රම්‍යා කුමාර්
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අනුබද්ධිත තත්ත්ව සහතිකකරණ කවුන්සිලයට (Quality Assurance Committee – QAC) අනුව තත්ත්ව සහතිකකරණය යනු “යම් ආයතනයක් විසින් සපයනු ලබන අධ්‍යාපනික සේවාවන්හි ප්රමිතීන් සහ ගුණාත්මකභාවය පවත්වාගෙන යන බවත්, ඒවා තවදුරටත් වැඩිදියුණු කෙරෙන බවත් විශ්වාසයෙන් හා නිශ්චිතව සහතික කර ගැනීමට එම ආයතනයට ඉඩ සලසන මාර්ග (එනම් ප්‍රතිපත්ති, ආකල්ප, ක්‍රියාමාර්ග, ක්‍රියා පටිපාටි ආදිය)” වේ.
2005 වසරේ සිට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය තුළ තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලි ක්‍රියාත්මකකරණය සහ නියාමනයට ඉතා පුළුල් ව්‍යුහයක් හඳුන්වා දී ඇත. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තුළ රාජ්‍ය විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන වල බාහිර සමාලෝචන ක්‍රියාත්මක කරන මූලිකම ආයතනය වන්නේ QAC යයි. මෙහි මාර්ගෝපදේශ මත පදනම්ව තත්ත්ව සහතිකකරණය ක්‍රියාවට නැංවීම සඳහා තනි තනි විශ්ව විද්‍යාල තුළද තත්ත්ව සහතිකකරණ මධ්‍යස්ථාන (Centre for Quality Assurance) පිහිටුවා තිබේ. ඊට අමතරව පීඨ මට්ටමින් මේ සඳහා අභ්‍යන්තර තත්ත්ව සහතිකකරණ සෛල (Internal Quality Assurance Cells) පිහිටුවා ඇති අතර, පීඨය තුළ තත්ත්ව සහතිකකරණය පිළිබඳව එහි තක්සේරුව සම්බන්ධයෙන් CQA යට පිළිතුරු දීමට ඔවුන් බැඳී ඇත.
ගැටළුව වන්නේ විශ්ව විද්‍යාල පාලනයට අදාළ අභ්‍යන්තර ව්‍යුහයන් දුර්වල කරන මේ පුළුල් පද්ධතිය තුළින් විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ප්‍රමිතිය වර්ධනය කිරීමට දායකත්වයක් දැක්වෙන්නේද යන්නයි. මේ ලිපිය තුළ ඒ සම්බන්ධ පැතිකඩ කිහිපයක් සාකච්ඡාවට බඳුන් කොට ඇත.
ඉහළ සිට පහළට ගලා එන විධාන සහ කරන්නන් වාලේ කරන ක්‍රියාකාරකම්
QAC ය විසින් විශ්ව විද්‍යාල සහ එහි උපාධි පාඨමාලා පිළිබඳ බාහිර තත්ත්ව සහතිකකරණ තක්සේරු සිදුකරනු ලබයි. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මඟින් පත්කරනු ලබන ඇගයුම් කණ්ඩායමක් විසිනි අදාළ ආයතනය හෝ වැඩසටහන ලබාදෙන ස්වයං ඇගයුම විමර්ශනය කරන්නේ (අදාළ ආයතනය හෝ වැඩසටහන පිළිබඳ ඔවුන්ට දැනුමක් තිබීමට හෝ නොතිබීමට ඉඩ ඇත). ස්වයං ඇගයුම් වාර්තාවේ කියා ඇති දේ වල වලංගු භාවය තහවුරු කරගැනීම, ඒ මත පදනම්ව මතුවූ ගැටළු නිරාකරණය කරගැනීම සහ තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලිය ප්‍රායෝගිකව දිගහැරෙන අන්දම නිරීක්ෂණය කිරීම සඳහා කණ්ඩායම අදාළ ආයතනය වෙත යෑම ඉන්පසුව සිදුවේ. විශ්ව විද්‍යාල පරිපාලනය, මණ්ඩලය (Council) සහ ශාස්ත්‍රීය සභාවේ (Senate) සාමාජිකයින්, පීඨාධිපතිවරු, අංශාධිපතිවරු, ශාස්ත්‍රීය සහ ශාස්ත්‍රීය නොවන කාර්ය මණ්ඩල සාමාජිකයන්, සිසුන් සහ වෙනත් පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීම එහිදී සිදුවේ. ඉන්පසු සම්පාදනය කරන වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට පෙර අදාළ ආයතනය හෝ වැඩසටහනට ඉදිරිපත් කරනු ලබයි. එහි නිර්දේශ සම්බන්ධයෙන් තමා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සැලසුමක් එම ආයතනය හෝ වැඩසටහන විසින් ඊට ප්‍රතිචාරයක් වශයෙන් සකස් කොට ප්‍රකාශයට පත්කරන අතර, ප්‍රගතිය මැනෙන්නේ ඒ මත පදනම්වය.
ආබාධ සහිත සිසුන් සඳහා පවතින පහසුකම් වැඩිදියුණු කිරීම, ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය ආමන්ත්‍රණය කිරීම සඳහා පවතින යාන්ත්‍රණ තවදුරටත් ශක්තිමත් කිරීම වැනි සාධනීය ප්‍රතිඵල ද තත්ත්ව සහතිකරන ක්‍රියාවලිය නිසා අත්ව ඇති බව පිළිගත යුතුය. නමුත් බහුතරයක් අවස්ථා වල මේ ක්‍රියාවලි තුළින් අධ්‍යාපනයේ ප්‍රමිතිය වැඩි කිරීමට දායකත්වයක් ලබා නොදෙන තරම්ය. ඒවායෙන් බොහෝවිට කෙරෙන්නේ පීඨ සහ දෙපාර්තමේන්තු වෙබ් අඩවි අධීක්ෂණය කිරීම, ඩිජිටල් පරිවර්තනය, සිසු ප්‍රතිපෝෂණය, විෂයික ඇගයුම, පාඨමාලා ඇගයුම, සමිසුරු ඇගයුම (peer evaluation) සහ වඩාත් මෑත කාලීනව කාර්ය මණ්ඩල ඇගයුම (staff appraisal) වැනි ක්‍රියාකාරකම් පමණි. මේවා සම්පූර්ණ කිරීම සඳහා වැය කරන්නට සිදුවන අධිකතර කාලය විශේෂයෙන්ම කාර්ය මණ්ඩල හිඟතා පවතින විශ්ව විද්‍යාල වලට ලොකු පීඩනයකි. එසේම ඒවා සම්පූර්ණ කිරීමේ අරමුණ වන්නේ ද ඊළඟ තත්ත්ව සහතිකකරණ ඇගයුම් ක්‍රියාවලිය සඳහා අවශ්‍ය සාක්ෂි ගොනු කිරීමය. පහත දක්වා ඇති සංවාදය තුළ 1 සහ 2 යනුවෙන් හඳුන්වනු ලබන කථිකාචාර්යවරු දෙදෙනෙක් විශ්ව විද්‍යාල තුළ මේ තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලිය දිගහැරෙන ආකාරය සාකච්ඡා කරති (අවසර සහිතව මෙහි උපුටා දක්වා ඇත).
1 – ඒක නිකං සමාජ මාධ්‍ය වගේ. ඒ කියන්නෙ Facebook, Twitter නැත්තං Instagram වල දෙයක් දානවා වගේ. මිනිස්සු සමාජ මාධ්‍ය වල ගොඩක් ඉන්නකොට කොයි දේ කරන්නෙත් “මේක මං මේ විදිහට share කරනවා” කියල හිතලනෙ. තත්ත්ව සහතිකකරණයත් ටිකක් ඒ වගේ. “මේක QA review එකට පාවිච්චි කරන්න පුළුවන්” කියල හිතලයි කරන්නෙ. උදාහරණයක් විදියට ළඟදි අපිට කිව්වා අපේ අංශයේ කෙරෙන හැම කටයුත්තක්ම පීඨ පුවත්ලිපිය ට (faculty newsletter) ඇතුළත් කරන්න, එතකොට QA review එකේදි සාක්ෂි විදියට දාන්න පුළුවන් කියල. ඒ වගේ හැම දෙයක්ම ලියා තියන්න ඕනෙ.
2 – ඔව්. පින්තූර එහෙමත් දාන්න කියනවනේ.
1 – අඩුම වශයෙන් ලියා තියන්න ඕනි, මොකද එතකොට සාක්ෂි විදියට ගන්න පුළුවන් නිසා. නමුත් කරන්නන් වාලේ දේවල් කරලා වැඩක් නෑ. සමහර වෙලාවට “ආ මෙන්න මේ දේ QA review එකේ මේ අහවල් කොටස යටතට වැටෙනවා” වගේ දේවල් මිනිස්සු කියනවා.
2 – ඔව්. නමුත් කවුරුත් ඒ දේවල් වල ප්‍රතිඵලය දිහා බලන්නෙ නෑ. මේ දේවල් වලින් ඇත්තටම කාට හරි උදව්වක් වෙනවද කියන දේ.
1 – අපි වෙනත් අර්ථ වලින් පාවිච්චි කරපු වචනත් QA වලින් ඈඳාගෙන තියෙනවා, හැබැයි වෙනමම අරුතක් දෙන විදිහට. ‘තත්වය’ කියන වචනෙත් ඇතුළත්ව. උදාහරණයක් විදියට ‘ප්‍රතිඵලය’ (outcome) කියන වචනෙ තේරුම හරියටම කියන්න අමාරුයි. සමහර වෙලාවට මම කියනවා මේ වැඩසටහනේ ප්‍රතිඵලයක් විදියට මගේ සිසුන් මෙන්න මේ මේ දේ ගැන හිතන්න යොමු වීම බලාපොරොත්තු වෙනවා කියල. නමුත් එතකොට මට ලැබෙන ප්‍රතිචාරය තමයි “‘හිතන්න යොමු වීම’ කියන එක බ්ලූම් ගේ වර්ගීකරණයේ අඩංගු වචනයක් නෙමෙයි” කියන එක.
2 – වෛද්‍ය අයයි කෘෂිකර්ම අයයි තමයි අමාරුම. ඒගොල්ලො මේක පරම සත්‍යය වගේ පතුරවන්නේ!
1 – ඔව්. ඒගොල්ලො මේක හරි නවීන, නිර්මාණශීලී දෙයක් විදියට හිතාගෙන හිටියට ඒක ඇත්තටම එකම අච්චුවට හැමදේම කරන, හරිම සාමාන්‍ය දෙයක්. ලොකුම පාඩුව තමයි මේ ‘සාමාන්‍ය’ ගතිය දැන් හැම තැනම පැතිරෙන දිලීරයක් වගේ වෙලා තියෙන එක.
2 – ඔව්. දැන් QA කියපු ගමන් මගේ මොළේ වැඩ කරන එක නතර වෙනවා. එතනින් එහාට මං අහගෙන ඉන්නෙත් නෑ.
බලය හැර අනෙක් සියළු දේ ඇතුළත් කිරීම
විශ්ව විද්‍යාල පාලනයේ ඉතා වැදගත් කොටස් තත්ත්ව සහතිකකරණය මඟින් ආමන්ත්‍රණය නොකෙරේ. නිදසුනක් ලෙස පළමු නිර්ණායකය යටතේ විශ්ව විද්‍යාල පරිපාලනයේ ප්‍රමිතිය මැනීමට කිසිදු මිම්මක් නැත; එසේම 6 වන නිර්ණායකය යටතේ ශාස්ත්‍රීය කාර්ය මණ්ඩල උසස්වීම් ක්‍රියාවලි වල අවංක බව මැනීමේ කිසිදු ක්‍රමයක් අඩංගු නොවේ.
උපකුලපති පත්කර ගැනීම ඇතුළු කාර්යයන් ඉටු කරන විශ්ව විද්‍යාලයේ විධායක පාලන ව්‍යුහය වන මණ්ඩලය (Council) පත් කිරීමට නිසි පිළිවෙළක් නොමැත. උපකුලපති සහ පීඨාධිපතිවරු ඇතුළු නිල බලයෙන් පත්වන සාමාජිකයින් හා ශාස්ත්‍රීය මණ්ඩලයෙන් (Senate) පත්කර එවන සාමාජිකයින් දෙදෙනා හැරෙන්නට, මණ්ඩලයේ අනෙක් සියළුම සාමාජිකයින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මඟින් පත් කරන්නේ කිසිදු විධිමත් උපදෙස් ලබා ගැනීමක් හෝ පිරික්සුමකින් තොරවය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් චක්‍ර ලේඛ අංක 03/2023 ප්‍රකාරව උපකුලපති පත් කරන ආකාරය දෙස බැලූ විට, තාක්ෂණික යැයි සම්මත ක්‍රියාවලියක් ඇත්තෙන්ම ඉතා ගැඹුරින් දේශපාලනීකරණය වී ඇති අයුරු හොඳින් වටහා ගත හැකි වේ. මේ සඳහා ඉල්ලුම්පත් කැඳවන්නේ විශ්ව විද්‍යාල ලේඛන භාර නිලධාරියා (එනම් රෙජිස්ට්‍රාර්) විසින් ප්‍රසිද්ධ දැන්වීමක් මඟිනි. අයදුම්කරුවන් සිය සුදුසුකම් දක්වන විස්තරයක් (CV), අදාළ විශ්ව විද්‍යාලය සඳහා සිය දැක්ම සහ වෙනත් සහයක ලේඛන ඉදිරිපත් කළ යුතුය. එම විශ්ව විද්‍යාලයේ මණ්ඩලය මඟින් ‘කීර්තිමත් පුද්ගලයින්’ අයදුම්පත් කැඳවීමේ ක්‍රියාවලියට ආකර්ෂණය කරගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ ශාස්ත්‍රීය කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකුගෙන් යුත් ‘ගවේෂණ කමිටුව’ ක් පත්කරනු ලබයි. එම ක්‍රියාවලිය ‘නිරීක්ෂණය’ සඳහා වෙනත් විශ්ව විද්‍යාලයක උප කුලපතිවරයකු පත් කරනු ලබන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මඟිනි.
ඉන් අනතුරුව විශ්ව විද්‍යාල මණ්ඩලයේ විශේෂ රැස්වීමක් කැඳවනු ලැබේ. අයදුම්කරුවන් සම්මුඛ සාකච්ඡාවකට බඳුන් කෙරෙන අතර, එහිදී අසන ප්‍රශ්න වලට පිළිතුරු ලබාදිය යුතුය. නිර්ණායක 7 ක් මත පදනම්ව සෑම මණ්ඩල සාමාජිකයෙක්ම අපේක්ෂකයාට ‘ලකුණු’ ලබාදීමක් සිදුකෙරේ: උපායමාර්ගික දැක්ම (20%); ඵලදායී නායකත්වය (20%); සාකල්‍ය චින්තනය/සංකල්පීමය කුසලතා (10%); ශාස්ත්‍රීය සහ පර්යේෂණ විශිෂ්ටත්වය (15%); පෞද්ගලික අවංකභාවය (10%); වෘත්තීමය සන්නිවේදනය (10%); සහ කළමනාකරණ නිපුණත්වය (15%) යනු ඒවාය. ලකුණු වල සාමාන්‍යය ලබාගත් පසු, ඉහළම තිදෙනා මණ්ඩලය විසින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට යොමු කරනු ලබයි. කොමිසම මඟින් පත්කරන ලද නිරීක්ෂකයාද මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් වෙනමම රහස්‍ය වාර්තාවක් කොමිසමට ලබාදීමට කටයුතු කරයි.
මේ ක්‍රියාවලියේ අරමුණ තත්වය සහතික කිරීම වුවද, එය එසේ සිදු වන්නේද යන්න ගැටළුවකි. මණ්ඩල සාමාජිකයින් බොහෝවිට පත්වන්නේ ප්රශ්නකාරී පදනමක් මතය. බොහෝ අවස්ථා වල ඔවුන්ට අයදුම්කරුවන් හා පෞද්ගලික සම්බන්ධතා පවතින අතර, ඒ මඟින් ඔවුන් බලපෑමට ලක්වේ. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මඟින් පත්කරන නිරීක්ෂකයාට මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් බොහෝවිට උනන්දුවක් නැත. එසේම මණ්ඩලයේ තීරණය ප්‍රශ්න කිරීමේ හැකියාවක් කිසිවකුට නොවේ. අවසන් තිදෙනාගෙන් ඉහළම ලකුණු ලැබූ අපේක්ෂකයා පත් කිරීම සාමාන්‍ය සිරිත වුවද, එහි අවසාන බලය ඇත්තේ ජනපතිට නිසා එය ඉතා දේශපාලනික තීරණයක් බවට පත්වීමේ හැකියාව පවතී.
බාහිර තත්ත්ව සහතිකකරණ තක්සේරු වලින් සැළකිල්ලට නොගන්නා තවත් කරුණක් වන්නේ ශාස්ත්‍රීය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ උසස් වීම්ය. ඒවාට අදාළ ක්‍රියා පටිපාටි ඇතිද යන වග විභාග කිරීමෙන් එහා අවධානයක් මෙම ක්‍රියාවලි මඟින් උසස් වීම් වලට යොමු කරන්නේ නැත. මහාචාර්ය පදවියට අයදුම් කිරීමට නම් කථිකාචාර්යවරයකු සම්පූර්ණ කළයුතු සුදුසුකම් වන්නේ සේවා කාලය, අධ්‍යාපන සුදුසුකම් සපුරා තිබීම, පර්යේෂණ ජයග්‍රහණ හා ප්‍රකාශන, ඉගැන්වීම් අත්දැකීම් සහ විශ්ව විද්‍යාලයට සහ බාහිර සමාජයට දක්වා ඇති දායකත්වය යන ඒවාය. මේ අතරින් පර්යේෂණ සහ ශාස්ත්‍රීය දායකත්වය යන ඒවා තක්සේරු කරන්නේ ලිඛිත සාක්ෂි සහ විශේෂඥ ඇගයුම් මත පදනම්වය. මේ සම්බන්ධව ඇති විධි විධාන වලට අනුව, අයදුම්කරුගේ ක්ෂේත්රයෙන් පිටත විශේෂඥයින් දෙදෙනෙකු විසින් අයදුම්කරුගේ පර්යේෂණ කොතරම් දුරට සමාජගත වී ඇතිද (dissemination) යන්න තක්සේරු කරනු ලැබේ. මෙයද බැලූ බැල්මට තාක්ෂණික ක්‍රියාවලියක් වුවද, එය කිසිදු බියකින් හෝ බාධාවකින් තොරව අනිසි ලෙස හසුරුවා ගැනීමට සහ අවභාවිත කිරීමට ඉඩ ඇති, ඉතා ප්රශ්නකාරී ‘ලකුණු’ ක්‍රමයක් මත පදනම් වූවකි.
විශ්ව විද්‍යාල තත්ත්ව සහතිකකරණය පිළිබඳ නැවත සිතා බැලීම
උපකුලපති පත් කරගැනීම සහ ශාස්ත්‍රීය කාර්ය මණ්ඩල උසස් වීම් මෙන්ම, තත්ත්ව සහතිකකරණයද පෞද්ගලික න්‍යාය පත්‍ර මඟින් බලපෑමට ලක්විය හැකි ක්‍රියාවලියකි. මෙවැනි තක්සේරුවකට පෙර සාමාන්‍යයෙන් සාක්ෂි රැස් කිරීමට ලොකු කලබලයක් පවතී. කථිකාචාර්යවරු සිය සියළු වැඩ (සමහර අවස්ථා වල ඉගැන්වීම පවා) පසෙක දමා ඒ සඳහා මහන්සි වන අයුරු දැකිය හැකිය. එහෙත් සියල්ලන්ට පොදුවේ පනවා ඇති ප්‍රමිති නිර්ණායක තුළින් විෂයයන් හා ආයතන අතර ඇති වෙනස්කම් පිළිබඳ සළකා බලන්නේ නැත. විවිධ විෂයයන් හා ආයතන විසින් කරන්නේද තමන්ට බලපාන දැවෙන ගැටළු සඟවා දැමීම මඟින් වඩා හොඳ ලකුණක් ලබා ගැනීමට උත්සුක වීමයි.
තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලිය අර්ථාන්විත කළහැකි එකම ආකාරය නම් එය දෙපාර්තමේන්තු හා පීඨ මට්ටමින් ආරම්භ වන එකක් බවට පරිවර්තනය කිරීමයි. විශ්ව විද්‍යාලයක් පාලනය කිරීමේ සියළුම අංග එමඟින් ආමන්ත්‍රණය වියයුතු අතර, ප්‍රමාණවත් සම්පත් ඒ සඳහා වෙන්විය යුතුය. එමෙන්ම වගවීම තිබිය යුත්තේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නොව, අපේ සිසුන් සහ ප්රජාවන්ටය.


