‘ඩිජිටල් බෙදීම’ යන පදය කරළියට පැමිණියේ 1990 ගණන් වල ඇමෙරිකාව තුළ ප්‍රාදේශීය හා පන්ති බෙදුම් රේඛා මත තාක්ෂණයට තිබූ ප්‍රවේශයෙහි වෙනස්කම් හැඳින්වීමටය. පසුව එය ගෝලීය මට්ටමේ එවැනි විෂමතා හැඳින්වීමට යොදාගන්නා ලදී. මෙම අසමානතා අතර උපකරණ වලට ඇති ප්‍රවේශය, අන්තර්ජාලයට ඇති ප්‍රවේශය, අන්තර්ජාල සබඳතා වල වේගය සහ ගුණාත්මක භාවය, සහ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව යන කරුණු අඩංගු වේ. කොවිඩ්-19 වසංගත සමය තුළ ලංකාවේ මෙම බෙදීමේ තීව්‍රතාවයත්, එමඟින් අධ්‍යාපන පද්ධතිය තුළ පවතින අසමානතා තවත් තියුණු කළ හැටිත් අපි අත්දුටුවෙමු. මාර්ගගත ක්‍රමයට පරිවර්තනය වීම ග්‍රාමීය, නාගරික දරිද්‍ර හා වතුකර වැනි අවාසියට ලක්වූ පසුබිම් වලින් එන සිසුන් හට විශේෂයෙන්ම අපහසු විය. එහෙත් මේ ඛේදවාචකයේ ධනාත්මක පැත්තක් පෙන්වීමට ප්‍රතිපත්ති සම්පාදකයින් සහ දේශපාලනඥයින් උත්සාහ ගන්නා ලදී. නමුත් වඩා හොඳ සංඥා ලබාගැනීම සඳහා ගස් හා කඳු මුදුන් වලට නඟින සිසුන් හා තාක්ෂණයෙන් ව්‍යාකූල වූ ගුරුවරුන්ගෙන් පිරි තත්වයක් තුළ, අධ්‍යාපන පද්ධතියේ වේදනාකාරී අසමානතා පැහැදිලිව පෙනෙන්නට විය. තාක්ෂණය මඟින් සාම්ප්‍රදායික අධ්‍යාපන මාදිලි වෙනස් කරන ආකාරය සහ අධ්‍යාපන භාවිතයන් වඩා ප්‍රජාතාන්ත්‍රීය කරන ආකාරය පිළිබඳ වූ ආඛ්‍යාන, ලංකාවේ මෙම අත්දැකීම මඟින් සංකීර්ණ කරන ලදී. අධ්‍යාපනයට පවතින ප්‍රවේශයේ ඇති අසමානතා නැති කිරීමට තාක්ෂණයට ඇති හැකියාවත්, එම නිසා අධ්‍යාපනය තුළ තාක්ෂණයේ නවෝත්පාදන වැඩි කිරීමටත් කෙරෙන ඉල්ලීම් පිළිබඳ අප ප්‍රවේශමෙන් බැලිය යුත්තේ, එම හැකියාව තීරණය වීමට වෙනත් සමාජ, පන්තිමය සහ ප්‍රාදේශීය අසමානතා මඟින් බලපෑම් කරන බැවිනි.