු එකඟතාවයක් නොමැත. මෙහි වාසිය ඇත්තේ භාවිත කරන්නන්ට එමඟින් වඩා වැඩි නිදහසක් ලබාදීම තුළය. නිශ්චිත නිර්වචනයක් හා කඩඉම් නොමැති බව ගැටළුවක් ලෙස පෙනෙන්නේ දැනුම යනු එම ලක්ෂණ දෙක දැරිය යුතු දෙයකි යන අදහස අප අන්තරීකරණය කොට ඇති නිසාය. ශ්‍රී ලාංකේය ඉංග්‍රීසි යනු තවමත් සම්පූර්ණ නොවූ දෙයකි; එය එලෙස දැකීමේ ධෛර්යය අප වඩවා ගත යුතුය. එය අනිවාර්යයෙන්ම ව්‍යාකූල අවුල් ජාලයකි. නමුත් එහි වාසිය නම් පවතින පද්ධතිය වැඩකරන්නේ කෙසේද යන්නත්, විකල්ප පද්ධතියක ලක්ෂණ මොනවාද යන්නත් පිළිබඳ හඳුනා ගැනීමට අපට ඉන් ඉඩ ලැබීමය. තමන් ඇත්තෙන්ම භාෂාව නිර්මාණය කරන්නන් බව සිසුන් හඳුනාගැනීම ඉතා වැදගත් වේ. එමෙන්ම තමා සිසුන් පුහුණු කරන්නේ නිතර වෙනස් වන, ඉතා ගතික දැනුමක් හැසිරවීමට විනා, අප ජීවත් වන සන්දර්භයට කිසිදු අදාළත්වයක් නොමැති ප්‍රමිතීන් පවත්වා ගැනීමට නොවන බව ගුරුවරුන් වටහා ගැනීම ඊටත් වඩා වැදගත්ය. සිසුන්ට ඉංග්‍රීසි භාෂාව සමඟ අත්හදා බැලීම් කළහැකි ආකාරයේ නිදහස් අවකාශයක් නිර්මාණය වන්නේ එවිට වන අතර, ඔවුන් තමාගේම හඬක් සොයාගන්නේද එවිටය.