වින්දිතයන්ට සහයෝගය දැක්වීම: නවක වදයට එරෙහි සටනේ නැතිවුණු පුරුක 

උදාරි අබේසිංහ

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මෑතදී පැවති සාකච්ඡාවක මාතෘකාව වූයේ නවක වදය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය 2025 වසරේදී ලබාදුන් තීන්දුවයි. එම තීන්දුවට අනුව නවක වදය වැළක්වීමට නම් සිදුවීමකින් පසු දඬුවම් ලබාදීමේ මාදිලියෙන් එහා ගොස් වින්දිතයන්ට සිය අත්දැකීම පිළිබඳ විවෘතව කතා කළහැකි හා සහයෝගය ලබාගත හැකි පරිසරයක් නිර්මාණය කිරීම අත්‍යාවශ්‍ය වේ. මෙම සාකච්ඡාවේදී නීතිය, විශ්ව විද්‍යාල පරිපාලනය, මනෝ විද්‍යාව හා සිසුන් යන එළඹුම් නියෝජනය කෙරුණු අතර, එහි අරමුණ වූයේ නෛතිකව තහනමට ලක්කොට තිබියදීත් නවක වදය දිගින් දිගටම පවතින්නේ ඇයිද යන්න තේරුම් ගැනීමයි. සාකච්ඡාවේදී මතුවූ ප්‍රධානම කරුණක් වූයේ මෙම ගැටළුව ආමන්ත්‍රණය කිරීම සඳහා නෛතික හා ආයතනික විසඳුම් අවශ්‍ය වුවත්, ඊටත් එහා ගිය, වින්දිතයින්ට සහයෝගය දැක්විය හැකි පද්ධතියක් අවශ්‍ය බවය.   

1998 අංක 20 දරණ අධ්‍යාපන ආයතන තුළ නවක වදය හා වෙනත් ආකාර ප්‍රචණ්ඩත්වයන් තහනමට ලක් කිරීමේ පනත හඳුන්වා දෙන්නේ 1990 දශකයේ සරසවි තුළ මේ අරබයා හටගත් බොහෝ ඛේදවාචක නිසාය. ඒ අතර වැඩිපුරම කතා කෙරෙන සිදුවීමක් වන්නේ 1997 වසරේ පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ S. වරප්‍රගාශ් සිසුවාගේ මරණයයි. රටම කම්පනයට පත්කළ මේ ආකාරයේ සිදුවීම් නිසා සරසවිය තුළ ප්‍රචණ්ඩකාරී ශිෂ්‍ය ධූරාවලි වල පැවැත්ම ප්‍රශ්න කිරීමට ලක්විය. 1998 පනත තුළින් නවක වදය සාපරාධී වරදක් බවට පත්කරන්නේ මෙවැනි පසුබිමක් තුළය. එමඟින් නියම කෙරෙන දඬුවම් අතර දඩ මුදල් අය කිරීම හා සිරගත කිරීම අඩංගු වේ.   

දශක තුනකට ආසන්න කාලයක් පුරා මේ නීතිය තිබුණත්, එය බලාත්මක වූ අවස්ථා ප්‍රමාණය අති විරලය. නවක වදය ආශ්‍රිත සිදුවීම් විශ්ව විද්‍යාල තුළ දිගින් දිගටම හට ගත්තද, ඒවා වාර්තා වන්නේ කලාතුරකිනි. වාර්තා වන සිදුවීම් අතරින් බහුතරයද විශ්ව විද්‍යාල අභ්‍යන්තරික පද්ධතීන් ඔස්සේ කළමනාකරණය කෙරෙන නිසා අධිකරණය වෙත කිසිවක් යොමු නොවන තරම්ය. එම නිසා පැහැදිලි වන එක කරුණක් නම් ප්‍රශ්නය පවතින්නේ මේ පිළිබඳ ඇති නෛතික ප්‍රතිපාදන වලට වඩා වින්දිතයන්ට සිය අත්දැකීම ගැන පැමිණිලි කිරීමේ හැකියාව වටා බවය.

ඛේදවාචක නැවත මතකයට නැංවීම: වරප්‍රගාශ් සහ පසිඳු හිරුෂාන්

පේරාදෙණිය සරසවියේ ප්‍රථම වසර සිසුවකු වූ වරප්‍රගාශ් මරණයට පත්වූයේ නවක වදයේ කොටසක් ලෙස ඔහුට කිරීමට සිදුවූ අසීමාන්තික ශාරීරික ව්‍යායාම හේතුවෙන් හටගත් අභ්‍යන්තරික තුවාල සහ වකුගඩු අක්‍රීය වීම හේතුවෙනි. 2022 වසරේදී එම සිදුවීමෙහි චූදිතයකුට ලබාදුන් පැහැරගෙන යාම සහ ඝාතනයට අදාළ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නැවත තහවුරු කරන ලදී. වරප්‍රගාශ් ගේ අත්දැකීම නිසා නවක වදයේ බිහිසුණු බව පමණක් නොව එවැනි සිදුවීමක වින්දිතයකුට යුක්තිය සඳහා කොතරම් දිග්ගැසුණු සහ වේදනාකාරී අරගලයක් කිරීමට සිදුවනවාද යන්නද හොඳින් පසක් විය. වින්දිතයකු සිය අත්දැකීම පිළිබඳ කතා කිරීමේදී වුවද සම්පූර්ණ විස්තරයම හෙළිදරවු නොකිරීමට ඉඩ තිබේ. වරප්‍රගාශ් ගේ නඩුවේදී ද සාක්ෂි දුන් ඔහුගේ පියා කියා සිටියේ නවක වදයේදී කිරීමට සිදුවූ ව්‍යායාම පිළිබඳ සිය පුත්‍රයා කතා කළත්, ලැජ්ජාව නිසා එහි සම්පූර්ණ තොරතුරු හෙළි නොකළ බවට හැඟීමක් තමාට පැවති බවයි.

වරප්‍රගාශ් ගේ මරණයෙන් දශක දෙකකට වැඩි කාලයක් ගත වුනත් නවක වදය දිගටම පවතී. 2025 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දීමට මූලික වන්නේ පසිඳු හිරුෂාන්ගේ සිද්ධියයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රථම වසර සිසුවකු වූ 21 හැවිරිදි පසිඳු, 2020 මාර්තු මාසයේදී ප්‍රථම වසර සිසුන් සඳහා වූ පිළිගැනීමේ සාදයට සහභාගීව සිටි අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් පහළට තල්ලු කොට එවන ලද ටයරයක් හිසේ වැදීමෙන් ලද බරපතල තුවාල නිසා මුලින් රෝහල්ගත කරන ලදී. යන්ත්‍ර වල සහයෙන් තොරව ජීවත් විය නොහැකි වූ ඔහු නැවත නිවාස බලා ගියේ මාස ගණනාවකට පසුවය. 1998 පනතෙන් දශක ගණනාවකට පසුවත් නවක වදය හා බැඳුනු ප්‍රචණ්ඩකාරී ක්‍රියා නැවැත්වීමට විශ්ව විද්‍යාල අසමත්ව ඇති බව මේ සිද්ධියෙන් පෙනී යයි. ඉහත සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කරළියට එන්නේ මෙවැනි පසුබිමක් තුළය. එහි මූලිකම යාන්ත්‍රණයක් වන්නේ විශ්ව විද්‍යාල තුළ වින්දිත සහයෝගිතා කමිටු (victim support committees) ස්ථාපනය කිරීමයි.   

වින්දිතයන්ට සහයෝගය අවශ්‍ය වන්නේ ඇයි?

විශ්ව විද්‍යාල තුළ දිගහැරෙන නවක වදයට මුහුණුවර කිහිපයක් තිබිය හැකිය: වාචික නින්දා කිරීම්, මානසික බිය වැද්දීම් සහ සමහර අවස්ථා වල ලිංගික හිංසන පවා ඒ අතර වේ. මේ සියළු ආකාර වල හිංසන පිළිබඳ කතා කිරීම ඉතා අභියෝගාත්මක වුවත්, ලිංගික හිංසනය සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීමට ඉදිරියට පැමිණීම සුවිශේෂයෙන් අභියෝගාත්මක විය හැකිය. දුර්වල ආයතනික යාන්ත්‍රණ, ප්‍රතිප්‍රහාර පිළිබඳ ඇති බිය, සිය අත්දැකීම බැරෑරුම්ව සළකාවිද යන්න සම්බන්ධයෙන් ඇති අවිනිශ්චිතතා වැනි හේතු නිසා වින්දිතයන් තුළ මෙවැනි පසුබෑමක් ඇතිවිය හැකිවේ. බොහෝවිට මෙවැනි වින්දිතයන්ට සිදුවන්නේ සිදුවීම පසෙක තබා සිය හැසිරීම ගැන එල්ල වන ප්‍රශ්න වලට උත්තර දීමටය: සංවාදය දිගටම පවත්වා ගත්තේ ඇයි? කියන ආකාරයට හිංසනය දිගින් දිගට ඇදී ගියේ නම්, අතරමඟදී ඉන් මිදීමට උත්සාහ නොකළේ ඇයි? එම පරිසරය තුළම දිගින් දිගට රැඳී සිටියේ ඇයි? වින්දිතයාගේ හැසිරීම විසින් අනෙක් පාර්ශ්වය යම් ආකාර පෙළඹවීමකට ලක් කළා විය නොහැකිද? මෙවැනි ප්‍රශ්න මතුවීමේ ප්‍රවණතාවයක් පවතින විට නිහඬව සිටීම වඩා ආරක්ෂාකාරී බව වින්දිතයෙකුට හැඟී යා හැකිය. මඟ පෙන්වීම, ආරක්ෂාව හා සහයෝගය සැපයිය හැකි විශ්වසනීය ආයතනයක පැවැත්ම ඉතා වැදගත් වන්නේ මෙවැනි අවස්ථා වලදීය. යෝජිත වින්දිත සහයෝගිතා කමිටු ඵලදායී වීම එම නිසා අත්‍යාවශ්‍ය වේ.  

වින්දිත සහයෝගිතා කමිටු වල කාර්ය භාරය 

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද බලාපොරොත්තු වන පරිදි වින්දිත සහයෝගිතා කමිටු වල මූලිකම කාර්ය භාරය වන්නේ නවක වද වින්දිතයින්ගේ ආරක්ෂාව සහ ගෞරවය සුරකින විශ්වසනීය ආයතනික යාන්ත්‍රණයක් ලෙස කටයුතු කිරීමය. ප්‍රතිප්‍රහාර පිළිබඳ බියෙන් තොරව වින්දිතයන්ට නවක වදය සම්බන්ධ සිද්ධීන් වාර්තා කිරීමේ හැකියාව ඒ අතර මූලික තැනක් ගනී. පැමිණිලි ඉදිරිපත් කිරීමේ විවිධ මාදිලි/විකල්ප පිළිබඳ පැමිණිලිකරු දැනුවත් කිරීම හා පැමිණිලිකරු මතු හිංසන වලින් ආරක්ෂා කිරීමද මෙම කමිටුවේ වගකීමකි. නවක වදයේ මානසික බලපෑම සළකා බලා වින්දිතයින් අනුශාසක සේවා වෙත යොමු කිරීම, සිද්ධිය ලේඛනගත කිරීම, ප්‍රකාශ සටහන් කරගැනීම, විනය හෝ නෛතික ක්‍රියාමාර්ග සඳහා වැදගත් වියහැකි සාක්ෂි සංරක්ෂණය කිරීම වැනි ප්‍රායෝගික කාර්යයන් රැසක්ද කමිටුවේ වගකීම් යටතට ගැනේ. විශ්ව විද්‍යාල අධිකාරිය හා ගනුදෙනු කිරීමේදී පැමිණිලි ඉක්මණින් හා වගකීමෙන් යුතුව විභාග වන බවට කමිටුව වගබලා ගතයුතුවාක් මෙන්ම, නවක වදය වැළක්වීමේ ලා දනුවත්කරණ වැඩසටහන් ද විශ්ව විද්‍යාලය තුළ පැවැත්විය යුතුය. මෙවැනි සහයෝගයකින් තොරව නවක වදයේ වින්දිතයින්ට යුක්තිය ළඟා කරගැනීම ඉතා අසීරු විය හැක්කේ ඔවුන් එහි මානසික බලපෑමෙන්ද පීඩා විඳින බැවිනි.

වින්දිත සහයෝගිතා කමිටු ඵලදායී ඒවා බවට පත්කිරීම 

ශ්‍රේෂ්ඨාධිකරණයට අනුව මෙම කමිටු වල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල දෙකේම සාමාජිකයින්, සුදුසුකම් ලත් මනෝ වෛද්‍ය උපදේශකයෙක් හෝ මනෝ විද්‍යාඥයෙක්, නීතිය, සෞඛ්‍යය හෝ සමාජ සේවා යන ක්ෂේත්‍ර වලින් එකක පළපුරුද්ද සහිත ආයතනයට පරිබාහිර පුද්ගලයෙක් සහ විශිෂ්ඨ අධ්‍යයන හා විනය පසුබිමක් සහිත අවසන් වසර සිසුන් තුනකට නොවැඩි ප්‍රමාණයක් සිටිය යුතුය. එමෙන්ම මේ පිරිස ශිෂ්‍ය සුබසාධනය, මනෝ විද්‍යාව, ස්ත්‍රී-පුරුෂ සමාජ භාවීය කරුණු සම්බන්ධ අධ්‍යයන කටයුතු, මානව හිමිකම් සහ නීතිය බලාත්මක කිරීම වැනි ක්ෂේත්‍ර වලට අවංකව කැප වූ පිරිසක් විය යුතු වේ. මෙම සුදුසුකම් වලට අවධානය යොමු නොකළහොත් මෙම කමිටුවද හුදු සංකේතාත්මක එකක් බවට පත් වීම නොවැළක්විය හැකිවනු ඇත. 

එසේම මෙම තනතුරු වලට පිරිස් පත් කිරීමේදී විනිවිද භාවය රැකගැනීම තුළින් කමිටුවේ විශ්වසනීයත්වය ඉහළ යනු ඇත. සුදුසුකම් සහිත පිරිස් වලට මෙම තනතුරු වලට අයදුම් කිරීමට ආරාධනා කිරීම මේ අරමුණ ඉටු කරගැනීමේ එක් ක්‍රමයකි. එතුළින් අදාළ තනතුරු දරන්නේ ඒ සම්බන්ධ උනන්දුව හා ප්‍රවීණත්වය ඇති පිරිස් බවට තහවුරු කිරීම කළහැකි වේ.

විශ්ව විද්‍යාල මට්ටමින් ක්‍රියාත්මක වන මේ කමිටු වලට පිරිස් පත් කිරීම සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට බලය ලබා දී තිබීමද සාධනීය පියවරකි. කොමිෂන් සභාව අවංකව මේ බලය භාවිතා කරන්නේ නම්, අදාළ කමිටු වල ස්වාධීනත්වය ඉහළ යනු ඇත. අභ්‍යන්තරික පරිපාලනයේ රුචි අරුචිකම් මත සුදුසුකම් ලත් පිරිස් මෙම ක්‍රියාවලියෙන් අතහැරී යාම ඒ තුළින් මඟ හරවා ගත හැකිය. අවසානයේදී මෙවැනි ක්‍රියාමාර්ග වල ඵලදායීත්වය තීරණය වන්නේ නිල වශයෙන් ගන්නා පියවර මඟින් නොව, එම පියවර කොතරම් අව්‍යාජ මානසිකත්වයකින් ගන්නවාද යන්න මතය. නීති වලට නවක වදය තහනම් කළහැකි වුවත්, එහි වින්දිතයින්ට ආරක්ෂිතව කතාකළ හැකි වාතාවරණයක් නිර්මාණය කිරීම කළ නොහැකිය. එම වගකීම ආයතන විසින් දැරිය යුතු එකකි. වින්දිතයින්ට සවන් දෙන, ඔවුන්ට සහයෝගය දෙන, ඔවුන්ගේ අත්දැකීම් බැරෑරුම්ව සළකන පරිසරයක් නිර්මාණය කළවිට පමණි විශ්ව විද්‍යාල ගෞරවය හා ඉගෙනීම එකවිට පවතින අවකාශ බවට පත්වන්නේ.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *