අහිලන් කදිර්ගාමර්
සමහර වෙළඳ භාණ්ඩ වල ඇතුල් පැත්තේ එහි තත්ත්වය සහතික කරන ලද බවට දක්වන ලේබලයට මගේ අවධානය හැමවිටම ඇදී ගොස් ඇත. එම ලේබලය ලබා දීමට කවුරු එම භාණ්ඩය කුමනාකාර තත්ත්ව සහතිකකරණය කට භාජනය කළාද යන්න මගේ කුකුස හැමවිටම දනවන කරුණකි. නමුත් ඉතා ඉක්මණින් මට ඒ පිළිබඳව අමතකව යන්නේය. දශක ගණනකට පසු විශ්ව විද්යාල පද්ධතියට ප්රවිෂ්ඨ වීමේදී තත්ත්ව සහතිකකරණය පිළිබඳ මීට සමානම අවධාරණයක් කරනු දැකීම විමතියට හේතුවක් විය. එහෙත් අනෙක් වෙළඳ භාණ්ඩ මෙන් ඒ පිළිබඳ අමතක කළ නොහැක. මන්ද, සමස්ත විශ්ව විද්යාල පද්ධතිය ඒ සඳහාම වෙහෙස වන බැවිනි.
ශාස්ත්රීය කාර්ය මණ්ඩලය පුහුණු කිරීමේ වැඩසටහනේ සිටම තත්ත්ව සහතිකකරණය පිළිබඳ මේ මේනියාව තරුණ කථිකාචාර්යවරුන්ගේ මනසට කාවැද්දීම සිදු කෙරේ. එය විශ්ව විද්යාලය තුළ මේ වනවිට පිළිගත් හර පද්ධතියයි. එමඟින් කිසිදු හානියක් නොකෙරෙන බවත්, හුදු විශ්ව විද්යාලයේ තත්වය වැඩිදියුණු කිරීම අරමුණු කරන බවත් කියවේ. ඒ පිළිබඳ ප්රශ්න ඇසෙන්නේ නැති තරම්ය. තනි තනි දෙපාර්තම්න්තු වල කටයුතු පමණක් නොව සමහර අවස්ථා වල පීඨ තුළ කටයුතු පවා තත්ත්ව සහතිකකරණ කමිටු මඟින් අධීක්ෂණය වේ. පීඨාධිපතිවරු සහ උප කුලපතිවරු තත්ත්ව සහතිකකරණ විවරණ ගැන බිය වෙති. තත්ත්ව සහතිකකරණයේ අධිකාරියට සාපේක්ෂව විශ්ව විද්යාල ජීවිතය දෙවැනි තැන ලා ගැනේ. මෙම තත්ත්ව සහතිකකරණ පද්ධතිය විශ්ව විද්යාල වලට කෙබඳු බලපෑමක් එල්ල කරන්නේද යන්න විමසා බැලීම අද ලිපියේ අරමුණයි.
වාණිජ වහර
ලොව පුරා විශ්ව විද්යාල නවලිබරල් අධ්යාපන ප්රතිපත්ති ඔස්සේ දැවැන්ත පරිවර්තනයකට මුහුණ දෙමින් තිබේ. 1980 ගණන් වනවිට බොහෝ රටවල විශ්ව විද්යාල වාණිජ ව්යාපාර ලෙස පවත්වාගෙන යෑම ඇරඹී තිබුණි. විශ්ව විද්යාල කෙරෙහි රාජ්ය අනුග්රහය අඩු වෙත් වෙත්ම ප්රතිපාදන කපා හැරීම ආරම්භ විය. අනුබද්ධිත (adjunct) සහ අර්ධ කාලීන (part-time) කථිකාචාර්යවරු බඳවා ගැනීම, ගාස්තු අය කරන පාඨමාලා හඳුන්වා දීම, එසේ අය කරන ගාස්තු දශකයෙන් දශකය ඉහළ යෑම නිසා සිසුන්ගේ ණය බර ඉහවහා යෑම වැනි රෝග ලක්ෂණ වලින් මෙය ප්රකට විය. ඇමෙරිකාව තුළ අද වනවිට සමස්ත ශිෂ්ය ණය බර ඩොලර් ට්රිලියන දෙකකි. එනම් ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය මෙන් විසි ගුණයකි. බටහිර විශ්ව විද්යාල තුළ මේ විපරිවර්තනයත් සමඟ විශ්ව විද්යාල සභාපතිවරු, උපකුලපතිවරු සහ පරිපාලන නිලධාරීන් වශයෙන් වැඩි වැඩියෙන් බඳවා ගැනෙන්නට යෙදුනේ වාණිජමය පසුබිමක් සහ අත්දැකීම් සහිත නිලධාරීන් ය.
ලංකාව වැනි රටවලට ගෙඩි පිටින් ආනයනය කෙරුනේ මේ සංස්කෘතියයි. ඒ ඔස්සේ නව වාණිජ ශබ්ද කෝෂයක් හඳුන්වා දුනි. එහි වැඩියෙන්ම භාවිතා කෙරෙන පද අතර තත්ත්ව සහතිකකරණය, උපාධිධාරී ශක්යතා (graduate competencies), වැඩසටහන් නිමවුම් (programme outcomes), අපේක්ෂිත ඉගෙනුම් නිමවුම් (intended learning outcomes) වැනි දේ වේ. මෙකී නිමවුම් ලේඛනගත කිරීමට සාපේක්ෂව ඉගැන්වීම් ක්රියාවලියට ලැබෙන්නේ අඩු වැදගත්කමකි. ගුරුවරයා සහ ශිෂ්යයා අතර සම්බන්ධය, පන්ති කාමරයේ පරිසරය සහ විශ්ව විද්යාල පරිපාලනය වැනි මාතෘකා සියල්ලම වාගේ අද වනවිට මූලිකවම තීරණය වන්නේ තත්ත්ව සහතිකකරණ ක්රියාවලිය මඟිනි. මෙතරම් කෙටි කාලයක් තුළදී මෙතරම් දැවැන්ත වෙනස්කම් සමූහයක් සිදුවූයේ කෙසේද? මීට පරම්පරා දෙකකට පෙර සිටි ශාස්ත්රාලිකයන් මෙවැනි පද හෝ ක්රියාවලි පිළිබඳ අසා වත් තිබුණේ නැත.
ලෝක බැංකුවේ ට්රෝජන් අශ්වයා
2000 මුල ගණන් සිට හඳුන්වා දුන් බොහෝ ලෝක බැංකු ව්යාපෘති තුළින් ලංකාවේ විශ්ව විද්යාල වල ස්වභාවය දැඩි වෙනසකට ලක්කොට තිබේ. තත්ත්ව සහතිකකරණය විශ්ව විද්යාල වලට පැමිණෙන්නේ මේ ව්යාපෘති හරහාය. විශ්ව විද්යාල ප්රතිපාදන කොමිසමේ අධීක්ෂණය යටතේ හඳුන්වා දුන් Improving Relevance and Quality of Undergraduate Education (IRQUE) ව්යාපෘතිය සහ Higher Education for the Twenty-First Century (HETC) ව්යාපෘතිය ඒ අතර මූලික වේ. මහජනතාව බොහෝවිට සිතන්නේ මේවා විශ්ව විද්යාල නවීකරණය කිරීම සඳහා ලෝක බැංකුවෙන් ලැබුණු ආධාර බවයි. නමුත් ඒවා ආධාර නොව ණය පහසුකම් බව සිහිතබා ගත යුතුය.
මෙහි නවතම ව්යාපෘතිය වන Accelerating Higher Education Expansion and Development (AHEAD) 2018 සිට 2023 දක්වා ක්රියාත්මක වූ, ඩොලර් මිලියන 100 ක ණයක් විය. එමඟින් තත්ත්ව සහතිකකරණ ක්රියාවලි විශ්ව විද්යාල තුළ තහවුරු කරන්නට යෙදුනි. මෙම ව්යාපෘති ක්රියාත්මක කෙරෙන්නේද ලොකු අහංකාරයක් සහිතව ය. සය වසරක මේ ව්යාපෘතිය සඳහා වෙන් කෙරුණු මුදල, එම කාලය තුළ විශ්ව විද්යාල වෙනුවෙන් කළ සමස්ත අරමුදල් වෙන් කිරීමෙන් හතරෙන් එකක් පමණක් වුවද, ව්යාපෘතියෙහි ක්රියාත්මක වීම විශ්ව විද්යාල වල අනෙකුත් සියළුම කරුණු වලට වඩා ප්රමුඛතාවය ලබාදුන් කරුණක් විය.
AHEAD ව්යාපෘතිය තුළින් විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම වාගේ වෙනස් කිරීම, STEM විෂයන් (විද්යා, තාක්ෂණ, ඉංජිනේරු හා ගණිත) සඳහා බඳවා ගැනෙන සිසුන් ප්රමාණය වැඩි කිරීම, විශ්ව විද්යාල පර්යේෂණ න්යාය පත්රය වානිජකරණය සහ විශ්ව විද්යාල-කර්මාන්ත සම්බන්ධතා ඇති කිරීම යන දේ සිදුකෙරුණි. ඒ සියල්ල සාධාරණීකරණය කෙරුණේ සංවර්ධන අභියෝග ජයගැනීමෙ හි ලා ඒවා වැදගත් වන බව පවසමිනි. එමඟින් විශ්ව විද්යාල අරබයා දියත් කෙරුණු ආක්රමණත්, අපේම සිසුන් පවා තමා ‘රැකියා නියුක්තියට නුසුදුසු’ උපාධිධාරීන් බව පවසන අයුරුත් අපි අත්දැක්කෙමු. අපේ උසස් අධ්යාපන පද්ධතියට හඳුන්වා දෙන ලද මේ වෙනස්කම් තුළින් රැකියා ජනනය සහ රැකියා නියුක්තියෙහි වර්ධනයක් වන බවට පොරොන්දුවක් විය.
මෙහි උත්ප්රාසය වන්නේ සිය ඉලක්ක වලට ළඟා වන බවට AHEAD ව්යාපෘතිය මඟින් ඇස්තමේන්තු කොට තිබූ, එනිසාම එය නිමාවට පත්වූ 2023 වසර වනවිට ලංකා ආර්ථිකය කඩා වැටෙමින් තිබීමයි. ලෝක බැංකුව සාමාන්යයෙන් කොහොමත් හේතු-ඵල සම්බන්ධතා තේරුම් ගන්නේ වැරදි පැත්තට ය. උපාධිධාරීන්ට රැකියා නිර්මාණය කරන්නේ ආර්ථිකය මිස, ඔවුන්ට ලබාදෙන පුහුණුව නොවේ. ලංකාව පමණක් නොව ගෝලීය දකුණේ වෙනත් බොහෝ රටවලද තරුණ රැකියා වියුක්තිය ඉහළ මට්ටමක පවතින්නේ ලෝක බැංකුව හා එහි දෘෂ්ටිවාදී නිවුන්නා වන ජාත්යන්තර මූල්ය අරමුදලෙහි ප්රතිපත්ති නිසාය.
ලංකාව 2023 මාර්තු මාසයේදී ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ ගිවිසුමකටත්, එම වසරේ ජූනි මාසයේදී ලෝක බැංකුව සමඟ හවුල්කාරීත්ව රාමුවකටත් එළඹුණි. රජයේ මූලිකත්වයෙන් කර්මාන්ත හෝ රැකියා ජනන ප්රතිපත්ති නිර්මාණය කිරීම මේ දෙකෙන්ම අධෛර්යමත් කෙරේ. ඒ වෙනුවට යෝජනා කෙරෙන්නේ වියදම් කපා හැරීමයි. නමුත් වියදම් කපා හැරීම නිසා අධ්යාපනය ඇතුළු වෙනත් ක්ෂේත්ර වෙනුවෙන් දැරිය හැකි බරපැන ප්රමාණය අඩු වනවා පමණක් නොව, ආර්ථිකයද හැකිලේ. මේ දෙකෙන්ම සිදුවන්නේ රැකියා නියුක්තිය වැඩිකිරීමේ අවස්ථා අහිමිව යෑමයි. ඉහත ආයතන වල අරමුණ වන්නේ අධ්යාපනය වානිජකරණය තුළින් විශ්ව විද්යාල ව්යාපාර බවට පත්කොට, කර්මාන්තශාලා මෙන් ඒවා දිවවීමයි.
මේ පසුබිම තුළ තත්ත්ව සහතිකකරණයේ දෘෂ්ටිවාදය ඉතා බලසම්පන්න වී ඇත. තත්ත්ව සහතිකකරණ සංකල්පය හඳුන්වා දුන්නේ වෙළඳපොල ප්රමිති පිළිබඳ ප්රවීණයකු වන ප්රමිතිකරණය පිළිබඳ ජාත්යන්තර සංවිධානය (International Organization for Standardization – ISO) යි. ඔවුන් තත්ත්ව සහතිකකරණය යෝජනා කළේ අඩුපාඩු සහිත වෙළඳ භාණ්ඩ හඳුනාගැනීම සඳහා ය. එනිසා ලෝක බැංකුව ප්රවර්ධනය කරන මේ සංකල්පීමය රාමුව තුළ අපේ සිසුන් කර්මාන්ත ශාලාවක එකලස් කිරීමේ රේඛාවේ ඇති නිෂ්පාදන ලෙස සළකන බවත්, ඒවා අඩුපාඩු සහිතව කර්මාන්ත ශාලාවෙන් පිටවීම වැළක්වීම අරමුණු කරන බවත් අප හඳුනාගත යුතුය. AHEAD ව්යාපෘතිය යටතේ ලබාගත් ඩොලර් මිලියන 100 ණය හෝ වෙනත් ලෝක බැංකු ව්යාපෘති තුළින් ලබාදුන් එවැනි තවත් ඩොලර් මිලියන ගණනාවක ණය නිසා උපාධිධාරී රැකියා නියුක්තිය වැඩි වූ බවට නම් කරුණු නැත.
භාණ්ඩ මෝහය
ශතවර්ෂ එක හමාරකට පමණ පෙර එවක තිබූ ආර්ථික විශ්ලේෂණ විවේචනය කරමින් කාල් මාක්ස් පැවසුවේ වෙළඳ භාණ්ඩ වලට තමාටම සුවිශේෂී වටිනාකමක් ඇති බව සැළකීමට එම ප්රවේශ තුළ ප්රවණතාවක් පවතින බවයි. ඒ වෙනුවට එම භාණ්ඩ නිෂ්පාදනයට පදනම් වන සමාජ සම්බන්ධතා දෙස බැලිය යුතු බව ඔහු තර්ක කළේය. එසේ නැතිව වෙළඳ භාණ්ඩ තනි වස්තුවක් සේ දැකීමට ඔහු ලබාදුන් නම ‘භාණ්ඩ මෝහය’ යි. මිනිසුන් තමා අවට ලෝකයෙන් හුදෙකලා වීමට මේ දැක්ම හේතුවක් වනබව මාක්ස් පෙන්වා දුනි. අපේ ශ්රමයත්, එය භාවිතා කොට අප නිර්මාණය කරන දේත් ඒවාට යටින් පවතින සමාජ සබඳතාවලින් වියුක්තව දකින විට, ජනතාව සහ ලෝකය සමඟ අපට ඇති සම්බන්ධය ගිලිහී යයි. එවිට අපේ නිෂ්පාදන හා ලෝකය යන දෙකෙන්ම බැහැර වීමක් සිදුවේ.
අපි දැන් ජීවත් වන ලෝකය තුළ අපේ සිසුන්ව දකින්නේද වෙළඳපොල සඳහා තැනූ වෙළඳ භාණ්ඩ ලෙසය. විශ්ව විද්යාල තවදුරටත් දැනුම සහ මානව ප්රගතිය පිළිබඳ කරදර වන ප්රජාවන් නොවේ; නිෂ්පාදන තනන කර්මාන්ත ශාලාවන්ය. ඒවායෙහි එකම අරමුණ වන්නේ අඩුපාඩු වලින් තොර නිෂ්පාදන වෙළඳපොලට සැපයීම ය. ඒ අනුව සිසුන්ගේ, ගුරුවරුන්ගේ පමණක් නොව සමස්ත විශ්ව විද්යාලයෙහි ද හුදෙකලා වීමට තත්ත්ව සහතිකකරණ ක්රියාවලිය හේතු වේ. ඒ, එමඟින් අපේ සමාජ-ආර්ථික සම්බන්ධතා වලින් අපව දුරස් කරන බැවිනි.
අපේ විශ්ව විද්යාල පද්ධතියට ප්රතිසංස්කරණ අවශ්ය නැත. අරමුදල් සැපයීම අවම කොට ඇති එයින් සිසුන්ට අවශ්ය මූල්ය සහයෝගය හා පහසුකම් ලබාදේ යැයි බලාපොරොත්තු විය නොහැක. දැනුම් සම්පාදනයට අවශ්ය ශාස්ත්රීය නිදහස සහ ප්රජාතන්ත්රවාදී පරිසරයෙන් තොර, ධූරාවලිගත අවකාශයන් බවට ඒවා පරිවර්තනය වී ඇත. විශ්ව විද්යාල ගුරුවරුන් සහ සිසුන් යන දෙපිරිසම සිය ප්රජාවන් සමඟ වැඩි වැඩියෙන් ගනුදෙනු කිරීම ඔස්සේ ඉගෙනුම් සහ පර්යේෂණ ක්රියාවලි වඩාත් අර්ථාන්විත කරගත යුතුවාක් මෙන්ම, ඒ ඔස්සේ සමාජයට වැඩි දායකත්වයක් සැපයීමත්, එම සමාජය හා වැඩියෙන් ඒකාබද්ධ වීමත් කළයුතු වේ. විශ්ව විද්යාල පරිපාලනය සහ නියාමනය ගැන ආරම්භ වන හැම සාකච්ඡාවක්ම ප්රමිතිය වැඩිදියුණු කිරීම පිළිබඳ කතිකාවට ලඝු වේ. නමුත් විශ්ව විද්යාල පද්ධතිය අඩාල කරන ව්යුහාත්මක සාධක පිළිබඳ අවධානය යොමු කිරීම දිගින් දිගටම මඟ හැරියහොත් එහි අබලන් බව ප්රතිනිෂ්පාදනය වීම වැළක්විය නොහැක. මේ ගැටළුව ආමන්ත්රණය කළහැකි එකම ආකාරය නම් තත්ත්ව සහතිකකරණය එය ආරම්භ වූ තැනටම සීමා කිරීමයි: එනම් කුඩා, අපේ අවධානය ඇද ගන්නා, නමුත් ඉක්මණින් අමතක වන සුළු ලේබලයක්.


