ශාමලා කුමාර්
මේ ලිපිය රට පුරා සරසවි වල ඉගෙන ගන්නා සිසුන්ගේ අදහස් මත පදනම්ව ලියූවකි. එම මත විමසුම ශාස්ත්‍රීය අධ්‍යයන දෙකක් සඳහා වූ අතර, ඉන් එකක් ශාස්ත්‍රීය නිදහස ද, අනෙක උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ද කේන්ද්‍ර කරගන්නා ලදී. මේ සාකච්ඡා වලදී මඟ හැරිය නොහැකි වූ දෙයක් වූයේ විශ්ව විද්‍යාල සිසුන් තුළ ඇති බියයි. සිසුන් සිය විශ්ව විද්‍යාල අධ්‍යාපනය කළමනාකරණය කරගන්නේ අනාගතය පිළිබඳ සැක සංකා මෙන්ම තමාත්, සිය විශ්ව විද්‍යාලයත් ප්‍රමිතියෙන් පහළ බවට වන බයත්, ඊට අමතරව සිය පවුලේ එදිනෙදා අරගල යන සියළු කරුණුත් සමඟය. අද ලිපියේ මගේ අරමුණ වන්නේ සිසුන්ගේ මේ කනස්සලු සහගත බවට මහජනතාව වශයෙන් අප හා උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති කොතරම් දුරට වගකිව යුතුද යන්න සාකච්ඡා කිරීමයි.
නවලිබරල් විශ්ව විද්‍යාලය
දැන් දශක ගණනාවක සිට විශ්ව විද්‍යාල පරිවර්තනය වෙමින් පවතී. ලෝක බැංකුව මඟින් ප්‍රවර්ධනය කරන නවලිබරල් ප්‍රතිපත්ති ඔස්සේ නිදහස් අධ්‍යාපනය සඳහා වැය අඩුකොට, මහජන ආයතන කෙරෙහි රාජ්‍යයේ කැපවීම සීමාකොට තිබේ. මේ ප්‍රතිපත්ති තුළින් තනි තනි පුද්ගලයන්ට සිය සාර්ථකත්වය හෝ අසාර්ථකත්වයේ වගකීම පටවන අතර, දරිද්‍රතාවය හා අඩමානත්වය (precarity) වැනි ව්‍යුහාත්මක කාරණා ඒ කෙරෙහි කරන බලපෑම අඩුවෙන් තක්සේරු කොට ඇත. ඒ හරහා අධ්‍යාපනය මෙවලමක් බවට පත්කොට, සිසුන් තරඟකාරී වෙළඳපොලක් සඳහා සූදානම් කරන ‘නිෂ්පාදන’ වල තත්වයට ඇද දමා තිබේ. අධ්‍යාපන වෙළඳපොලවල් වලින් කරන්නේද සිසුන්ට මේ සම්බන්ධව ඇති අනාරක්ෂිතතාවයන් වැඩි කිරීමයි. පන්ති පදනමක් මත සංවිධානය වී ඇති වාණිජ ක්ෂේත්‍රය (corporate sector) ට අවශ්‍ය යැයි කියන මෘදු කුසලතා (soft skills) සහ පෞද්ගලික අංශයේ තාක්ෂණය මෙහෙයවිය හැකි තාක්ෂණික කුසලතා තමාට නැති බව සිසුන්ගේ මනසට දැමීම තුළින් මේ අනාරක්ෂිතතාවයන් බොහෝ තීව්‍ර කොට ඇත.
සමහර ශිෂ්‍ය කණ්ඩායම් හා ගුරුවරුන් මීට ප්‍රතිරෝධය පාමින්, නිදහස් අධ්‍යාපනයට රජයේ කැපවීම වැඩිකරන ලෙස ඉල්ලා තිබේ. රජයන් සමහර අවස්ථා වල මේ ඉල්ලීම් වලට කන් දුන්නත්, ශිෂ්‍ය දේශපාලනයේ ප්‍රතිවිපාක ගැන ඔවුන්ගේ ඇති බිය නිසා එවැනි ක්‍රියාකාරකම් අපකීර්තියට පැමිණවීම සඳහා බොහෝ කලක සිට විවිධ පියවර ගෙන ඇත. සිසුන් අධ්‍යාපනය ලබන්නේ මෙවැනි පසුබිමකය.
සිසුන් චිත්‍රණය කර ඇති ආකාරය
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ එක් සිසුවකු පැවසූ පරිදි, විශ්ව විද්‍යාල සිසුන් ගැන පවතින සෘණාත්මක ආකල්ප නිසා සිසුන් යම් උත්සවයක් හෝ එවැනි ක්‍රියාකාරකමක් සංවිධානය කරන විටදී ඔවුන්ගෙන් ‘උසස් ප්‍රමිතීන්’ බලාපොරොත්තු වේ. අකෘතඥ, නාස්තිකාර, සේවා නියුක්තියට නුසුදුසු, අධ්‍යාපනය බූදලයක් ලෙස සළකන අපේ සිසුන් පිළිබඳ මැසිවිලි මමද අසා ඇත්තෙමි. ජනමාධ්‍ය සහ දශක ගණනාවක රජයේ ප්‍රචාරණ තුළින් මේ චිත්‍රණය කිරීම තව තවත් බල ගන්වා ඇත.
දැනට අවුරුදු 10 කට පමණ පෙර, අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ රජයේ වෑයම් දැඩිව පවතින අවස්ථාවක, ‘තවත් පලකට නැති ශිෂ්‍ය විරෝධතාවයක්’ හේතුවෙන් හටගත් රථවාහන තදබදයක් ගැන මැසිවිලි නැඟූ පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණි නිලධාරියකු එම විරෝධතාවය කුමන කරුණක් අරබයා පැවතියේද යන්නට පිළිතුරු දීමට අසමත් විය. ඒ පිළිබඳ තිබූ මාධ්‍ය ආවරණ වලද ඒ ගැන කතාකොට තිබුණේ එමඟින් එදිනෙදා ජන ජීවිතය කඩාකප්පල් කරන අයුරු පිළිබඳ මිස ඊට මූලික වූ හේතු පිළිබඳ නොවේ. නවලිබරල් අධ්‍යාපන ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කරන පුද්ගලයකුට අනුව “රාජ්‍ය විශ්ව විද්‍යාල සිසුන් සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙන් 10% ක ප්‍රමාණයකි”; මින් කීමට උත්සාහ කරන්නේ ඔවුන්ගේ අවශ්‍යතා නොවැදගත් බව නොවේද? පන්තිවාදී දර්ශනයන්, අධ්‍යාපනයට ඇති ප්‍රවේශය අවහිර කිරීම, අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම වැනි ඔවුන්ගේ ඉතා සාධාරණ ප්‍රශ්න ගැන කතා කිරීමට එම සිසුන්ට ඇති හැකියාව එමඟින් පොඩිකොට දමයි.
අහේතුකව සටනට යන, ‘පලකට නැති විශ්ව විද්‍යාල සිසුවා’ පිළිබඳ වැටහීම නිර්මාණය වන්නේ මෙවැනි පසුබිමකය. ශිෂ්‍ය දේශපාලනයේ යෙදුනත් නැතත්, රාජ්‍ය විශ්ව විද්‍යාල වල සියළු සිසුන් මේ ලේබලය දැරිය යුතුය.
‘හොඳ මදි’ ආඛ්‍යානය
නිදහස් අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබඳ නැඟෙන ප්‍රශ්න හා ඒ සම්බන්ධ ශිෂ්‍ය ගැටළු ආමන්ත්‍රණය වන ආකාරයේ ප්‍රතිසංස්කරණ ඉදිරිපත් නොවීම නිසා සිසුන්ගේ කණස්සල්ල වැඩි වී ඇත. යල්පැනගිය විද්‍යාගාර උපකරණ, මෘදුකාංග සහ විෂය නිර්දේශ නිසා තමා ලබන්නේ අදාළ සහ යාවත්කාලීන වූ අධ්‍යාපනයක්ද යන්න පිළිබඳ සිසුන්ට ගැටළු මතු වී තිබේ. ලෝකයේ අධ්‍යාපනයට අඩුම මුදලක් වෙන් කරන රටක් වන ලංකාවේ තත්වය තහවුරු කරමින් විශ්ව විද්‍යාල පරිපාලනයද මේ සීමාකම් පිළිගනී.
රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්බන්ධ ප්‍රබල රැඟුම්කරුවකු වන ලෝක බැංකුව මේ ගැටළුව පිළිබඳ කතා කරන්නේ කලාතුරකිනි. ඒ වෙනුවට තාක්ෂණික අඩුපාඩු, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ රාජ්‍ය අංශයේ ‘ඒකාධිකාරයක්’ ගොඩනැඟී ඇති අයුරු සහ පෞද්ගලික අංශය ඒ සඳහා දිරිමත් කළයුතු ආකාරය පිළිබඳ ඔවුන් අවධාරණය කරයි. එවැනි පෞද්ගලීකරණය වූ අධ්‍යාපනයක බරපැන දැරිය හැකි පවුල් ප්‍රමාණය සීමිත බවට වන යථාර්ථය ගැන ඔවුන් කතා නොකරන තරම්ය.
සිසුන්ගේ අනාරක්ෂිතතා භාවිතා කොට මෘදු කුසලතා ලබාදෙන බව කියන්නා වූ ගාස්තු අය කරන පාඨමාලා බොහෝ ප්‍රමාණයක් ඔවුන්ට විකිණීමේ තැතක් දැන් පවතී. එදිනෙදා පවතින්නට අරගල කරන අතරතුරේ ගණකාධිකරණය, අලෙවිකරණය හා ඉංග්‍රීසි වැනි මිල අධික පාඨමාලා වලට ඔවුන් බැඳෙන්නේ එබැවිනි.
කලා සිසුවා
සිය අධ්‍යාපනය ඉතා න්‍යායාත්මක, ‘කලාවට වැඩි’ එකක් බව සමහර සිසුහු වද වෙති. කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුවකුට අනුව කලා උපාධියක් කිරීමේ තීරණය සාධාරණීකරණය කිරීමට ඇයට සිදුවුණි. සිය කාලයත්, රටේ සම්පතුත් නාස්ති කිරීමක් ලෙස බොහෝ අය එය දුටු බව ඇය පවසයි. ධෛර්ය සම්පන්නව මේ තීරණය ගත්තත්, ඇත්තෙන්ම තමන් සේවා නියුක්තියට නුසුදුසු දැයි තමන්ට කිහිප වතාවක්ම සිතී ඇති බව ඇය කියා සිටියාය.
එහෙත් කලා අධ්‍යාපනය යනු උසස් අධ්‍යාපනය පුළුල් කිරීමට රජයකට පීඩනය එල්ල වන අවස්ථා වලදී වඩාත්ම ලාභදායීව කළහැකි විකල්පය ලෙස ඇය නුදුටුවාය. කලා අධ්‍යාපනය සඳහා විද්‍යාගාර හා මෙවලම් අවශ්‍ය වන්නේ සාපේක්ෂව අඩුවෙන් වුවත්, පුහුණු ගුරුවරුන්, ශක්තිමත් විෂය නිර්දේශ සහ සිසුන් සමඟ සමීපව ගනුදෙනු කිරීම වැනි කලා අධ්‍යාපනයේ අත්‍යාවශ්‍ය අංග ගණනාවක්ම නොසළකා හැර ඇති බව අප සිහිතබා ගත යුතුය.
අධ්‍යාපනයට ප්‍රවේශය පුළුල් කිරීමත් සමඟ විශේෂයෙන්ම කලා මාධ්‍යය තුළ ආන්තික පසුබිම් වලින් පැමිණෙන සිසුන්ට විශ්ව විද්‍යාලයට අවතීර්ණ වීමේ හැකියාව වැඩිවී ඇත. මෙවැනි සිසුන් සමහර විට වඩා වාණිජමය අභිලාශ සහිත පරිසරයක් තුළ හුදෙකලා වියහැකිය. රැකියා නියුක්තියට සුදුසු උපාධිධාරියා පිළිබඳ ආඛ්‍යානය තුළ උපකල්පනය කරනවාට වඩා වෙනස් පරිසරයකින් පැමිණෙන මෙම සිසුන්ගේ අධ්‍යාපනයට එතරම් අරමුදල් වෙන්කිරීමක් නොවන අතර, එම නිසාම ඔවුන් තවදුරටත් රැකියා නියුක්තියට නුසුදුසු වීමත්, අපේක්ෂා භංගත්වයට පත්වීමත් චක්‍රාකාරව සිදුවේ.
කැඩුණු විශ්ව විද්‍යාලය
සිය ගුරුවරුන් පිළිබඳ සිසුන්ගේ චෝදනා වන්නේ ඔවුන් අදූරදර්ශී, යථාර්ථයෙන් දුරස් සහ අසාධාරණ අයවළුන් බවය. විශ්ව විද්‍යාල සංස්කෘතිය නිර්වචනය කරන ධූරාවලිය සහ වෙනස්කම නොඉවසීම ත්, අනෙක් අතින් දුර්වල ආයතනික ව්‍යුහයනුත් වල පිළිබිඹුවක් වශයෙන් ඔවුන්ගේ දැක්ම බොහෝවිට සැළකේ. රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියෙහි බරපැන දැරීමෙන් ගැලවීමේ උත්සාහයෙහි කොටසක් ලෙස අනුක්‍රමික රජයන් විසින් විශ්ව විද්‍යාල නොසළකා හැරීමත්, අපකීර්තියට පැමිණවීමට ප්‍රයත්න දැරීමත් යන කරුණු වල රෝග ලක්ෂණ ය මේවා.
නවක වදයට විරුද්ධ වීම, ස්ත්‍රියක් වීම හෝ වාර්ගික සුළුතර කණ්ඩායමකට අයත් වීම නිසා ආන්තීකරණය වන සිසුන්ට අමතර බරක්ද පැටවේ. නවක වදයට හෝ විශ්ව විද්‍යාලයේ වෙනත් ධූරාවලීන්ට (සිසුන්ගේ හෝ ගුරුවරුන්ගේ) විරුද්ධ වන සිසුන් නින්දා කිරීම් වලට හා සමහර අවස්ථා වල ප්‍රචණ්ඩත්වය ටද ගොදුරු වේ. ආයතනයේ අධිපති භාෂාව කතාකළ නොහැකි සිසුන්ට ආයතනික සහය ලබාගත හැකි ආකාර ගණන සීමිතය. ශිෂ්‍ය සංගම් වලදී තමන් නොසළකා හැරීමට, නිහඬ කිරීමට හෝ නායකත්ව තනතුරු දැරීමෙන් බැහැර කිරීමට ලක්වූ අවස්ථා පිළිබඳව ශිෂ්‍යාවන් විසින් කියා සිටින ලදී.
තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලීන් තුළින්ද ශාස්ත්‍රීය නිදහස හෝ සිසුන්ට තමන් කැමති ආකාරයකට ජීවත් වීමේ නිදහස තහවුරු කිරීම කරන්නේ, රැකියා වෙළඳපොලට සුදුසු උපාධිධාරියකු නිර්මාණය කිරීමට එහි සෘජු සම්බන්ධයක් ඇති අවස්ථා වලදී පමණි. එවැනි ක්‍රියාවලීන් වල අරමුණ වන්නේ මැටියෙන් අඹන්නාක් මෙන් වෘත්තීයවේදියකු හෝ තාක්ෂණික ශිල්පියකු නිර්මාණය කිරීමය; එහි ප්‍රතිඵලයක් ලෙස සිසුන් තමන්ගෙන්ම හුදෙකලා වීම ගැන එම ක්‍රියාවලීන් කිසිදු සැළකිල්ලක් නොදක්වයි.
අභ්‍යන්තර ගැටළු
සරසවියෙන් එහා ලෝකය තුළ දෙමාපියෝ ණය බර, රෝග පීඩා සහ අඩමාන රැකියා නිසා පීඩා විඳිති. මේ පීඩා සිසුන්ට රහසක් නොවේ. සමහර අවස්ථා වල පීඩනය දරාගත නොහැකිව දෙමාපියන් කඩා වැටෙන විට තමාට පවුලේ වගකීම් කරට ගැනීමට සිදුවූ බව කියූ සිසුන්ද වේ. එක් සිසුවකු පැවසුවේ නිවසේ මෙතරම් ප්‍රශ්න තිබියදී තමා සරසවියේ සිටීම ගැන වරදකාරී හැඟීමකින් පෙලෙන බවයි. බොහෝ සිසුහු මේ බර අඩු කිරීම සඳහා අමතර පන්ති පැවැත්වීම, ආහාර ඇණවුම් එක් තැනකින් තවත් තැනකට ගෙනයාම (food delivery) හා වෙනත් ක්ෂුද්‍ර ව්‍යාපාර කටයුතු සිදුකිරීම මඟින් ආදායම් උත්පාදනය කරති.
සිය පවුල් මත රඳා පැවතීමට සිදුවේ යැයි සිසුන්ට පවතින බර වැඩි කරන තවත් එක් කරුණකි ‘රැකියා නියුක්තියට නුසුදුසු උපාධිධාරියා’ පිළිබඳ ආඛ්‍යානය. ඒ මඟින් රැකියා වියුක්තියෙහි වරද සිසුවා පිට පටවයි. එහෙත් දුර්වල ආර්ථිකයක සහ රැකියා වෙළඳපොලක සිසුන්ටත් ඔවුන්ගේ දෙමාපියන්ටත් රැකියා සොයාගැනීමේ දුෂ්කරතාව පිළිබඳ මෙවැනි කතිකා තුළ කතා නොකෙරේ. රට තුළ පවතින බොහෝ රැකියා සඳහා අධ්‍යාපනය අවශ්‍ය නොවන අතර, එවැනි රැකියා කිරීමෙන් උපයා ගතහැකි ආදායමද සීමිතය. එහි තේරුම නම් විශ්ව විද්‍යාල වලින් එළියට එන සිසුන්ට එතරම් ආකර්ෂණීය නොවන රැකියා සීමිත ප්‍රමාණයක් සඳහා තරඟ වදින්නට සිදුවන බවය. තත්වය එසේ වුවද රැකියා වියුක්තියේ වගකීම දැරිය යුත්තේද ඔවුන්මය.
සිසුන් වෙනුවෙන් කැපවීම
සිසුන්ගේ මෙවැනි ගැටළු හඳුනා ගැනීමට විශ්ව විද්‍යාල දිගින් දිගටම අසමත් වී ඇත. ඒ වෙනුවට අප කරන්නේ නවලිබරල් ආඛ්‍යාන වැළඳගෙන ඒ මත පදනම්ව සිසුන්ට වඩා තරඟකාරී වීමට, වැඩියෙන් දේවල් කිරීමට හා ඉගෙන ගැනීමට, ආත්ම විශ්වාසය වැඩිකර ගැනීමට, ඉංග්‍රීසි දියුණු කරගැනීමට සහ ඉතා පන්තිවාදී අවකාශයන් තුළ පහසුවෙන් හැසිරීමට පීඩනය යොමු කිරීමයි. එහෙත් එම පණිවුඩ සමඟ ලබාදිය යුතු සහයෝගය බොහෝවිට ඔවුන්ට ලැබෙන්නේ නැත.
අනාරක්ෂිත බවින් හා තැවුල් වලින් පීඩා විඳින මේ සිසුන්ගෙන් විචාරාත්මක චින්තනය සහ ඉහළ මට්ටමේ විශ්ලේෂණ අපි බලාපොරොත්තු වන්නෙමු. ඒ පීඩනය හමුවේ ඔවුන් කඩාවැටෙන විට විශ්ව විද්‍යාල ඊට ප්‍රතිචාර දක්වන්නේ මනෝ වෛද්‍ය සේවා ලබාදීම මඟිනි. මෙවැනි සේවා ඉතා වැදගත් වුවත්, ඒවා නිසාම මතුවන ගැටළුවක් වන්නේ පද්ධතිමය අර්බුද පුද්ගලානුබද්ධ රෝග බවට පරිවර්තනය කිරීමයි. එමඟින් යළිත් වරක් පිළිබිඹු වන්නේ සියළු සාර්ථක හා අසාර්ථක වීම් වල මූලය ලෙස පුද්ගලයා සළකන නවලිබරල් දෘෂ්ඨිවාදීමය ස්ථාවරයේ අඩුලුහුඬුකම් ය. ඒවා නිසා සිසුන්ගේ තැවුල් ආමන්ත්‍රණය කෙරෙනු වෙනුවට තීව්‍ර වියහැකිය.
අධ්‍යාපන ප්‍රතිපත්ති ගැන ලංකාවේ අවධානය යොමුව ඇති මේ මොහොත අවස්ථාවක් ලෙස සළකා අධ්‍යාපනය අප තේරුම් ගන්නා අයුරු වෙනස් කිරීමටත්, මෙවැනි සිසු ගැටළු වලට ප්‍රතිපත්ති තුළ ප්‍රධාන තැනක් ලබාදීමටත් අවධානය යොමුකිරීම වටී. නිදහස් අධ්‍යාපනයට රාජ්‍යය සිය කැපවීම ප්‍රතිස්ථාපනය කළයුතු අතර, ප්‍රතිසංස්කරණ වලදී මෙතෙක් මුල්කොට ගත් නවලිබරල් තර්කනයෙන් මිදිය යුතුය. මහජනතාව වශයෙන් අප ද නිදහස් අධ්‍යාපනය කෙරෙහි බලාපොරොත්තු තැබීමත්, එමඟින් අප අපේක්ෂා කරන දේ වල ප්‍රමිතිය ඉහළ නැංවීමත් කළයුතු වේ. කලා හා STEM විෂයයන් ඇතුළු සියළුම විෂය දහරා ශක්තිමත් කළයුතුය. තමන් කැමති ආකාරයකට විශ්ව විද්‍යාල අවකාශය තුළ ජීවත් වීමට සිසුන්ට ඇති අයිතියට ආයතන ගරු කළයුතුවාක් මෙන්ම එය සුරක්ෂිත කිරීමටද කටයුතු කළයුතුය. පවුල් වලට ප්‍රමාණවත් වැටුපක් ඉපයිය හැකි ක්‍රමයක් ස්ථාපනය කරන වඩා පුළුල් ආර්ථික හා ශ්‍රම ප්‍රතිසංස්කරණ සමඟ අධ්‍යාපන ප්‍රතිපත්ති බද්ධ කළයුතුය. උපාධිධාරීන්ට වඩා පුළුල් පරාසයක විහිදුනු අර්ථාන්විත රැකියා සමූහයක් අතරින් තේරීමක් කළහැකි වන්නේ එවිටය.



