ස්නායුක බහුවිධතාවඅන්තර්ග්‍රහනීය අධ්‍යාපනය සහ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල තත්ත්ව සහතිකකරණය 

සුදේශ් මන්තිලක

මෙම ලිපියෙන් අරමුණු කරන්නේ ස්නායුක බහුවිධතාව (neurodiversity) ආරම්භක ලක්ෂ්‍යයක් ලෙස ගෙන අපේ අධ්‍යාපන පද්ධතිය සියල්ලන් සඳහා වූ එකක් බවට කෙසේ පත් කරන්නේද යන්න පිළිබඳ සිතා බැලීමයි. මේ සඳහා ස්නායුක බහුවිධතාව යනු කුමක්ද යන්න නිර්වචනය කිරීම, ඔටිසම් (autism) තත්ත්වයේ විවිධ ප්‍රභේද අඩංගු පරාසය හඳුනා ගැනීම, සියල්ලන් සඳහා වූ අන්තර්ග්‍රහනීය අධ්‍යාපනයක් හඳුන්වා දීමෙහිලා ලංකාවේ පවතින අභියෝග මොනවාද යන්න සාකච්ඡා කිරීම මෙහිදී සිදු කෙරේ. මෙවැනි අභියෝග ජය ගත හැකි මාර්ගයක් ලෙස පෙන්වා දී ඇති විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලියෙහි දුර්වලතා විභාග කිරීමත් මෙහිදී අපේක්ෂා කෙරේ.     

‘සංස්කෘතික බහුවිධතාව’ සහ ‘ජෛව විවිධත්වය’ වැනි යෙදුම් ලංකාවේ අපට හුරුපුරුදුය. නමුත් ස්නායුක බහුවිධතාව අපට එතරම් පුරුදු යෙදුමක් නොවේ. පොදු උත්සවවල “අපි සංස්කෘතික බහුවිධතාව සමරනවා” යැයි කියන විට, අප ජීවත්වන සමාජය බහුසංස්කෘතික එකක් බව අපි පිළිගන්නෙමු. සංස්කෘතික බහුවිධතාවෙන් සංස්කෘතීන් ගණනාවක එකට පැවැතීම හැඟවෙන්නාක් මෙන්ම, ස්නායුක බහුවිධතාවෙන් අපි එකිනෙකාගේ මොළයන්හි ස්නායු  විවිධාකාර ලෙස සම්බන්ධවී ඇති බවත්, විවිධාකාර ලෙස ක්‍රියාත්මක වන බවත් පිළිගැනේ. ඒ අනුව අප ලෝකය අත්දකින අයුරු සහ ඒ සමඟ ගනුදෙනු කරන අයුරු වෙනස් වේ. නිදසුනක් ලෙස, යමකු ද්විත්ව අර්ථ (double meaning) සහිත විහිළුවක් කළ විට සමහරු එය වටහා ගන්නේ වචනාර්ථයෙනි. එවැනි අයගේ ස්නායු පද්ධතිය සැකසී ඇත්තේ වෙනස් ආකාරයකිනි. මෙයට උදාහරණයකි එලිසබත් වික්ලන්ඩර්. ඔටිසම් තත්ත්වයේ සිටින අයෙකු ලෙස තමා හඳුන්වා ගන්නා ඈ, ස්නායුක බහුවිධතාව පිළිබඳ කතිකාව ප්‍රවර්ධනය කරන්නියක මෙන්ම සම්මානිත චෙලෝ වාදන ශිල්පිනියකි. TED Talk වැඩසටහනකදී ඇය වරක් පැවසුවේ ව්‍යංගයෙන් කරන හැඟවුම්, ද්විත්ව අර්ථ සහිත විහිළු වැනි දේ ඇයට සම්පූර්ණයෙන්ම මඟ හැරෙන බවයි. ඇගේ සිතුම් පැතුම්, භාවමය අත්දැකීම් සහ ඇය තොරතුරු සමග ගනුදෙනු කරන ආකාරය යන සියල්ලක්ම ඔටිසම් තත්ත්වයෙන් බලපෑමට ලක්වන බව ඈ එහිදී කියා සිටියාය.     

එහෙත් බොහෝ දෙනෙකු ලෝකය අත්දකින ආකාරය අධිපති ආකාරය බවට පත්ව තිබේ. එවැනි පුද්ගලයින්ගේ සිතුම් පැතුම් සාමාන්‍යයෙන් අධිපති සංස්කෘතිය හා ගැළපෙන ඒවාය. මෙම අත්දැකීම ‘සාමාන්‍ය අත්දැකීම’ ලෙස සැළකීම නිසා වෙනස් ආකාරයක අත්දැකීම් සහිත පිරිසට විශාල අභියෝගවලට මුහුණ දීමට සිදුවේ. 1990 දශකයේ පටන් ‘ස්නායුක බහුවිධතාව’ පිළිබඳ කතිකාව, ‘ස්නායුක වශයෙන් සුළුතර කණ්ඩායම්වල’ (neurological minorities) මානව හිමිකම් සහ සමාජ සාධාරණත්වය අරබයා ව්‍යාපාරයක් ලෙස කරළියට එන්නේ මෙවැනි පසුබිමක් තුළය.     

ඔටිසම් සහ ලංකාවේ අධ්‍යාපනය 

ස්නායුක බහුවිධතාව යන්නෙන් සියලුම විකල්ප ආකාර ස්නායු සැකැස්මවල් සහිත පිරිස් අදහස් කෙරුනත්, එය බොහෝවිට වටහා ගැනෙන්නේ ඔටිසම් තත්ත්වය හා ඒ ආශ්‍රිත ඉගෙනුම් ආබාධවලට (autism spectrum disorder – ASD) අදාළවය. 2017 වර්ෂයේ ලංකාව තුළ ASD රෝගය සහිත පුද්ගලයින් සමස්ත ජනගහණයෙන් 1.07% ක් විය. අප මේ පිළිබඳ දැන සිටියත් නැතත්, අපේ පවුලේ සහ හිතමිත්‍රාදීන් අතර මෙම ඔටිසම් තත්ත්වය සහිත පිරිස් සිටිය හැකිය. 

‘ලංකාවේ ඔටිසම් තත්ත්වය: දැනුවත්භාවය හා පිළිගැනීම’ යන මැයෙන් ඩෙනිස් මොම්බාර් විසින් මෑතදී පළ කරන්නට යෙදුනු ලිපියක ඔහු කියා සිටින්නේ “දහස් ගණන් පිරිස් ඔටිසම් රෝගයෙන් පෙළෙන බවත්, ඔවුන්ව ඒ ආකාරයෙන්ම අප පිළිගත යුතු බවත්ය. අදාළ පුද්ගලයින්ගේ දෙමව්පියන්, වෛද්‍යවරුන් හා ගුරුවරුන් පමණක් නොව, සමස්ත සමාජයම ඔවුන් සමාජ ක්‍රමයට අනුකලනය කරගැනීමට උත්සුක විය යුතුය. ඔවුන්ගේ හඬට සවන් දීම, ඔවුන්ගේ අත්දැකීම් තේරුම් ගැනීම සහ අනෙක් අය සමඟ සිය ජීවිතය ගත කිරීමට අවශ්‍ය පරිසරය ඔවුන්ට නිර්මාණය කර දීම අප සියලු දෙනාගේ වගකීමක්” බව ඔහු පෙන්වා දෙයි. කැළණිය විශ්වවිද්‍යාලයේ ආබාධිතත්ත්ව අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක වන නිමිශා මුත්තයියා පල කළ ලිපියකින්ද දක්වන්නේ  ASD තත්වය සහිත තරුණයින්ට අප සමාජය තුළ සිය අධ්‍යාපනය අවහිර වීම ඇතුළු බොහෝ අභියෝගවලට මුහුණ දීමට සිදුවන බවයි. අධ්‍යාපන අමාත්‍යාංශයට අනුව මෙම ගැටළුවට සාර්ථකව මුහුණ දීමෙහිලා පවතින ප්‍රධානම අභියෝගයක් වන්නේ පුහුණු ගුරුවරුන්ගේ හිඟකමයි.

පිළිතුර තත්ත්ව සහතිකකරණය ද?

විවිධාකාර සිසුන්ගේ විවිධාකාර අවශ්‍යතාවලට පිළිතුරු දියහැකි එක් ක්‍රමයකි ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සියලු දෙනාම සඳහා වූ අන්තර්ග්‍රහනීය අධ්‍යාපනයක් (inclusive education) බවට පත් කිරීම. UNICEF ආයතනයට අනුව ‘අන්තර්ග්‍රහනීය අධ්‍යාපනයක්’ යන්නෙහි අර්ථය සියලුම ආකාරයේ සිසුන් පිළිගන්නා, ඔවුන්ගේ විවිධාකාර වූ ඉගෙනුම් අවශ්‍යතාවලට සහය දෙන අධ්‍යාපන ක්‍රමයකි. අපගේ වත්මන් අධ්‍යාපන ක්‍රමය සියලු දෙනා සඳහා වූ එකක් නොවන්නේ ඇයි? මේ ප්‍රශ්නයට විවිධ අයට විවිධ පිළිතුරු තිබිය හැකිය. ස්නායුක බහුවිධතාව වැනි තත්ත්ව පිළිබඳ අවබෝධයක් නොවීමද ඉන් එකක් විය හැකියි. ඒත් සමඟම ප්‍රතිපත්ති මට්ටම තුළ මෙවැනි කාරණා සම්බන්ධයෙන් සංවේදී භාවයක්, අවංක උනන්දුවක් සහ දේශපාලනික කැපවීමක් නැති බවද අප පිළිගත යුතුය. අනුක්‍රමික ආණ්ඩු, අමාත්‍යවරු, පරිපාලකයින්, මහාචාර්යවරු, කථිකාචාර්යවරු, ගුරුවරු, සහ ශිෂ්‍යයින් විසින් අධිපති ඉගෙනුම් රටා සාමාන්‍යකරණය කොට, සමරා තිබේ.   

අපගේ විශ්වවිද්‍යාලවල තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලිය තුළින් ජාත්‍යන්තර ප්‍රමිතීන්වලට අනුව ලංකාවේ උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රමිතිය සහතික කිරීම අරමුණු කරයි. මෙය බැලූ බැල්මට ප්‍රගතිශීලී දෙයක් ලෙස පෙනුනද, මෙවැනි ක්‍රියාවලි තුළින් මෙතෙක් සාකච්ඡා කරන ලද ස්නායුක බහුවිධතාව වැනි තත්වයන් පිළිබඳ සැළකිලිමත් වන්නේද යන්න ගැටළුවකි. තත්ත්ව සහතිකකරණ අත්පොත්වල විශේෂ අවශ්‍යතා සහිත සිසුන් පිළිබඳ නිර්ණායක ඕනෑ තරම් තිබුණද, විශ්වවිද්‍යාල හෝ පීඨ මට්ටමින් ලේඛනවල ප්‍රතිපත්ති සටහන් කිරීම විනා වෙන යමක් ඒ සම්බන්ධයෙන් නොකෙරේ. උසස් අධ්‍යාපනය සඳහා වෙන්කෙරෙන මුදල් ප්‍රමාණය එන්න එන්නම අඩුකෙරෙන මෙවැනි මොහොතක මෙවැනි ආකාරයේ අන්තර්ග්‍රහනීය අධ්‍යාපනයකට අවශ්‍ය ප්‍රතිපාදන රජය විසින් ලබාදේ යැයි සිතිය නොහැක. අහිලන් කදිර්ගාමර් සිය මෑත කුප්පි ලිපියේ (21.11.2023) විස්තර කළේ, විශ්වවිද්‍යාල සඳහා රාජ්‍ය ප්‍රතිපාදන දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.25% දක්වා පහත වැටී ඇති බවයි. එවැනි තත්වයක් තුළ, අපි යටිතල පහසුකම් සංවර්ධනය කරන්නේ කෙසේද සහ අන්තර්ග්‍රහනීය අධ්‍යාපනයක් සඳහා පුහුණු කාර්ය මණ්ඩලයක් බඳවා ගන්නේ කෙසේද? තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලිය අන්තර්ග්‍රහනීය අධ්‍යාපනයක් සඳහා අරමුදල් සහතික කළ යුතුය.

සැබෑ උනන්දුවක්, ක්‍රියාවක් සහ විවිධත්වය සඳහා කැපවීමක් නොමැති තැන, ප්‍රතිපත්ති ලේඛන යනු හුදෙක් සැරසිලි පමණි. ස්නායුක බහුවිධතාවට ගරු කරමින්, විවිධාකාරයෙන් මොළය ක්‍රියාත්මකවන දරුවන් අපගේ අධ්‍යාපන ක්‍රමය තුළට ගන්නේ කවදාද? අවාසනාවකට, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල පරිපාලනය විසින් සංස්කෘතික බහුවිධතාව සුරැකීම සඳහා යොමුකරන්නේත් ඉතා අඩු අවධානයකි. රටේ භාෂා ප්‍රතිපත්තිය පවා බොහෝවිට ඔවුන් අතින් උල්ලංඝණය වේ. තත්ත්වය මෙසේ නම් ස්නායුක බහුවිධතාව වැනි එතරම් ප්‍රචලිත නොමැති තත්වයන් පිළිබඳ කුමන කතාද? 2023 ඔක්තෝබර් මාසයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන කාර්යාංශය විසින් නිකුත් කරන ලද නිල ලිපියක් ලියා තිබුනේ සිංහල භාෂාවෙන් පමණි. මා ඉගැන්වීම් කටයුතු කරන පේරාදෙණිය ශාස්ත්‍ර පීඨයේ සිංහල කතා නොකරන ගුරුවරු බොහෝ පිරිසක් මේ පිළිබඳ ප්‍රශ්න නැඟුවෝය. දමිළ පරිවර්තනයක් නොමැතිව ඔවුන් එම ලිපිය අවබෝධ කරගන්නේ කෙසේදැයි ඔවුහු ප්‍රශ්න කළහ. ලංකාවේ ව්‍යවස්ථාවට අනුව සිංහල හා දමිළ ද්විත්වයම ජාතික හා නිල භාෂා වේ. නිල සන්නිවේදන කටයුතුවල මුල් පිටපත සිංහල නම් එහි දමිළ පරිවර්තනයක්ද ඇති බවට පරිපාලකයින් වගබලා ගත යුතුය. සමහර විට උතුරු-නැගෙනහිර විශ්වවිද්‍යාලවලට මෙම දමිළ පරිවර්තන ලැබුණා විය හැකියි. නමුත් රටේ අනෙක් ප්‍රදේශවල පවතින විශ්වවිද්‍යාලයන්හි සේවය කරන, දමිළ භාෂාවෙන් වැඩකරන කාර්ය මණ්ඩලයේ තත්වය කුමක්ද? අවාසනාවකට මෙන්, මෙවැනි ගැටළු ආමන්ත්‍රණය කිරීම සඳහා අවශ්‍ය අරමුදල් වෙන්කිරීම පිළිබඳ තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලිය උනන්දුවක් නොදක්වයි.

වර්තමාන තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලියෙන් ඉල්ලා සිටින්නේ ලේඛනගත සාක්ෂි ඉදිරිපත් කරන ලෙස මිස, උසස් අධ්‍යාපන කේෂ්ත්‍රයේ පවතින සැබෑ අභියෝගාත්මක තත්ත්වයන් වෙනස් කිරීමක් නොවේ. තත්ත්ව සහතිකකරණ අත්පොතේ 4.9 සහ 5.7 නිර්ණායක දෙකෙහිම කතා කරන්නේ විශේෂ අවශ්‍යතා සහිත සිසුන් පිළිබඳවය. මෙම නිර්ණායක සංතෘප්ත කළ බවට ලේඛනගත සාක්ෂි ඉදිරිපත් කොට A ශ්‍රේණියක් ලබාගන්නා අධ්‍යයනායතන ඇත. එහෙත් විශේෂ අවශ්‍යතා සහිත සිසුන් විවිධ අභියෝගවලට මුහුණ දෙන අතර, ආයතනය ලබාගත් A ශ්‍රේණියෙන් සැබෑ තත්ත්වය නියෝජනය නොවේ. 2023.10.10 වැනි දින එරන්දිකා ද සිල්වා කුප්පි කොලමට සැපයූ ලිපියෙන් අපගේ විශ්වවිද්‍යාලවල ආබාධ සහිත සිසුන් ඉගෙන ගන්නා දුක්ඛිත තත්ත්වයන් පෙන්වා දෙයි. මෙවැනි තත්වයක් තුළ වඩාත් අදෘශ්‍යමාන ආබාධයක් වන ඉගෙනුම් සංකීර්ණතා සහිත සිසුන් කුමනාකාරයේ අභියෝගවලට මුහුණ දෙන්නේදැයි අපට කිසිදු දැනුමක් නැත.  

ශ්‍රි ලංකාවේ විශ්වවිද්‍යාලවල තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලිය දකින විට මට සිහියට නැ‌ඟෙන්නේ ‘ලෙඩා මළත් බඩ සුද්දයි’ යන කියමනයි. තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලිය දිගටම ගෙනගියහොත් මෙම ඇගයීම් ක්‍රියාවලිය අවසානයේ අපට කියන්නට සිදුවන්නේද එයමය. අකර්මණ්‍ය හෝ මියැදුණු විශ්වවිද්‍යාලයකට ලැබෙන A ශ්‍රේණියේ අරුත කුමක්ද?  අපි අපගේ විශ්වවිද්‍යාල ආරක්ෂා කර ගත යුතු අතර, ඒවා තුළ ස්නායුක බහුවිධතාව වැනි තත්ත්වයන් පිළිගන්නා අන්තර්ග්‍රහනීය අධ්‍යාපනයක් අපි වර්ධනය කර ගත යුතුය.