හිස් වන විශ්ව විද්‍යාලය: කථිකාචාර්යවරුන් රට හැර යන්නේ ඇයි?

හසිනි ලේකම්වසම්

ලංකාවේ බුද්ධි ගලනය ඉතිහාසයේ පෙර නොවූ විරූ මට්ටමකට ළඟා වී ඇත. මේ සම්බන්ධ ගෝලීය මාපකයේ (Human Flight and Brain Drain Index) 2024 දත්ත වලට අනුව ලොව රටවල් 175 අතරින් අප 16 වන ස්ථානයේ පසුවන අතර, දකුණු ආසියාවේ පළමු තැනද අපට හිමිවේ. මෙය අර්බුදයක් බව අමුතුවෙන් කිවයුතු නැත. බුද්ධි ගලනය රටක සෑම අංශයකටම බලපාන අතර, විශේෂයෙන්ම සංවර්ධනය වන රටක සම්පත් ඛාදනය කරයි. ලංකාව වැනි නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඇති, වෘත්තීයවේදීන් නිර්මාණයෙ හි ලා සැළකිය යුතු තරමේ මහජන ආයෝජනයක් සිදුවන රටක මෙවැනි තත්වයක් පැවතීමේ තේරුම වන්නේ දුගී රටවල සම්පත් ධනවත් රටවලට (විශේෂයෙන්ම ලෝකයේ වඩාත් ආකර්ෂණීයම සංක්‍රමණික ගමනාන්ත ලෙස සැළකෙන රටවලට) පැවරෙන බවය. එම නිසා කුප්පි තීරුවේ ප්‍රධානම මාතෘකාවක් වන ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියෙන් කථිකාචාර්යවරුන් ඉවත්ව, රටෙන් නික්ම යෑමට හේතුවන තල්ලු සහ ආකර්ෂණ සාධක (push and pull factors) අධ්‍යයනය කිරීම වැදගත් වේ.    

ඉච්ඡාභංගත්වයේ සිට ඉවත්වීම දක්වා 

රටහැර යෑමට බොහෝ කථිකාචාර්යවරුන් ගන්නා තීරණය තුළ කඩා වැටෙන අපේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ කටුක යථාර්ථයන් විශාල භූමිකාවක් රඟ දක්වයි. පසුගිය වසර කිහිපය තිස්සේ මේ තීරුව තුළ මේ ඛාදනයට අවධානය යොමුකර ගැනීමට අපි නොයෙක් වර උත්සාහ දැරුවෙමු. ඒ අතර මූලිකම ගැටළුව වන්නේ අරමුදල් හිඟතාවයයි. විශ්ව විද්‍යාල පද්ධතිය තුළ එහි බෙලහීන කරවන සුළු ප්‍රතිවිපාක බොහෝය: යටිතල පහසුකම් පවත්වාගෙන යාමෙහි ලා කෙරෙන ආයෝජනය ඉතා අඩු අතර, ඒවා ප්‍රසාරණය කිරීමට ආයෝජනයක් නොකෙරෙන තරම්ය. මේ නිසා වැඩිවන සිසු කණ්ඩායම් වලට අධ්‍යාපනය ලබාදීම එන්න එන්නටම අභියෝග සහගත වනවාක් මෙන්ම, කාර්ය මණ්ඩලයේ (විශේෂයෙන්ම ප්‍රාදේශීය විශ්ව විද්‍යාල වල) යහපැවැත්ම ද එනිසාම බිඳ වැටේ; පර්යේෂණ අරමුදල් කප්පාදුව නිසා ඉගැන්වීම සහ පර්යේෂණ කිරීම අතර පැවතිය යුතු සම්බන්ධය (එනම් ඉගැන්වීම් ක්‍රියාවලි වලට සිය පර්යේෂණ පදනම් කරගැනීම) සෑහෙන දුරට සීමා වී තිබේ. මෙහි තවත් ප්‍රතිවිපාකයක් වී ඇත්තේ වඩාත් යාවත්කාලීන පර්යේෂණ පත්‍රිකා වලට ප්‍රවිෂ්ඨය ලබාදෙන ප්‍රධාන පෙළේ වේදිකා (platform) වලටද ප්‍රවේශය සීමා වීමයි; අරමුදල් හිඟකම නිසා බඳවා ගැනීම් සීමා වීමද විශාල ගැටළුවක් වී ඇත. දැනට සේවයේ නියුතු කථිකාචාර්යවරුන් පිටට වැටෙන බර එනිසා වැඩිවන අතර, අර්ථාන්විත පර්යේෂණ හා ඉගැන්වීම් වල නියැලීමට ඔවුන්ට ඇති කාලය ඒ ඔස්සේ දැඩිව සීමාවට ලක්වේ.  

දැනට සිදුකෙරෙන බොහෝ බඳවා ගැනීම් වල ස්වභාවය නිසා කුසලතාව ගැන විශ්වාසය තබන්නන් කළකිරීමට පත්වේ. මේ තීරුවේද බොහෝ අවස්ථා වල පෙන්වා දී ඇති පරිදි බඳවා ගැනීම් ක්‍රියාවලි වලදී අපේක්ෂකයකු ගේ පශ්චාත් උපාධි වර්ධනය හා අන්තර් විෂයික පුහුණුවට ලබාදෙන්නේ ඉතා අඩු වැදගත්කමකි. එමෙන්ම ‘වැඩිය ප්‍රශ්න ඇති නොකරන’, සංස්කෘතික වශයෙන් අනුකූල වන අපේක්ෂකයින්ට වැඩි තැනක් ලැබේ. මේවා සියල්ල සංකලනය කළවිට ලැබෙන ප්‍රතිඵලය වන්නේ අධ්‍යාපනයට නැවුම් එළඹුමක් ගන්නා, විවිධ අත්හදා බැලීම් කිරීමට උනන්දු පිරිස විශ්ව විද්‍යාල වලට අයදුම් නොකිරීමයි. මේ පිරිසෙන් සමහරක්, හෝ වැඩි කොටස, විදෙස් විශ්ව විද්‍යාල වලට සම්බන්ධ වීමට උත්සුක වේ.

මේ ප්‍රශ්න බොහොමයක් එකට යා කරන හුයක් වන්නේ විශ්ව විද්‍යාල ඇතුළත පවතින තද ධූරාවලියයි. මේ සම්බන්ධයෙන්ද මෙම තීරුවේ බොහෝ කතාකොට ඇත. බඳවා ගැනීමේ ක්‍රියාවලි වල එම විශ්ව විද්‍යාලයෙන්ම සුදුසුකම් ලැබූ පිරිස් වලට වැඩි ඉඩක් ලැබෙන්නේ ධූරාවලිය නිසාය (මන්ද ගුරු-ගෝල සම්බන්ධය තුළ පාලනය පවත්වා ගැනීම පහසු බැවින්). එමෙන්ම තරුණ, විශේෂයෙන්ම ස්ත්‍රී කථිකාචාර්යවරු මත මේ ධූරාවලිය නිසා ලොකු බරක් පැටවේ; ජ්‍යෙෂ්ඨයින්ගේ, බොහෝවිට පිරිමි ජ්‍යෙෂ්ඨයින්ගේ, වැඩ බොහොමයක් සම්පූර්ණ කිරීමට සිදුවන්නේ ඔවුන්ටය. අරමුදල් සහ බඳවා ගැනීම් පිළිබඳ සීමා පවතින අවස්ථාවක සම්පූර්ණ කිරීමට සිදුවන අමතර වැඩ ප්‍රමාණයද සැළකූ විට මෙකී තරුණ, බොහෝවිට ස්ත්‍රී කථිකාචාර්යවරුන්ගේ ශාස්ත්‍රීය වර්ධනය සැළකිය යුතු මට්ටමින් අඩාල වනබව පැහැදිලිය. එම නිසා වෙනස් වෘත්තීමය පරිසරයක් සහිත, සිය ගරුත්වය වඩා බැරෑරුම්ව සළකන බවට ප්‍රසිද්ධියක් උසුලන විදෙස් විශ්ව විද්‍යාල වලට එම කණ්ඩායම ආකර්ෂණය වීමේ වැඩි සම්භාවිතාවක් පවතී.    

දෘෂ්ටිවාදීමය උගුල් 

ඉහතින් දැක්වූ ව්‍යුහාත්මක කළකිරීම් වලට අමතරව මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් නවලිබරල් දෘෂ්ටිවාදයේ බලපෑම්ද සාකච්ඡා කළයුතුව තිබේ. ඉන් ප්‍රධානම එකක් වන්නේ ගෝලීය මධ්‍යය හා පර්යන්තය අතර ඇති සම්බන්ධතා තුළින් ‘ආකර්ෂණීය’ යැයි අප වටහා ගන්නා දේ තීරණය වන ආකාරයයි. ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, විදුලි උපකරණ වැනි දේ තුළින් විද්‍යාමාන වන බටහිර ජීවන රටාව දැක, ‘වඩා හොඳ’ ජීවිතයක් හා වෘත්තීමය ප්‍රගමනය පිළිබඳ එහි පොරොන්දුවට වශී වූ අය බොහෝය. එහෙත් මේ ජීවන රටාව පිටුපස පවතින අරගලය එළියෙන් බැලූ විට නොපෙනේ. ඉතා ඉහළ ප්‍රමිතියෙන් යුත් පාරවල් සහ පොදු ප්‍රවාහන පහසුකම්, පිරිසිදු වාතය, සෞඛ්‍ය සම්පන්න ආහාර වැනි පොදු යටිතල පහසුකම් වලින් වසන් කරන සත්‍යයක් වන්නේ සෞඛ්‍යය සහ අධ්‍යාපනය වෙනුවෙන් දැරීමට සිදුවන අත්‍යන්ත වියදමයි. ඉහළ ආදායම් රටවල සෞඛ්‍ය රක්ෂණාවරණ අනිවාර්ය සහ ඉතා මිල අධික වන අතර, රාජ්‍ය සහනාධාර සහිතව ලැබෙන අධ්‍යාපනයට ප්‍රවිෂ්ඨය දැඩිව සීමා කොට ඇත; එසේම සහනාධාර ලැබුනත් ඒ අධ්‍යාපනය ගෘහස්ථ ආර්ථිකයට දැඩිව දැනෙන වියදමකි. එහෙත් මේ රටවල් නියෝජනය කෙරෙන ප්‍රීති සම්පන්න රූප වල මේ යථාර්ථය පිළිබිඹු වන්නේ නැත.      

මෙවැනි තවත් දෘෂ්ටිවාදීමය උගුලක් වන්නේ එතෙර බොහෝ අවස්ථා පවතින බවට වන මිථ්‍යාවයි. අධ්‍යාපන, සෞඛ්‍ය, සිවිල් සේවා සහ වෙනත් එවැනි සුදු කරපටි ක්ෂේත්‍ර තුළ කුසලතාවය පදනම් කරගෙන ඉදිරියට යෑම දේශීයව ඉතා අසීරු බව අවිවාදයෙන් පිළිගත යුතු වුවත්, බටහිර තත්වය ඊට වෙනස් බව සිතීම ලොකු මුලාවකි. අද වනවිට බොහෝ සාකච්ඡාවට බඳුන්ව ඇති පරිදි බටහිර ශ්‍රම වෙළඳපොළ වල වර්ගවාදය ඉතා තදින් ක්‍රියාත්මක වේ. ලංකාවේදී යම් ක්ෂේත්‍රයකින් අප ලබන සුදුසුකම බටහිරදී හැමවිටම සමාන තත්වයේ ලා සැළකෙන්නේ නැත. වෛද්‍ය ක්ෂේත්‍රය වැනි ඒවායෙහි දී පවතින සුදුසුකම තහවුරු කිරීම සඳහා තරඟ විභාග වලට මුහුණ දී ඒවා සමත් වියයුතු අතර, සමහර අවස්ථා වල අමතර සම්මුඛ පරීක්ෂණයකට ද මුහුණ දියයුතු වේ. එකී පරීක්ෂණය ද බහුතර අවස්ථා වල ඉතා වර්ගවාදී එකකි. මේ සියළු කඩුලු සාර්ථකව පැන්නාට පසුව වුවත් වැටුප ලැබෙන්නේ ක්ෂේත්‍රයේ ආධුනිකයකුට ලැබෙන පරිදිය. වෙනත් රටකදී රැස් කරගත් අත්දැකීම් එම තීරණයට අදාළ කර නොගැනේ. මේ අවනම්බු වලට අමතරව එදිනෙදා ජීවිතයේදී සමේ පැහැය නිසා අත්විඳින්නට සිදුවන කෙනෙහිලිකම් ද ඇතිබව සිහිතබා ගත යුතුය. මෙරට රැස් කරගන්නා වෘත්තීමය සුදුසුකම් භාවිතයෙන් බටහිර රැකියා සෙවීමේදී මූලික වන තවත් කරුණක් වන්නේ දරුවන්ගේ අනාගතයයි. එහෙත් එම දරුවන් ද යට කී වර්ගවාදී ශ්‍රම වෙළඳපොල ට මුහුණ දියයුතු බව අපට බොහෝවිට අමතක වේ. වත්මනේ ගෝලීයව දක්නට ලැබෙන දක්ෂිණාංශික නැම්ම තුළ මේ තත්වය තවත් අභියෝගාත්මක වී ඇත. එවැනි තත්වයක් තුළ එතෙර ඉසුරු සොයාගොස් අති සාර්ථක වූ සුළු පිරිසකගේ අත්දැකීම පොදු යථාර්ථයක් සේ ගැනීම භයානක විය හැකිය. 

ඉහත දැක්වූ දෘෂ්ටිවාදීමය ආකර්ෂණ සාධක දෙකට අමතරව තල්ලු සාධකයක්ද පවතී. සුදු කරපටි රැකියා කරන්නන් හට සමාජයක ලැබිය යුතු යැයි සැළකෙන, අද වනවිට විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වල නිතර දක්නට ලැබෙන, පිළිගැනීම පිළිබඳ කරුණකි එය. මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලින් ඉල්ලා සිටින්නේ සිය දරුවන් ඉහළ පෙළේ පාසල් වලට ඇතුළත් කරගැනීමට විශේෂිත කෝටා ක්‍රම, ඉන්ධන දීමනා වැඩිකර ගැනීම, දැනට නවතා ඇති වාහන විදේශ වලින් ගෙන්විය හැකි බලපත්‍ර ක්‍රමය ප්‍රතිස්ථාපනය කරගැනීම, වැටුප් වර්ධක වැනි දේ ය. සිය භෞතික තත්වය වර්ධනය කරගැනීමට සියළු වැඩකරන ජනතාවට සම්පූර්ණ අයිතිය පැවතුණද, වඩා පුළුල් වැඩකරන පන්ති අරගලයේ කොටසක් නොවන තාක් එවැනි ප්‍රයත්නයන් හුදු ආත්මාර්ථකාමී, ධනේශ්වර පන්ති සමාජයේ තර්කනයට හිර වී ඇති ඒවා ලෙස පවතිනු ඇත. මෙහිදී ඉදිරිපත් කර ඇති බොහෝ ඉල්ලීම් වල අරමුණ වන්නේ කථිකාචාර්යවරුන්ගේ ‘විශේෂත්වය’ තහවුරු කිරීම බැවින් ඒවා වැඩකරන පන්ති අරගලයේ කොටසක් නොවන බව පැහැදිලිය.     

කුමක් කළයුතු ද?

ඉහත සඳහන් කළ ව්‍යුහාත්මක තල්ලු සාධක ආමන්ත්‍රණය කිරීම සඳහා මූලිකම කොන්දේසියක් වන්නේ විශ්ව විද්‍යාල වෙනුවෙන්  වඩා වැඩි අරමුදල් ප්‍රමාණයක් වෙන්කරවා ගැනීමයි. මේ ඔස්සේ කෙටි කාලීනව බඳවා ගැනීම් වැඩි කිරීම හා ඒ හරහා කථිකාචාර්යවරුන් මත පැටවෙන බර අඩු කිරීමත්, දිගු කාලීනව වඩා ඉහළ ගණයේ පර්යේෂණ හා ඉගැන්වීම් මට්ටමක් ළඟා කරගැනීමත් සිදුවනු ඇත. එසේම වැඩි අරමුදල් තුළින් විශ්ව විද්‍යාල වල යටිතල පහසුකම් තත්වය වැඩි දියුණු කිරීම, විශේෂයෙන්ම ප්‍රාදේශීය විශ්ව විද්‍යාල වල අනේක දුෂ්කරතා මැද සේවය කරන පිරිසගේ ජීවන මට්ටම ඉහළ දැමීම සිදුකළ හැකිවනු ඇත. දෙවනුව වඩා සාධාරණ, වඩා නිර්මාණශීලී සහ එනිසාම වඩා ඵලදායී බඳවා ගැනීමේ ප්‍රතිපත්ති හඳුන්වා දීමෙන් විනා කුසලතා සහිත කණ්ඩායම් විශ්ව විද්‍යාල වලට ආකර්ෂණය කරගැනීමට නොහැකි වනු ඇත. මේ අරමුණ සාධනය කරගැනීමට යැයි කියමින් කථිකාචාර්යවරුන් සඳහා පන්තිවාදී තර්කනයක් මත නිර්මාණය කළ ‘විශේෂ කුලකය’ ක් යෝජනා කරනු වෙනුවට, බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටීන් වෙනස් කළයුතු වේ. තෙවනුව, අභ්‍යන්තර ප්‍රතිසංස්කරණ ඔස්සේ විශ්ව විද්‍යාල තුළ මුල්බැස ගත් ධූරාවලිය දිගින් දිගටම ආක්‍රමණය කළ යුතුය. පෙර කී බඳවා ගැනීමේ පටිපාටි සංශෝධනය කිරීම මීට විශාල රුකුලක් වනු ඇත. ඊට අමතරව ලිංගික සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය (SGBV) මෙන්ම නවක වදය (බුද්ධි ගලනයට සෘජුව සම්බන්ධ නොවුනත්) වැනි භාවිතයන් වලට එරෙහිව දැඩි ප්‍රතිපත්ති හඳුන්වා දීමද අවශ්‍ය වේ. වඩා ආරක්ෂාකාරී, සාධාරණ සහ ආකර්ෂණීය රැකියා ස්ථානයක් නිර්මාණය කිරීම තුළින් කථිකාචාර්යවරු පද්ධතිය තුළ රඳවා ගතහැකි වනු ඇත.    

අරමුදල් වැඩිකිරීම හා සමගාමීව සිදුවිය යුතු තවත් දෙයක් නම් අපේ අපේක්ෂා වල ස්වභාවය පරිවර්තනයට ලක් කිරීමයි. බටහිර සමාජයන් ‘පාරාදීසයන්’ ලෙස කරන හුවා දැක්වීම ප්‍රශ්න කළහැකි, එසේම එම හුවා දැක්වීමෙහි පවතින යටත්විජිතවාදී භෞතික හා දෘෂ්ටිවාදාත්මක මානයන් මෙන්ම ඒවායෙහි ඓතිහාසික හා තත් කාලීන ප්‍රකාශ වීම් නිරාවරණය කළහැකි ආකාරයේ අධ්‍යාපනයක් ඒ සඳහා අවශ්‍ය වේ. එමෙන්ම මෙවැනි එළඹුම් නිසා සමාජ සාධාරණත්වයට මෙන්ම පෘථිවියේ ස්වභාවික පැවැත්මටද දැවැන්ත තර්ජනයක් එල්ල ව ඇතිබව අප මෙනෙහි කළ යුතුය. මෙවැනි පරිවර්තනීය අධ්‍යාපනයක් හුදු සමාජ ඉණිමඟේ ඉහළට යෑමට භාවිතා කරන මාධ්‍යයක් වෙනුවට, එම ඉණිමඟේ පැවැත්ම ම ප්‍රශ්න කිරීමට රුකුල් දෙන ආයුධයක් වනු ඇත. 

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *