මහේන්ද්‍රන් තිරුවරන්ගන්
ප්‍රජාවට සේවය කිරීම සඳහා රාජ්‍ය විශ්ව විද්‍යාල යැපෙන්නේ සිය ගුරුවරු මතය. ශාස්ත්‍රීය කාර්ය මණ්ඩලය සිය මූලික වගකීම වන ඉගැන්වීම හැරුණු කොට පර්යේෂණ වල යෙදීමද, පන්ති කාමරය පමණක් නොව වඩා පුළුල් සමාජය පිළිබඳව සිසුන්ට විවෘතව සාකච්ඡා කළහැකි උද්යෝගිමත් අවකාශයක් වශයෙන් විශ්ව විද්‍යාලය පවත්වා ගැනීමද කරති. විශ්ව විද්‍යාලයේ බුද්ධිමය සංස්කෘතිය සහ අවංක බව එම නිසා රඳා පවතින්නේ එහි ශාස්ත්රඥයින් සිය කාර්ය භාරය ඉටු කරන අන්දම මතය. එබැවින් ශාස්ත්‍රීය කාර්ය මණ්ඩල සාමාජිකයින් බඳවා ගැනීම පිළිබඳව විශ්ව විද්‍යාල මීට වඩා බැරෑරුම්ව සිතිය යුතු වේ. එය වගකීම් සහගතව හා විනිවිද භාවයෙන් යුක්තව, සාධාරණ, අංග සම්පූර්ණ හා පියවර ගණනාවකින් යුතු ක්‍රියාවලියක් වශයෙන් සිදුකළ යුත්තකි.
මෙම ක්රියාවලියෙහි අයදුම්කරුවකු සහ එවැනි තේරීම් කමිටු වල සාමාජිකයකු වශයෙන් මගේ මතය වන්නේ දැනට පවතින බඳවා ගැනීමේ ක්‍රමවේද රැඩිකල් වෙනසකට ලක්කළ යුතු බවයි. 2026 මාර්තු මාසයේ මේ තීරුවේ පළවූ කෞශල්‍යා පෙරේරාගේ ලිපිය හා සමානව මගේද අවධානය යොමු වන්නේ විශේෂයෙන්ම සීමාවාසික හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තනතුරු වලට කරන බඳවා ගැනීම් වල දුර්වලතා කෙරෙහිය. මෙම ලිපිය තුළ එවැනි දුර්වලතා ආමන්ත්‍රණය කළහැකි අයුරුද සාකච්ඡා කෙරේ.
දැන්වීම
සීමාවාසික හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තනතුරු වලට බඳවා ගැනීම් සිදුකරන්නේ ප්‍රසිද්ධ දැන්වීමක් මාර්ගයෙනි. ඊට අයදුම් කරන්නන් අතරින් තෝරාගන්නා අයවළුන් සඳහා සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වේ. මෙම දැන්වීම සඳහා වන ආකෘතිය නිකුත් කරනු ලබන්නේ විශ්ව විද්‍යාල රෙජිස්ට්‍රාර් මඟිනි. එහි දළ ප්‍රභේදයක් මුලින්ම අදහස් ලබාගැනීම සඳහා අදාළ ශාස්ත්‍රීය දෙපාර්තමේන්තු වෙත යැවේ. එසේ ලබාදෙන අදහස් එම ආකෘතියට අනුරූප වියයුතු අතර, ඒ නිසා එම අදහස් අදාළ විෂය විශේෂඥ භාවයට පමණක් සීමා වේ.
එසේම මේ සියළු අදහස් අවසාන දැන්වීමට ඇතුළත් කරන බවට සහතික වීමක්ද නැත. බඳවා ගැනීම සිදුකරන විෂයය සම්බන්ධයෙන් එතරම් දැනුමක් නැති පීඨාධිපතිවරු, උපකුලපතිවරු සහ රෙජිස්ට්‍රාර්වරු විසින් මේ සමහරක් අදහස් ප්‍රතික්ෂේප කරන අවස්ථාද තිබේ. ඉතා තාක්ෂණික දැක්මක් ඇති ඔවුන්ට, යම් විෂයයක් ඉගැන්වීමට ඊට ආසන්න විෂයයක ප්‍රවීණත්වය ඇති අයකු වුවද සුදුස් වියහැකි බව වැටහෙන්නේ නැත. නිදසුනක් ලෙස ඉංග්‍රීසි දෙපාර්තමේන්තුවක ඉගැන්විය හැක්කේ ඉංග්‍රීසි විෂයයෙන් පශ්චාත් උපාධි සුදුසුකම් ලැබූවන්ට පමණක් නොවේ; ඊට ආසන්න විෂයයන් වන ව්‍යවහාරික වාග් විද්‍යාව (applied linguistics), සංස්කෘතික අධ්‍යයනය (cultural studies) හෝ පරිවර්තන අධ්‍යයනය (translation studies) වැනි විෂයයන් ද රටේ බොහෝ විශ්ව විද්‍යාල වල ඉංග්‍රීසි යටතේම උගන්වන ඒවාය. දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් මේවා පෙන්වා දෙන අවස්ථා වල වුවත් පරිපාලනය ඊට අවධානය යොමු නොකිරීමේ උදාහරණ තිබී ඇත.
පරිපාලනයෙන් නිකුත් කරන ආකෘතියකට නිමවූ දැන්වීමකට වඩා අදාළ දෙපාර්තමේන්තුවෙන්ම එම රැකියාව පිළිබඳ පරිපූර්ණ විස්තරයක් සහිත දැන්වීමක් නිකුත් කිරීමය කළයුතු වන්නේ. ඇබෑර්තුව ඇත්තේ කොයි ආකාර රැකියාවක් සඳහාද, කොවැනි ඉගැන්වීම් හා පර්යේෂණ කටයුතු අපේක්ෂා කෙරෙන්නේද, විශේෂඥභාවය සහ වැඩ පරිමාව අතින් දෙපාර්තමේන්තුවේ අනෙක් තනතුරු සමඟ එය පෑහෙන්නේ කෙසේද සහ බඳවා ගන්නා අයදුම්කරු ආයතනයේ දියුණුවට කුමනාකාරයෙන් දායක වියයුතුද වැනි තොරතුරු එහි තිබිය යුතුය.
බඳවා ගැනීම් වලදී සියළු දෙනාට ගැළපෙන එක අච්චුවක් තිබිය නොහැක. එක් එක් දෙපාර්තමේන්තුවෙහි ප්‍රමාණය, ශක්තිය හා විශේෂඥභාවය පිළිබඳ අවශ්‍යතා එකිනෙකට වෙනස් වේ. ප්‍රමාණයෙන් විශාල දෙපාර්තමේන්තු වලට කරන බඳවා ගැනීම් වලදී විශේෂඥභාවය අවධාරණය කළහැකි වුවත්, කුඩා දෙපාර්තමේන්තු වල වැඩි කැමැත්ත ඇත්තේ වඩා පුළුල් වපසරියක වැඩ කළහැකි, වැඩි විෂයයන් ප්‍රමාණයක් ඉගැන්විය හැකි කෙනෙක් වියහැක. රැකියා ඇබෑර්තු දැන්වීමෙහි බලාපොරොත්තු වන හැකියා වලට හේතු දැක්වීම තුළින් අයදුම්කරුවන්ට තනතුර හා තේරීම් කමිටුව පිළිබඳව සාධාරණ වැටහීමක් ලබාදිය හැකි වේ.
අයදුම්පත් සමාලෝචනය
සමහර අවස්ථා වල ඉතා සුදුසු අයදුම්කරුවන් අපට හමුවන නමුත් ඔවුන් දරන සුදුසුකම් තුළ අයදුම් කරන විෂයයේ හෝ දෙපාර්තමේන්තුවේ නම අඩංගු නොවේ. එසේ වුවත් එවැනි අයදුම්කරුවන් කර ඇති පර්යේෂණ දෙපාර්තමේන්තුවේ විෂය පථයට බෙහෙවින් අදාළ වේ. ඔවුන් විසින් ලියා පල කොට ඇති ලිපි විශිෂ්ට මට්ටමේ තිබුණත් පද්ධතිය ඔවුන් දෙස සාධනීය අයුරින් බැලීම වෙනුවට ඔවුන්ගේ අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීම සිදුකරයි. අයදුම්කරුවකුගේ සංස්කෘතික පසුබිම, දේශපාලන විශ්වාස හෝ වෙනත් හේතු නිසා ඔවුන් ප්‍රතික්ෂේප කිරීම සිදුවන අවස්ථා වල ඊට නිදහසට කරුණක් ලෙසද මෙම විෂය නොගැළපීම් භාවිතා කෙරෙන අවස්ථා තිබේ. දෙපාර්තමේන්තු මඟින් මෙවැනි අයදුම්කරුවන් බඳවා ගැනීමට කැමැත්ත පල කරන සමහර අවස්ථා වලදී විශ්ව විද්‍යාල පරිපාලනය විසින් එම අයදුම්පත ප්‍රතික්ෂේප කරන අවස්ථාද ඇත. මෙවැනි ක්‍රියා නිසා ඉතා ඉහළ මට්ටමේ අන්තර්-විෂයික ශාස්ත්‍රඥයන් විශ්ව විද්‍යාල පද්ධතියට අහිමි වී ඇත.
තේරීම් කමිටු
සාමාන්‍යයෙන් මෙම තේරීම් කමිටු වල සාමාජිකයන් වන්නේ උපකුලපති, පීඨාධිපති, අංශාධිපති, විශ්ව විද්‍යාල ශාස්ත්‍රීය මණ්ඩලයෙන් (senate) යෝජනා කරන ශාස්ත්‍රීය කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙක් සහ විශ්ව විද්‍යාල මණ්ඩලයේ (council) සාමාජිකයින් දෙදෙනෙකි. එකම දෙපාර්තමේන්තුවක් යටතේ විෂයයන් හෝ පාඨමාලා කිහිපයක් ඇතිවිට, අංශාධිපති රැකියා ඇබෑර්තුව ඇති ක්ෂේත්රයේ අයෙක් නොවේ නම්, බඳවා ගැනීම් ක්‍රියාවලියට අර්ථාන්විතව දායක වීමට ඔවුන්ට හැකියාවක් නැත. එහෙත් එම ක්‍රියාවලියට සම්බන්ධ වීම අංශාධිපතිටම වෙන්වූ වරප්‍රසාදයක් බව සිතන සමහරු එවැනි අවස්ථාවක තමා වෙනුවෙන් වෙන කෙනෙකු එතැනට පත් කිරීමද ප්‍රතික්ෂේප කරති.
විශ්ව විද්‍යාල ශාස්ත්‍රීය මණ්ඩලයද සමහර අවස්ථා වල මෙවැනි පත්කිරීම් බැරෑරුම්ව සළකන්නේ නැත. ශාස්ත්‍රීය මණ්ඩල රැස්වීම් වල න්‍යාය පත්‍රයේ අඩංගු බොහෝ කරුණු වලින් එකක් හැටියට පමණි බඳවා ගැනීමේ තේරීම් කමිටු සැළකෙන්නේ. ඇබෑර්තුව සහිත දෙපාර්තමේන්තුවේ මේ රාජකාරිය කිරීමට සුදුසු සාමාජිකයන් සිටියත් ශාස්ත්‍රීය මණ්ඩලයෙන් අදාළ විෂයයේ සියුම්තා ගැන අවබෝධයක් නොමැති පීඨයේ වෙනත් සාමාජිකයින් පත්කරන අවස්ථාද පවතී. තවත් සමහර අවස්ථා වල එම තේරීම් කමිටුවේ සේවය කිරීමට අවශ්‍ය විශේෂඥයින් අදාළ විශ්ව විද්‍යාලයේ නොසිටිය හැක. එවැනි තත්වයන් තුළ ශාස්ත්‍රීය මණ්ඩලය කරන්නේ බාහිරින් එවැනි විශේෂඥයින්ට ආරාධනා කරනු වෙනුවට පීඨයේ වෙනත් සාමාජිකයින්ගෙන් තේරීම් කමිටුව පිරවීමයි. ලංකාවේ එක් රාජ්‍ය විශ්ව විද්‍යාලයක ශාස්ත්‍රීය තනතුරක් සඳහා මා කැඳවන ලද සම්මුඛ සාකච්ඡා තුනෙන් එකකවත් විෂයට අදාළ එකදු විශේෂඥයකු හෝ සිටියේ නැත.
ලකුණු දීමේ පටිපාටිය
බඳවා ගැනීම් වලදී භාවිතා කෙරෙන ලකුණු දීමේ පටිපාටියෙහිද දුර්වලතා පවතී. පර්යේෂණ ප්‍රකාශන (publications) බොහෝවිට තක්සේරු කෙරෙන්නේ ප්‍රමාණය මත විනා ගුණාත්මක බව මත නොවේ. අයදුම්කරුගේ පර්යේෂණ වල ගුණාත්මක බව තක්සේරු කිරීමේදී අදාළ විෂයය සම්බන්ධ විශේෂඥයාගේ අදහස බැරෑරුම්ව ගැනෙන්නේ නැත. අනුන්ගේ පර්යේෂණ වලින් කොපි කරන හෝ ප්‍රමිතියක් නැති විලෝපික සඟරා (predatory journals) වල සිය පර්යේෂණ පල කරන ශාස්ත්රඥයින්ගෙන් අපේ විශ්ව විද්‍යාල පිරී පවතින්නේද මෙනිසාය. ශාස්ත්‍රීය අවංක බවින් අඩු පුද්ගලයින් විශ්ව විද්‍යාලයට ඇතුළත් වීම වළක්වන අයුරින් මේ ක්‍රියාවලීන් ශක්තිමත් කළ යුතු වේ.
උපාධි අපේක්ෂක මට්ටමේදී ප්‍රථම පන්ති හෝ දෙවන පන්තියේ ඉහළ කාණ්ඩයේ සාමාර්ථයක් නොලැබූ, එහෙත් පශ්චාත් උපාධි මට්ටමේදී ඉතා ඉහළ මට්ටමේ පර්යේෂණ සිදුකොට ඇති අයදුම්කරුවන් මෙම ක්‍රියාවලීන් තුළ දණ්ඩනයට යටත් කිරීමද ප්රශ්නකාරීය. ප්‍රථම උපාධියෙන් පසු පුද්ගලයකුගේ බුද්ධිමය ගමන මෝරන අයුරු මේ පටු ප්‍රවේශයෙන් ග්‍රහණය කරගත නොහැකිය. සෘජුව ඇස් බලා කතා කිරීම, හිඳ ගන්නා ඉරියව්ව වැනි දේ වලට මෙම සම්මුඛ සාකච්ඡා වලදී ලබාදෙන වැදගත්කම තුළින් ශාස්ත්‍රීය තනතුරේ බැරෑරුම් බව දියාරු කොට හැර, සම්මුඛ සාකච්ඡාව අභිවහනයක් බවට පත් කරයි.
සංස්කෘතික විශ්වසනීයත්වය (cultural credibility)
බොහෝ විශ්ව විද්‍යාල සිය බඳවා ගැනීමේ කටයුතු වලදී සංස්කෘතික විශ්වසනීයත්වය (මේ පදය මා උපුටා ගන්නේ සුලක්සනා හිපිස්ලි ගෙනි) පිළිබඳ සැළකිලිමත් වේ. සමහර දෙපාර්තමේන්තු අතීතයේ සිය සිසුන් නොවූ පිරිස් බඳවා ගැනීමට මැලිවෙති; තේරීම් කමිටු සමහරක් යම් යම් ආගමික හෝ වාර්ගික කණ්ඩායම් වලින් පැමිණෙන්නන්ට වෙනස් කොට සළකයි; තවත් සමහර දෙපාර්තමේන්තු වල ස්ත්‍රීන් බඳවා ගැනීමට මැලිකමක් පවතින්නේ ඔවුන් මාතෘ නිවාඩු ගන්නා නිසාත්, පිරිමින්ට වඩා ගෘහස්ථ වගකීම් දරන නිසාත්ය; ස්ත්‍රී-පුරුෂ බව හෝ ලිංගික අනන්‍යතාව අතින් සුළුතරයක් වන පිරිස් සම්මුඛ සාකච්ඡා වලදී සිය අනන්‍යතාව වසන් කරන්නේ එය එළිපිට පැවසීම තුළින් අවාසියක් වියහැකි නිසාය. විවිධත්වය ශක්තියක් ලෙස දකින ප්‍රවේශයක් ඔස්සේ බඳවා ගැනීම් කිරීමට රුකුල් දෙන ප්‍රතිපත්ති හෝ පටිපාටීන් අපට නැත.
ඉදිරි මාර්ගය
බඳවා ගැනීම් වල අඩුපාඩු නිසා සමස්ත විශ්ව විද්‍යාලයේම බුද්ධිමය සංස්කෘතිය හායනය වන අතර, පරම්පරා ගණනක සිසුන්ටද එය බලපානු ලැබේ. අපේ උසස් අධ්‍යාපන පද්ධතියේ වර්තමාන ගැටළු බොහොමයකට අප පිළියම් යෙදීමට උත්සහ කරන්නේ බඳවා ගැනීම් ප්‍රතිසංස්කරණය කිරීමෙන් නොව, තත්ත්ව සහතිකකරණය සහ විෂය නිර්දේශ සැකසීම සඳහා වූ වැඩමුළු ආදී පැලැස්තර විසඳුම් තුළිනි. බඳවා ගැනීම් ක්‍රියාවලිය ප්‍රතිසංස්කරණය කිරීමේදී දෙපාර්තමේන්තු වල අවශ්‍යතා වලට මූලිකත්වය ලැබෙන බව සහතික කළ යුතුය. තේරීම් කමිටු වල පරිපාලකයින් හා මණ්ඩල සාමාජිකයින්ට වඩා විෂය විශේෂඥයින් සිටිය යුතුය. අයදුම්කරුවන් තක්සේරු කිරීමේ ක්‍රියාවලියේ බහුතර කොටස සම්මුඛ සාකච්ඡාවට පෙර සම්පූර්ණ වියයුතු අතර, සම්මුඛ සාකච්ඡාව භාවිත කළ යුත්තේ අයදුම්කරු හඳුනා ගැනීමේ සහ ගැටළු නිරවුල් කරගැනීමේ ක්‍රමයක් වශයෙන් පමණක් මිස සමස්ත තක්සේරුව පදනම් වන සාධකය වශයෙන් නොවේ. අන්තර්-විෂයික භාවය මෙන්ම සංස්කෘතික, වාර්ගික සහ ස්ත්‍රී-පුරුෂ භාවීමය විවිධත්වයට ද අප විවෘත වියයුතු වේ. මෙම ප්‍රතිසංස්කරණ වලින් තොරව අප දිගින් දිගටම බඳවා ගනු ඇත්තේ අපේ සිසුන්ටත්, පොදු ප්‍රජාවටත් අවැඩදායී අපේක්ෂකයින්ය.

