අහිලන් කදිර්ගාමර්
ග්‍රාමීය සහ කොළඹින් ඈත පිහිටි ප්‍රදේශ අපේ රටේ ජාතික පරිකල්පනය තුළ දශක ගණනාවක් මුළුල්ලේ නොසළකා හැර තිබේ. පලාත්බද විශ්ව විද්‍යාල වලටද මේ තත්වය පොදුය. විශ්ව විද්‍යාල පද්ධතියට කරන හුදු එකතු කිරීම් ලෙස සහ සමහර අවස්ථා වල යම් ප්‍රදේශයක ජීවත් වන පිරිස දේශපාලනික වශයෙන් සංසිඳවීමේ මාධ්‍යයක් වශයෙනි මේ විශ්ව විද්‍යාල බිහිකර ඇත්තේ. මෙසේ ග්‍රාමීය ලෝකය අත්හැර දැමීම අහඹුවක් හෝ නොවැළක්විය හැකි දෙයක් නොව, සූරාකන සුළු ගෝලීය පර්යායක් තුළ ප්‍රවර්ධනය කරන චේතාන්විත ප්‍රතිපත්ති වල ප්රතිඵලයකි. ‘විවෘත ආර්ථිකය’ වශයෙන් අප හඳුන්වන, නිදහස් වෙළඳපොල සහ ප්රාග්ධනය නිදහසේ ගලායාම අවධාරණය කරන, 1970 දශකයේ හඳුන්වා දුන් නවලිබරල් ගෝලීයකරණය දැන් එහි අවසාන අවදියට ළඟාවෙමින් තිබේ. මේ ප්‍රතිපත්ති ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කළ ඇමෙරිකාව වැනි රටවල් පවා දැන් ඒවා හකුළුවා ගන්නවා පමණක් නොව, එම කණ්ඩායමේම සිටි වෙනත් බටහිර රටවල් සමඟ දැන් කෙහෙවලු ද පටලවාගෙන සිටී. එහෙත් මේ හඳුන්වා දුන් ප්‍රතිපත්ති වල ජාතික ප්‍රතිවිපාක අපට ඉදිරියටත් භුක්ති විඳීමට සිදුවනු ඇත.
මෙවැනි ප්‍රතිපත්ති වල හදවතේ පවතින්නේ දිගින් දිගටම ප්‍රසාරණය වන මූල්‍යමය ව්‍යාපාර සහ අගය එන්න එන්නටම වැඩිවන දේපල සහිත නවලිබරල් නගරයයි. අඩු ආදායම්ලාභී රටවල් වල විශ්ව විද්‍යාල වලටද මෙවැනි නගර වල බලපෑමක් තිබේ. එය ප්‍රකට වන්නේ අධ්‍යාපනයේ වාණිජකරණය, ඉහළ යන පාඨමාලා ගාස්තු, ශිෂ්‍ය ණය බර වැඩිවීම, වාණිජ ක්ෂේත්රය සමඟ සම්බන්ධතා වැඩිකිරීමට උත්සහ දැරීම හා බටහිර විශ්ව විද්‍යාල වල දේශීය ශාඛා සමඟ ගනුදෙනු (transactional) අධ්‍යාපන සම්බන්ධතා පැවැත්වීම වැනි දේ තුළිනි.
ලංකාවේ මේ වෙනස්කම් සිදුවීම 1970 දශකයේ අග භාගයේ IMF සහ ලෝක බැංකු ව්‍යුහාත්මක අනුකූලන වැඩසටහන් (Structural Adjustment Programmes) ඔස්සේ ආරම්භ වූවද, සිවිල් යුද්ධය නිසා එහි වේගයට වැට බැඳුනි. පසුගිය දශක එක හමාර මුළුල්ලේ මා අවධාරණය කළේ ලංකාවේ දෙවන නවලිබරල් රැල්ල ආරම්භ වූයේ 2009 යුද්ධය අවසන් වූ පසුව බවය. ගෝලීය මූල්‍යමය ප්රාග්ධනය රටේ යටිතල පහසුකම් හා වෙනත් දේපල වලට අවශෝෂණය වූයේ මේ කාලයේදීය. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ව සිටි කාලයේදී නාගරික සංවර්ධන අධිකාරිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගෙන කොළඹ නවලිබරල්කරණය කිරීමේ ව්‍යාපෘතියට නායකත්වය දුනි. බාහිරින් ලබාගත් ණය වලින් මුදල් සම්පාදනය කරන ලද, ඉතා උස හා නවීන ගොඩනැගිලි සහ සුඛෝපභෝගී වාහන වලින් කොළඹ පිරී යන අතරේ, පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන ප්‍රවර්ධනය කිරීමේ තැතක්ද පසුබිමින් දිගහැරෙමින් තිබුණි. එවැනි ආයතන සිය ගණනක් ආයෝජන මණ්ඩලය සමඟ ලියාපදිංචි විය. කිසිදු පාලනයකට යටත් නොවූ මේ ආයතන හතු පිපෙන්නාක් මෙන් පැතිර ගිය අතර, මූල්‍යමය පාඩුවක් වූ වහාම අතුරුදන්ව ගිය ඒවාද ඒමට තිබුණි.
මීට සාපේක්ෂව ප්‍රතිවිරුද්ධ දිශානතියකට ගමන් ගත් නිදහස් අධ්‍යාපන පද්ධතියේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය දශක කිහිපය තුළ පලාත්බද විශ්ව විද්‍යාල බිහිවිය. එහෙත් ඒවාට ප්‍රමාණවත් ප්‍රතිපාදන හෝ නියමාකාර දැක්මක් නොවේ. ගෝලීය පර්යාය ලිහීගෙන යන වත්මන් මොහොතේ, විශේෂයෙන්ම බලශක්ති අර්බුදයක් ළඟාවෙමින් පවතින අවස්ථාවක, ප්‍රාදේශීය ආර්ථිකයන් හා ස්වයංපෝෂිත බව පැවතීමෙහි වැදගත්කම මෙතෙකැයි කිව නොහේ. අද ලිපියේ මගේ අරමුණ වන්නේ මේ තත්වය තුළ පලාත්බද විශ්ව විද්‍යාල සිය ප්‍රජාවන් හා පවත්වා ගන්නා සම්බන්ධතාවයේ ස්වරූපය විභාග කිරීමයි.
ප්‍රාදේශීය පසුබිම
මහජන සේවා වල වැඩිම ප්‍රයෝජනය ඇත්තේ දුරබැහැර පලාත් වල ආන්තික ප්රජාවන්ටය. නිදසුනක් ලෙස බස් රථ සේවා ගනිමු. පෞද්ගලික අංශයේ බස් රථ වලට හුදෙකලා ග්‍රාමීය මාවත් වල දිවීම පාඩුවකි. ඒ, එමඟින් ඔවුන්ගේ ලාභය එතරම් වැඩි වර්ධනය නොවන නිසාය. පෞද්ගලික අංශයේ රෝහල් වලද මේ තර්කනයම දක්නට ලැබේ. ඔවුන්ද ආකර්ෂණය වන්නේ වැඩි ක්‍රය ශක්තියක් පවතින තැන් වලටය (එහිදීද උපරිම සූරා කෑම කරන බව අප සිහිතබා ගත යුතුය). පෞද්ගලික විශ්ව විද්‍යාල වලටද අදාළ වන්නේ මේ ගණනය කිරීම් ම වේ.
මහජන සේවා, එනම් රජයේ විශ්ව විද්‍යාලද ඇතුළුව, වලට සිය කාර්යය හොඳින් ඉටුකළ හැකි වන්නේ නිසි අරමුදල් සම්පාදනයක් තිබුණහොත් පමණි. පසුගිය දශක කිහිපය මුළුල්ලේ කරන ලද අරමුදල් කප්පාදු කිරීම් නිසා උපාධි අපේක්ෂක සහ පශ්චාත් උපාධි මට්ටම් දෙක තුළම ගාස්තු අය කිරීමේ පාඨමාලා වලට යොමු වීමට රජයේ විශ්ව විද්‍යාල වලට සිදුවී තිබේ. මේවා තුළින් රජයේ අරමුදල් මත මෙම විශ්ව විද්‍යාල වල රඳා පැවැත්ම අඩු කිරීම මූලිකම අරමුණයි. එහෙත් යථාර්ථය වන්නේ මෙවැනි ගාස්තු ගෙවා අධ්‍යපනයට ප්‍රවේශය ලබාගත හැකි පිරිස් සිටින්නේ කොළඹ අවට පමණක් වීමය. කථිකාචාර්යවරුන්ගේ පැත්තෙන් සැළකුවහොත් මෙවැනි පාඨමාලා නිසා වැඩි ආදායමක් ලැබුවද අත්‍යන්ත වැඩ කන්දරාවක සිර වීමට ඔවුන්ට සිදුවේ.
එම නිසා රාජ්‍ය විශ්ව විද්‍යාල වලට සපයන අරමුදල් ක්‍රමිකව වැඩි කිරීමට පියවර ගත යුතුය. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශ වල පිහිටා ඇති විශ්ව විද්‍යාල වල කාර්ය මණ්ඩලයට නේවාසික හා අනෙකුත් පහසුකම් ලබාදීම තුළින් ඔවුන් රඳවා ගැනීම හා ප්‍රාදේශීය ප්‍රජාව සමඟ ක්‍රියාශීලීව සම්බන්ධ වීම තහවුරු කළ හැකිය. ඉගැන්වීමට ගත කරන කාලය නිශ්චිත රාමුවකට සීමා කොට, ප්‍රජා මූලික පර්යේෂණ සඳහා ලබාදෙන අරමුදල් වැඩිකිරීම තුළින් කථිකාචාර්යවරුන්ට හොඳ මාර්ගෝපදේශකත්වයක් සැපයේ. ඇත්තෙන්ම මෙවැනි මාදිලියක් තුළින් විශේෂයෙන්ම පලාත්බද විශ්ව විද්‍යාල වලට සැළකිය යුතු ප්‍රතිඵල ලැබෙනු ඇත. නේකවිධ අර්බුද වලින් අපේ සමාජය බැට කමින් සිටින මෙබඳු අවස්ථාවක කෘෂිකර්මාන්තය නඟා සිටුවීම ඔස්සේ ආහාර පද්ධතිය ශක්තිමත් කිරීමත්, ග්‍රාමීය සේවා නියුක්තිය ඉහළ දැමීමත් ඉතා වැදගත් වේ. මෙවැනි සමාජ ආර්ථික විකල්ප වැඩිදියුණු කිරීමෙහි ලා පලාත්බද විශ්ව විද්‍යාල වලට පුළුල් භූමිකාවක් ඉටුකළ හැකිය.
සංවර්ධනය ප්රතිකල්පනය කිරීම
යාපනය සහ වවුනියා විශ්ව විද්‍යාල විසින් පසුගිය මාස කිහිපයේ රාජ්‍ය ආයතන සමඟ සංවර්ධනය පිළිබඳ මුලපිරීම් කිහිපයක් කරන ලදී. ඉන් එකක් වශයෙන්, කෘෂිකර්ම පීඨය හා පලාත්බද කෘෂිකර්ම අමාත්‍යාංශය අතර පැවති සාකච්ඡා වට ගණනාවක් තුළින් ක්ෂේත්රයේ දීර්ඝ කාලීන ගැටළු වලට විසඳුම් සෙවීම අරමුණු කෙරේ. තාක්ෂණ හා ඉංජිනේරු ක්ෂේත්‍ර සම්බන්ධයෙන්ද මෙවැනි සාකච්ඡා වට මේ වනවිට පැවැත්වී ඇත. මෙවැනි මුල පිරීම් වලදී විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් හා ප්‍රජාව එකතුව ප්‍රදේශයේ සංවර්ධන අවශ්‍යතා වලට විසඳුම් සෙවීම තුළින් කථිකාචාර්යවරුන්ගේ දැනුම හා කුසලතා ප්‍රජාව සමඟ බෙදාහදා ගැනීමටත්, නව සංවර්ධන අභියෝග පිළිබඳ ප්‍රජාවගෙන් ඉගෙන ගැනීමටත් අවස්ථාව හිමිවේ.
මෙවැනි මුල පිරීම් අතරින් මා සම්බන්ධ වූ ඉතා සාධනීය එකක් වූයේ යාපනය විශ්ව විද්‍යාලයේ තාක්ෂණික පීඨයේ අවසන් වසර සිසුන් සඳහා වූ සීමාවාසික පුහුණුවයි (internship). එහි කොටසක් වශයෙන් ආහාර තාක්ෂණය, හරිත ගොවිතැන හා මෝටර් රථ විශේෂඥ භාවය යන උප ක්ෂේත්‍ර වලට අදාළ සිසුන් කණ්ඩායම් හතරක්, උතුරු පලාත් සමූපකාර සංවර්ධන බැංකුව මඟින් පවත්වාගෙන යනු ලබන සමූපකාර ජාලයේ මාස හයක පුහුණුවක් සඳහා ස්ථානගත කෙරුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් එසේ පුහුණු වීම් අවසන් කළ සමහර සිසුන් දැන් එම සමූපකාර වලම නිත්‍ය සේවයට බැඳී ඇත. අක්‍රිය කර්මාන්ත ශාලා නැවත පණ ගැන්වීම සහ නිෂ්පාදන වල ප්‍රමිතිය තහවුරු කිරීම වැනි කටයුතු ඔස්සේ ඔවුන් සිය දායකත්වය සමූපකාර වලට ලබාදේ.
පර්යේෂණ හා සංවර්ධනය යන ක්ෂේත්‍ර සඳහා විශ්ව විද්‍යාල වල දායකත්වය සාකච්ඡා කෙරෙන විට මූලිකත්වය ලැබෙන්නේ පෞද්ගලික අංශයේ ව්‍යාපාර වලට නිසා මෙවැනි උදාහරණ හුවා දැක්වීම වැදගත් යැයි සිතමි. එහෙත් තාක්ෂණික දියුණුව ග්‍රාමීය ප්‍රදේශ වලට එන විට එකී තාක්ෂණය එම ප්‍රජාවන්ට සුදුසු, ඔවුන්ගේ අවශ්‍යතා ආමන්ත්‍රණය කළහැකි ඒවා බවට වගබලා ගත යුතුය.
ලංකාවේ අපි බොහෝ කාලයක් තිස්සේ ප්‍රධාන බටහිර විශ්ව විද්‍යාල අනුකරණය කර ඇත්තෙමු. එහි මූලිකම ප්‍රතිඵලය වී ඇත්තේ අපේ තරුණයින්ගේ හා ප්‍රජාවගේ අවශ්‍යතා අපට අමතකව යෑමයි. විශ්ව විද්‍යාල වල භූමිකාව පිළිබඳ නැවත සිතා බැලීමේදී අපේ ප්‍රජාවන් ජීවත් වන සන්දර්භය හා ඔවුන්ට මුහුණ පෑමට සිදුවන සැබෑ අභියෝග පිළිබඳ අවබෝධයකින් එය ආරම්භ කිරීම යෝග්‍ය වේ. ප්රගතිශීලී දැක්ම, නියමාකාර සම්පත් හා ප්‍රජාවන් සමඟ වැඩ කිරීමට කාලය යන තුන් ආකාර සහයෝගය ලබාදුනහොත්, අපේ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් ට ඉදිරි දශකය තුළ අනිවාර්යයෙන්ම උද්ගත වන බව අනුමාන කළහැකි ආර්ථික හා සමාජ අර්බුද වලට මුහුණ දීමට අවශ්‍ය දක්ෂතාව නොඅඩුව පවතී.



