පරිපූර්ණ වින්දිතයා: ආයතන ප්‍රතිචාර දක්වන අයුරු 

උදාරි අබේසිංහ 

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ‘අබේසිංහ එදිරිව තිලකරත්න සහ තවත් අය’ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කොට මාස දෙකකට කිට්ටු කාලයක් ගෙවී ඇත. මේ කාලය තුළ අනිත් අයත්, මම මගෙන් මත් නිතර අසන ප්‍රශ්නයක් වන්නේ කිසිවක් ඇත්තෙන්ම වෙනස් වී ඇත්ද යන්නයි. ඔව් සහ නැත යන පිළිතුරු දෙකම ඊට ලබාදිය හැකිය. නඩු තීන්දු මඟින් නීතිය ප්‍රතිස්ථාපනය කිරීම, ආයතන වලට මඟ පෙන්වීම සහ මූලධර්ම පැහැදිලි කිරීම කළ හැකිය. නමුත් අදාළ සංස්කෘතිය වෙනස් කිරීම නඩු තීන්දු වලට තනිව කළ හැක්කක් නොවේ.

නඩු තීන්දුවෙන් පසු සති ගණනාව තුළ එහි අන්තර්ගතයට වඩා එමඟින් අපේ ආයතන ගැන කියවෙන දේ පිළිබඳව බොහෝ ආවර්ජනය කරන්නට යෙදුනෙන්, අද ලිපිය ලියවෙන්නේ ඒ ගැනය. නමුත් අධිකරණ තීන්දුවක් නිසා ආයතන වෙනස් නොවේ. ඒවා වෙනස් වන්නේ දිගු කලක් තිස්සේ දැරූ උපකල්පන ප්‍රශ්න කිරීම, සිය පටිපාටීන් හා භාවිතයන් පිළිබඳ අවංකව සිතා බැලීම, වැරදි වලින් ඉගෙන ගැනීම සහ වගවීම මූලික කරගත් සංස්කෘතියක් ඇතිකිරීමෙහි ලා තීරණාත්මක ලෙස ක්‍රියා කිරීම යන භාවිතයන් තුළින් පමණි.   

පරිපූර්ණ වින්දිතයා පිළිබඳ මිථ්‍යාව 

දිගු කලක් තිස්සේ පවතින මෙවැනි එක් මිථ්‍යා උපකල්පනයක් වන්නේ ‘පරිපූර්ණ වින්දිතයා’ කෙසේ හැසිරිය යුතුද යන්න පිළිබඳ ඇති මතයයි. “පරිපූර්ණ වින්දිතයා” යන අදහස පළමු වරට ඉදිරිපත් කළේ නෝර්වීජියානු අපරාධවේදියකු (criminologist) වූ නිල්ස් ක්‍රිස්ටි (Nils Christie) විසින් 1986 දීය. ක්‍රිස්ටි ගේ අරමුණ වූයේ අපරාධ වලට වඩාත් නැඹුරුතාවයක් දක්වන පුද්ගලයන් හඳුනා ගැනීම නොවේ. ඔහුගේ උනන්දුව තිබුණේ “සමාජය විසින් ‘නියම’ වින්දිතයෙක් වශයෙන් හඳුනා ගැනීමට ඉඩ ඇත්තේ කවුද?” යන ප්‍රශ්නය පිළිබඳවය. ‘වින්දිතයා’ යන අනන්‍යතාවය පිළිබඳව වන ඒකාකෘතියට වඩාත්ම සමීප පුද්ගලයින්ට දයාව දැක්වීමට සමාජය ප්‍රවණතාවක් දක්වන බව ඔහුගේ මතය විය. එනම් දුර්වල, අනතුරට භාජනය විය හැකි (vulnerable), ගෞරවනීය යැයි සමාජයේ සම්මත රැකියාවක් කරන, තමුන්ට සිටීමට සියළු අතින්ම අයිතියක් ඇති තැනක සිටින, ‘ලොකු’ සහ ‘නරක’ ලෙස බහුතරය පිළිගනු ලබන අයෙක් ගෙන් හානියට පත්වූ සහ විශේෂයෙන්ම එසේ හානි කරන්නා වින්දිතයා නොහඳුනන කෙනෙක් වන ආකාරයේ කෙනෙකි. වින්දිතයන් පිළිබඳව අදටත් දැක්ම මෙසේය. මෙවැනි නිර්ණායක අපි චේතාන්විතව භාවිතා නොකළත්, විශ්වාස කළ යුත්තේ කාගේ කතාවද යන ප්‍රශ්නයේදී අපේ විනිශ්චයන් මෙවැනි මත වලින් හැඩ ගැහෙන බව පිළිගත යුතුය.    

විශ්ව විද්‍යාල තුළ ලිංගික හිංසන පිළිබඳ සැළකීමේදී මෙය වඩාත් හොඳින් පෙනේ. ඒවා තුළ බල සම්බන්ධතා බොහෝවිට සංකීර්ණ වන අතර, හිංසන ක්‍රියාවට පූර්වයෙන් වෘත්තීය සබඳතා සාමාන්‍යයෙන් පවතී. හිංසකයා වශයෙන් චෝදනා ලබන තැනැත්තා නොහඳුනන පුද්ගලයකු නොව බොහෝ විට කථිකාචාර්යවරයකු, පර්යේෂණ අධීක්ෂක, මිත්‍රයකු හෝ වෙනත් සිසුවකු විය හැකිය. ශාස්ත්‍රීය දියුණුව හෝ වෘත්තීමය තත්වය පිළිබඳ ඇති බිය නිසා හිංසකයකු සමඟ අන්තර්ක්‍රියා කිරීම එක විටම නැවැත්විය නොහැක. මෙවැනි අවස්ථා වලදී වින්දිතයා අර කලින් කියූ ‘පරිපූර්ණ වින්දිතයා’ ගේ කාණ්ඩයට නොවැටීම නිසා අවධානය හිංසකයා වශයෙන් චෝදනා ලබන තැනැත්තාගෙන් බැහැරව පැමිණිලිකරු වෙත යොමු වේ.

සිහිතබා ගතයුතු කරුණක් වන්නේ වින්දිතයන් මෙවැනි හිංසන වලට ප්‍රතිචාර දක්වන ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බවයි. සමහර අය සිදුවීමක් වූ සැණින්ම වාර්තා කළත් බොහෝ අය එසේ නොකරති; සමහරු හැඟීම්බර වන අතර අනෙක් අය සන්සුන්ව මුහුණ දෙති; සමහරු රැකියාවෙන් ඉවත් වන අතර අනෙක් අය දිගටම සේවයේ යෙදෙන්නේ එක්කෝ විකල්පයක් නොමැති නිසාය, නැතිනම් එම ප්‍රචණ්ඩත්වයට කෙළින්ම පිළිතුරු දීමේ බලාපොරොත්තුවෙනි; සමහරු සාක්ෂි ආරක්ෂා කරන අතර අනෙක් අය ඒවා විනාශ කර දමන්නේ නැවත ඒවා දැකීමටවත් කැමති නැති නිසාය. එහෙත් ඉතා මානවීය වූ මෙවැනි ප්‍රතිචාර මත පදනම්ව පැමිණිලිකරුගේ විශ්වසනීයත්වය ප්‍රශ්න කිරීමට යෙදේ. 

මෙවැනි සංසිද්ධි වලට සුවිශේෂයෙන් සංකීර්ණතාවයක් ලබාදෙන පරිසරයක් විශ්ව විද්‍යාල තුළ ඇත. බොහෝ පැමිණිලිකරුවන් මුලින්ම යුක්තිය සොයන්නේ නැත. ඔවුන්ගේ අවශ්‍යතාවය වන්නේ තමන් ඉගෙනුම ලබන හෝ රැකියාව කරන ස්ථානය තුළ ආරක්ෂිතව සිටීම සඳහා හිංසන අත්දැකීම නතර කරගැනීමය. සමහරක් අවස්ථා වල වින්දිතයන් විසින් නිර්නාමික පැමිණිලි ඉදිරිපත් කරන්නට යෙදෙන්නේ වගවීමෙන් බැහැර වීමට නොව ආරක්ෂිතව හිඳීම සඳහාය. මූලික විමර්ශන අවස්ථා වලදී රහස්‍ය බව සුරැකීම ලොකු අභියෝගයක් නොවුනත්, විධිමත් විනය ක්‍රියාමාර්ගයකට යොමුවන විට පැමිණිලිකරු සිය අනන්‍යතාවය හෙළි කිරීම කොන්දේසියකි. බොහෝ වින්දිතයන් ඉදිරියට නොයාමට තීරණය කරන්නේ මේ අවස්ථාවේදීය. 

එම නිසා නිර්නාමික පැමිණිලි පවතින්නේ මන්දැයි හෝ පැමිණිලිකරුවන් ඉදිරියට නොඑන්නේ මන්දැයි අසනවාට වඩා ප්‍රයෝජනවත් ප්‍රශ්නයක් වනු ඇත්තේ ආයතනික පටිපාටිය භාවිතා කිරීමට තරම් ආරක්‍ෂිත බවක් බොහෝ පැමිණිලිකරුවන්ට නොදැනෙන්නේ මන්දැයි ඇසීමය. 

පරීක්ෂණයට ලක්වන විෂය වස්තුව

වින්දිතයින් පැමිණිලි කරන්නට ඉදිරිපත් වන සුළුතරයක් අවස්ථා වල ඔවුන්ට විවිධාකාර දෝෂාරෝපණ වලට මුහුණ දීමට සිදුවේ. 

“කලින් පැමිණිලි කළේ නැත්තේ ඇයි?”

“පොලිසියට ගියේ නැත්තේ ඇයි?”

“ලිංගික හිංසනයට ලක් වුනා නම් දිගටම එතැන රැකියාව කළේ ඇයි?”

“ඔහු එක්ක දිගටම කතාබහ කළේ ඇයි?”

“ඔයාට මේක සිද්ධ උනේ එයාට උනන්දු කිරීමක් කළ නිසා.”

“ගින්නක් නැතුව දුමක් නගින්නෑ.”

මේ ප්‍රශ්න විවිධාකාර වුවත් ඒවාට පොදු දෙයක් ඇත. එනම් ඒ සියල්ලෙන්ම පැමිණිලිකරුගේ චර්යාව පිරික්සුම් කිරීමයි. චූදිතයා ඔය කියන ආකාරයෙන් හැසිරී ඇත්නම් ඊට හේතු සොයා බැලීමට කිසිවකු උත්සුක වන්නේ නැත. “ගින්නක් නැතුව දුමක් නගින්නෑ” යන කියමන පිටුපස ඇත්තේ වින්දිතයාගේ දිරිමත් කිරීමකින් තොරව එවැන්නක් සිදුවිය නොහැකි බවයි. එහෙත් ගින්න හටගත් ස්ථානය අප වැරදියට වටහා ගත්තා විය නොහැකිද? ගින්න චූදිතයාගේ චර්යාව නම් ඉන් පැන නඟින දුම වන්නේ පැමිණිල්ලයි. 

මෙවැනි ප්‍රතිචාර වලින් හෙළිවන තවත් ප්‍රතිවිරුද්ධතාවක් තිබේ. සිදුවීම වූ වහාම පැමිණිලි කරන කෙනෙකුගේ අභිලාශ සම්බන්ධයෙන් සමහරු ගැටළු මතුකළ හැකිය. එහෙත් ප්‍රමාද වුවහොත් එයද ප්‍රශ්නයකි. රැකියාවෙන් ඉවත් වුවහොත් මෙවැනි ප්‍රශ්නයකට මුහුණ දීමට ශක්තියක් නැති කෙනෙක් සේ සැළකේ. එහෙත් දිගටම රැකියාවේ සිටියහොත් අදාළ සිදුවීම එක්කෝ එතරම් බරපතල නැති බව හෝ කිසිසේත් සිදුනොවූ බව කියන්නට යෙදේ. හැඟීම්බර වුවහොත් අතාර්කික සේ දකී; එහෙත් සන්සුන්ව සිටියහොත් පොඩි දෙයක් ලොකු කොට කියන බව පවසයි. කොටින්ම මෙවැනි තත්වයකදී සියළු දෙනාගේ අපේක්ෂා සම්පූර්ණ කිරීමේ හැකියාවක් වින්දිතයකුට නොමැත. අපේ පද්ධතීන් නිර්මාණය කොට ඇත්තේ “පරිපූර්ණ වින්දිතයින්” සඳහා නම් එවැනි පද්ධති කිසිදු වින්දිතයකු සඳහා නිර්මාණය වූ බව පිළිගත නොහැකිය.

කතා කරන මුණිවත

මුණිවත රැකීම ගැනද මේ අවස්ථාවේ යමක් කියනු කැමැත්තෙමි. විශ්ව විද්‍යාල පද්ධතිය තුළ මෙවැනි නඩු තීන්දුවක් පිළිබඳ කතා කිරීම පවා ආයතනයේ කීර්තියට පළුද්දක් බව පිළිගැනේ. ගැටළුව එසේ රාමු කළවිට එහි කාර්ය මණ්ඩලය යම් ආකාරයකට ‘හිර වීමක්’ සිදුවේ. ඒ පිළිබඳ කතා කළොත් තමා සේවය කරන ආයතනයට ගරු නොකරන අයවළුන් ලෙස ඔවුන් හංවඩු ගැසේ. එහෙත් ආයතනයකට පවතින ගෞරවය යනු එතුළ සිදුවන අසාධාරණකම් පිළිබඳ මුණිවත රැකීම නොවේ. විශ්ව විද්‍යාලය යනු ශාස්ත්‍රීය නිදහස, විචාරාත්මක විමසීම, සාක්ෂි පදනම් කරගත් තර්කනය හා බුද්ධිමය විවාද ධෛර්යමත් කරන අවකාශයකි. එම නිසා එවැනි තැනක් තුළ මෙයාකාරයේ අපහසුදායක සංවාද මඟ හැරීම නොව වැළඳ ගනු ඇතැයි බලාපොරොත්තු වියහැකි විය යුතුය. 

මෙම නඩු තීන්දුව පිළිබඳව විශ්ව විද්‍යාල වල පවතින නිහඬ බව මඟින් වැදගත් ප්‍රශ්න මතු කරයි. එමඟින් කියවෙන්නේ යුක්තිය ඉටුවූ බවට වන තෘප්තිමත් බවද? එමඟින් යමකුගේ විශ්ව විද්‍යාලයෙහි ප්‍රතිරූපය බිඳ වැටෙනු ඇති බවට ඔවුන්ගේ වන බිය හැඟවේද? අපහසුදායක ආයතනික සංවාද කළහැකි වේද යන්න පිළිබඳ ඇති අවිනිශ්චිත බව එමඟින් කියවේද? නැතිනම් විවෘතව කතා කිරීම නිසා වෘත්තීමය වශයෙන් සිදුවිය හැකි බව යමකු සිතන ප්‍රතිවිපාක සම්බන්ධ බයක්ද ඉන් කියවෙන්නේ? මේවා කල්පනාවෙන් ආවර්ජනය කළයුතු කරුණුය.

පශ්චාත් නඩු තීන්දු ආවර්ජනා 

නඩු තීන්දුවෙන් පසු සති කිහිපය තුළ මම ඇත්තෙන්ම බලාපොරොත්තු සහගත බවක්ද අත්විඳි බව කිව යුතුය. මා වැනි අත්දැකීම් වලට මුහුණ දුන් වෙනත් අයද සිය අත්දැකීම් මා හා බෙදා ගැනීමට ඒ කාලයේදී යොමුවිය. ඉන් සමහරු නෛතික පිහිට පැතීමට යොමු වූ අවස්ථාද තිබේ. අනෙක් අයට අවශ්‍ය වූයේ සිය අත්දැකීමට කන්දීම සඳහා කෙනෙක් සොයා ගැනීමයි. නඩු තීන්දුවකින් කරන්නේ දෙපාර්ශ්වයක් අතර ගැටළු සමථ කිරීම පමණක් නොවන බව මේවා නිසා මට පැහැදිලි විය. එතෙක් නිහඬව දරාගත් අයට යුක්තිය ළඟා කරගත හැකි බවට එමඟින් පණිවුඩයක් ලබාදේ. මේ ලිපිය මුලදී මා ඇසූ පැනයට – එනම් ‘යමක් වෙනස් වී ඇතිද?’ යන්නට – ඉන් යම් ආකාර පිළිතුරක් ලැබේ: තමාට කටහඬක් නොමැති බව ඒත්තු ගොස් ඇති සමහර වින්දිතයින්ට මේ නඩු තීන්දුව නිසා බලාපොරොත්තුවක් හා ධෛර්යමත් කිරීමක් ලැබී ඇත.   

එහෙත් කම්පනය, ජීවිතයේ තමාට නැති වූ වසර ගණනාවක කාලය සහ මුහුණ දීමට සිදුවූ පෞද්ගලික හා වෘත්තීමය ප්‍රතිවිපාක යන සියළු ගැටළු ආමන්ත්‍රණය කිරීම නඩු තීන්දුවකට තනිව කළ නොහැක. සංස්කෘතියක් වෙනස් වන්නේ එහි මිනිසුන් සහ ආයතන නඩු තීන්දු වලට හුදු අනුකූල වනු වෙනුවට ඒවායින් පාඩමක් ඉගෙන ගැනීමට සූදානම් වුවහොත් පමණි. සංස්කෘතියක් වෙනස් වීමට නම් බල අසමතුලිතතාවයන් පවතින බව පිළිගැනීම, ප්‍රකාශයක පිළිගත හැකි බව ඒකාකෘති මත නොව සාක්ෂි මත පදනම් වීම මෙන්ම ‘කලින් පැමිණිලි කළේ නැත්තේ ඇයි?’ වෙනුවට “පැමිණිලි සඳහා ඉදිරියට පැමිණීම වින්දිතයාට මෙතරම් අපහසු වීමට හේතු මොනවාද?” යයි අසන තැනට ප්‍රශ්නය වෙනස් වීම වැනි මූලික වෙනස්කම් සිදුවිය යුතුය. නඩු තීන්දුවක සැබෑ වටිනාකම ඇත්තේ එමඟින් කිරීමට අණ කරන දෙයටත් වඩා ඉන් පන්නරය ලබන සංවාද සහ ආයතනික අන්තරාවලෝකනය තුළය. නඩු තීන්දුවක් නිසා සැබෑ වෙනසක් වන්නේද යන්න තීරණය වන්නේ ඉන් පාඩමක් ඉගෙනීමට අදාළ ආයතන වලට කොතරම් ධෛර්යයක් පවතීද යන කරුණ මතය.    

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *