කෞශල්යා පෙරේරා
රාජ්‍ය විශ්ව විද්‍යාල පිලිබඳව ඇති මූලික චෝදනාව වන්නේ ඒවායින් බිහි කරන විද්‍යාර්ථීන්ට රැකියා ලබාගැනීමට ඇති නොහැකියාවයි. ලාංකීය ආණ්ඩු මගිනුත්, ලෝක බැංකුව මගිනුත් දශක කිහිපයක් තිස්සේ මෙය එම විද්‍යාර්ථීන්ගේ ඉංංග්‍රීසි භාෂාවේ අඩුකම සහ පරිගණක හසුරුවීමේ නොහැකියාවට ලඝු කිරීමට වෑයම් කර ඇත. ඒ කතිකාව සාර්ථකව ජනගත වී ඇති බව අපට පෙනී යන්නේ විද්‍යාර්ථීන් ගැන කතා කිරීමේදී මහජන කතිකාව මේ දේවලට පමණක් සීමා වීමෙනි. අධ්‍යාපනයට රාජ්‍ය ආයෝජන ක්‍රමක්‍රමයෙන් අඩුකිරීම විශ්ව විද්‍යාල වල ප්‍රශ්න වලට මූලික හේතුවක් වන බව පෙන්වීමට උත්සාහයක් තිබුනද, ආණ්ඩුවල අදහසට අනුව රැකියාවකට සුදුසු විද්‍යාර්ථීන් බිහි කල යුත්තේ 2003 සිට ලෝක බැංකුවෙන් ලබා ගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 180 ණයෙන් මිස රාජ්‍ය ආයෝජනයෙන් නොවන බව අපට පෙනී යන්නකි.
උසස් පෙල විභාගයෙන් සමත් වී, සීමිත වූ විශ්ව විද්‍යාල ප්‍රවේශයෙන් විශ්ව විද්‍යාලටද ඇතුළු වී, ඉන් උපාධියක් ලබන උගත් තරුණයෙක් හෝ තරුණියක් රැකියාවක් ලැබීමට නොසුදුසු වන්නේ කෙසේද? කුමන හේතු නිසාද? ආණ්ඩු කිවූ ආකාරයට ඒ, රැකියාවකට අවශ්‍ය දැනුම හෝ හැකියාවන් නොමැතිකම නිසාම විය හැක. එහෙත් රැකියාවක් ලබාගැනීමට හෝ සොයාගැනීමට නම් රටක රැකියා අවස්ථාවන් ද තිබිය යුතුය. මේ සම්බන්ධයෙන් ලංකා ආණ්ඩුවලින් ලබා දී ඇති විසඳුම වන්නේ රැකියා නොමැති තරුණයින් විශාල ප්‍රමාණයක් රාජ්‍ය අංශයට බඳවා ගැනීමත්, ඒත් සමඟම විශ්ව විද්‍යාල වලට රැකියා මූලික වෙනස්කම් කිරීමට බලකිරීමත් ය. බොහෝ කලක් සිට ලංකාවේ දක්නට ලැබෙන රැකියා සාගතය නිසා අද වනවිට රැකියා ලබාගන්නා සහතිකම මාර්ග බවට ඥාති සංග්‍රහය සහ හිතවත්කම් භාවිතය පත්වී ඇත. එනිසා රැකියා නොමැති විද්‍යාර්ථීන් සම්බන්ධයෙන් රැකියා ප්‍රවර්ධනය සම්බන්ධව ඇති – එහෙත් ඔවුන් අතහැර දැමූ – රාජ්‍ය වගකීම ගැන කතාකිරීම අත්‍යවශ්‍යය.
කොලිටිය මැනීම
1978 විශ්ව විද්‍යාල පනතින් විශ්ව විද්‍යාල වල තත්ත්ව, හෙවත් කොලිටිය,මැනීමට සහ ඒ සඳහා අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට අවශ්‍ය සියළු බල තල ලබා දී ඇත. එහෙත් 2003 දී විශ්ව විද්‍යාල වලට ලබා දුන් පළමු ලෝක බැංකු ණය ව්‍යාපෘතිය වන ‘උපාධි අපේක්ෂ අධ්‍යාපනයේ අදාලතාවය සහ ගුණාත්මකභාවය දියුණු කිරීම’ (Improving Relevance and Quality in Undergraduate Education) මගින් රාජ්‍ය විශ්ව විද්‍යාල වල කොලිටිය මැනීමට නව තත්ත්වාරක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දුනි. ඒ, සේවායෝජකයා හමුවේ විද්‍යාර්ථීන්ගේ රැකියාමූලික අගය සහ ආකර්ෂණය වැඩි කිරීමටයි.
ඉන්පසු, මේ නව තත්ත්වාරක්ෂණ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට උසස් අධ්‍යාපනය සියල්ල එකවාගේ විය යුතු නිසා, ඒ සඳහා ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේෂය (Sri Lanka Qualifications Framework) යන රාමුවක් ද මේ ලෝක බැංකු ව්‍යාපෘතිය හරහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම හඳුන්වා දුන්නේය. සහතික පත්‍ර පාඨමාලා සිට ආචාර්ය උපාධි දක්වා පාඨමාලාවල ආකෘතිය, අවම සුදුසුකම්, ඉන් පිටකරන පුද්ගලයින්ගේ ගුණාංග වැනි සියළු දෙයට නිර්ණායක එම මාර්ගෝපදේෂයෙන් ලබා දී ඇත. රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ සියළුම විශ්ව විද්‍යාල මේ වන විට ඒ අනුව කටයුතු කල යුතු අතර, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමටම මුදල් ගෙවා කොලිටිය මැනීම සඳහා වරින් වර ආයතනික සමාලෝචන ද සිදු කල යුතුය. ඉන් සිදු වන්නේ සියලුම උපාධි පාඨමාලා සහ ඒවා ලබා දෙන රාජ්‍ය විශ්ව විද්‍යාල වල ප්‍රශස්ත භාවිතයන් සහ ප්රමිතීන් මැනීමයි. මෙය බ්‍රිතාන්‍යයේ කාලයක් සිට භාවිතා කරන ආකෘතියකට සමානය. නමුත් ප්‍රශ්නය වන්නේ තවමත් ඔවුන්ගේ විද්‍යාර්ථීන් ගැනද ලංකාවේම වැනි පැමිණිලි තිබීමයි.
උසස් අධ්‍යාපනයේ කොලිටිය සොයා බැලීම අවශ්‍ය දෙයකි. ප්‍රශ්නය වන්නේ ඒ සඳහා ඉදිරිපත් කරන රාමුවේ අති සරල බවය. ‘ජීවිතය සඳහා දැක්ම’, ‘විවේචනාත්මක විශ්ලේෂණය’, ‘ගැටළු විසඳීමේ හැකියාව’ වැනි ගුණාංග වලින් වසර හතරක පාඨමාලාවක කොලිටිය හෝ වටිනාකම මැනිය හැකිද? එසේ නම්, ඒ මැනිය හැක්කේ කෙසේද? ඒ ගුණාංග සියල්ල එකම ආකාරයකට, එකම ප්‍රමාණාත්මක මිම්මකින් මැනිය හැකිද? විවිධාකාර පාඨමාලාවල කොලිටිය මැනීම එකම ආකාරයකට කළ හැකිද?
උසස් අධ්‍යාපන සමාගම්ගතකරණය ලාංකීය ප්‍රශ්නයක්ම නොවේ. එය ගෝලීය සංසිද්ධියකි. ගුණාත්මකභාවය මැනීම සඳහා ප්‍රමාණාත්මක මිම්මක් භාවිතය සමාගම්ගතකරණයේ එක් ලක්ෂණයකි. ඒ සමගම, සමාගම් සැලසුම්, වාර්ෂික ප්‍රගති වාර්තා, චක්‍රීය ආයතනික සමාලෝචන වැනි දේ මගින් අධ්‍යාපනික ආයතන පෞද්ගලික කොම්පැනි බවට හැරවීම සමාගම්ගතකරණයෙන් සිදුවේ. එහෙත්, බුද්ධිමය හැකියාවන් ප්‍රගුණ කිරීමට එක සමාන මිණුම් දඬු උදව් වන්නේ නැත. ‘ආචාර්යවරයා මේ විෂය ගැන ඔබ තුල ප්‍රබෝධයක් ඇති කරයි ද?’ ‘යම් ප්‍රශ්න ගැන සදාචාරාත්මක ස්ථාවරයක් ගැනීමට හෝ විවේචනාත්මකව සිතීමට ඔබේ ආචාර්යවරයා උදව් කලේ ද?’ වැනි ප්‍රශ්නවලට දෙන පිළිතුරු පුද්ගලානුබද්ධ වේ. නමුත් තත්ත්වාරක්ෂණ ක්‍රමවේදයට අනුකූල වීමට නම් සියල්ලන්ම එක හා සමාන සම්මත මිණුම් භාවිතා කල යුතුය. එනිසා සියළු ගුණාත්මක නිර්ණායක ප්‍රමාණාත්මක ඒවා බවට පත් කිරීම මේ ක්‍රමවේදය මගින් සිදුවේ. උදාහරණයක් ලෙස, වාරාවසානයේ හෝ ආයතනික සමාලෝචනයකදී මාර්ගගත ඉගෙනුම් කළමනාකරණ පද්ධති (learning management system) භාවිතා කරන ආචාර්යවරු ප්‍රතිශතය, ආචාර්යවරයා සෙමෙස්තරය මුලදීම ඉගෙනුම් සැලැස්මක් සිසුන්ට ලබා දීම වැනි අති සරල නිර්ණායක මගින් උපාධියේ කොලිටිය මැනීම මින් සිදුවේ. වෙනත් ආකාරයකට කියනවා නම්, මෙහිදී වඩාත් වැදගත් වන්නේ මාර්ගගත ඉගැන්වීම භාවිතා කල ආකාරයට වඩා එය භාවිත කල ප්‍රමාණයයි. මෙවැනි ප්‍රශ්න මගින් විශ්ව විද්‍යාල කළමණාකරණය ගැන යම් ආකාරයක අදහසක් ලබා ගැනීමට හැකිවුවත්, ඒ මගින් විද්‍යාර්ථීයෙක්ට නිර්මාණාශීලීව හෝ සදාචාරාත්මක ලෙස සිතීමට හැකි ද යන්න හෝ ආචාර්යවරයාගේ කැපවීම ගැන දැන ගැනීමට නොහැක. නමුත්, මෙවැනි නිර්ණායක තෘප්තිමත් කිරීමෙන් තත්ත්වාරක්ෂණ ක්‍රමවේදයේ අවශ්‍යතා සම්පූර්ණ කර ‘හොඳ’ වාර්තාවක් ලබා ගැනීමට මේ ක්‍රමය මගින් අවස්ථාව ලබා දේ.
අධ්‍යාපනය මැනීමට මෙවැනි විගණනවාදී නිර්ණායක හා මිණුම් දඬු භාවිතා කිරීමේ ප්‍රශ්න ලොව පුරා අධ්‍යාපනඥයින් පෙන්වා දී ඇත. සමාජ වගකීමක් ඇති පුද්ගලයෙක්, දේශපාලනිකව අවදි වූ සමාජයක් ගොඩනැගීමට උසස් අධ්‍යාපනයෙන් කළ හැකි කාර්යභාරය අමතක කිරීමේ භයානක කම, සහ අධ්‍යාපනය රැකියාමූලික දෙයක් පමණක් බවට පත්කිරීමේ අවදානම මීට කලින් බොහෝ දෙනා පෙන්වා දී ඇත. දශක දෙකක් පුරා සමාගම්ගතකරණය වූ බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ ඇති වී ඇති දරුණු ප්‍රශ්න අතර විගණනවාදී දර්ශනයත්, අඩු ආචාර්ය වරු ප්‍රමාණයකින් අධික වැඩ ප්‍රමාණයක් සිදු කරගැනීමට යෑමෙන් ඉගැන්වීම් හා පර්යේෂණ කටයුතු වල ගුණාත්මක භාවය අඩු වීමත් පැහැදිලිව දක්නට ඇත. ඒ සමගම සියළු අවස්ථාවල නිහඬතාවය රකින කාර්ය මණ්ඩලයක්ද, තමාගේ කීර්තිය නැංවීමට මුදල් පරිහරණය කරන විශ්ව විද්‍යාල පරිපාලනයක් ද බිහිවී ඇති බවත් බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාල ගැන වාර්තාවලින් පෙනීයයි. බ්‍රිතාන්‍ය ආරයේ තත්ත්වාරක්ෂණ ක්‍රමවේද භාවිතා කරනවා නම් මේ ප්‍රතිඵල ගැනත් අප සැලකිලිමත් විය යුතුය.
කොලිටි කතාව හැමටම බලපානවාද?
උපාධී වල අගය හෝ අඩුව ගැන කතිකාවේ මූලික අංගයක් වන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ ඇති රාජ්‍ය විශ්ව විද්‍යාල වල අඩු පාඩුය. ලංකාවේ අනෙක් විශ්ව විද්‍යාල වල උපාධි වල ගුණ අගුණ ගැන කතා කිරීම එතරම් දුරට සිදු නොවේ. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට යටත් නොවන වෙනත් විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන බොහෝ ඇත. ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය පමණක් නොව, අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය සහ භික්ෂු විශ්ව විද්‍යාලයද කොමිසමට පිටතින් ක්‍රියාත්මක වේ. නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති යුනිවොටෙක් විශ්ව විද්‍යාලයද එසේමය. මේවා මා ඉහත කී තත්ත්වාරක්ෂණ ක්‍රමවේදයට යටත් වීමට බැඳී නැත. ‘පෞද්ගලික විශ්ව විද්‍යාල’ නමින් සාමාන්‍යයෙන් හැඳින්වෙන සමාගම් පනත හෝ වෙනත් පනත් යටතේ පවත්වාගෙන යන උසස් අධ්‍යාපන ආයතන මගින් කෙරෙන බාහිර උපාධි මගින් ලාංකීය සිසුන්ට විදෙස් රටකට සරිලන විෂය ඉගැන්වුවද, එම උපාධියේ ගුණාත්මකබව හෝ ලංකාවට ගැලපෙන බව ඔප්පු කිරීමට ඔවුන් බැඳී නැත. ආචාර්ය මණ්ඩල සුදුසුකම් හෝ පර්යේෂණ කටයුතු වල කොලිටිය ඔප්පු කිරීමටද මේ ආයතන වලට කිසිම ලාංකීය ආයතනයකින් බල කිරීමක් නැත. එහෙත් මෙයද අවශ්‍යය.
අවශ්‍ය වෙනස ආභ්‍යන්තරික සංගතතාවයක් ඇති දුරදර්ශී අධ්‍යාපන සැලසුමක් රටට අවශ්‍ය බව අළුතින් කීමට අවශ්‍ය නැත. එහෙත් එය යලි යලිත් මහ හඬින් කිව යුතු වී ඇත. අධ්‍යාපන සැලසුමකින් අප රටේ ආර්ථික වර්ධනය පමණක් නොව චිත්තවේගී සහ බුද්ධිමය වර්ධනයක් ද ඇති විය යුතුය. එයට අවශ්‍ය පළමු පියවර වන්නේ මූලික සහ උසස් අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා මූල්‍යමය පිරිවැය වැඩි කිරීමය. දුප්පත් විශ්ව විද්‍යාල වලට රන්වන් විද්‍යාර්ථීන් බිහි කල නොහැක. ඒ සමගම, සියළුම උපාධි ලබාදෙන ආයතන එක් ආයතනයක් (විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වැනි) යටතේ තිබීම හෝ එවැන්නකින් වාරිකව නිරීක්ෂණය වීම සිදුවිය යුතුය. එහෙත්, ඒ සඳහා දැනට පවතින කතිර ගසන ආකාරයේ තත්ත්වාරක්ෂණ ආකෘති, පෝරම් පුරවා ලබාගන්නා සමාලෝචන වාර්තා, අධික වාර්තාගත කිරීම මත රැකෙන තත්ත්වාරක්ෂණ ක්‍රමවේද වලින් ඉවත් වී, විශ්ව විද්‍යාල වල හා විද්‍යාර්ථීන්ගේ කොලිටිය ගැන සමස්ථව බලන ප්‍රවේශයක් ගොඩ නැගීමට මහන්සි විය යුතුය. මේ සියල්ල සිදුවීමට නම් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම තුල ඇති දේශපාලනීකරණය ගැනද අවධානය යොමු කල යුතුය. සියල්ලටම වඩා අධ්‍යාපනයක් ලැබූවකු යනු කවුද? එවන් පුද්ගලයෙක් බිහිකිරීමේදී විශ්ව විද්‍යාල වල කාර්යභාරය කුමක්ද? අධ්‍යාපනයේ හා උසස් අධ්‍යාපනයේ එකම කාර්යභාරය රැකියාවට අවශ්‍ය මූලික පුහුණුව ලබා දීම පමණක් ද? යන්න ඇසීම අවශ්‍යයි.